කේන්ද්‍රස්ථානය වූ සේනානායක සමුද්‍රය 

 

 

 

සකුරා මල්වලට සමාන මල් පිපී තිබුණු ඒ මල් ගස අසලට පැමිණි සුන්දර යුවතියක් මාබල් ඇලවූ සිමෙන්ති බංකුව මත වාඩිවී සිටියාය. 


ඒ අසලින් අවට සිරි නැරඹීමට වෑකණ්ඩිය මත ගමන්කරමින් සිටි දාහත් හැවිරිදි තරුණයා ඇය දෙස බැලුවේය. 


ඇය විදේශීය තරුණියක් බව සුදු පැහැයෙන් යුත් සමේ වර්ණයෙන් ඔහුට ගම්‍ය විය. 


සුළඟට සැලෙන ඇයගේ තඹවන් වූ කෙහෙ කැරළි වැව මතින් සිසාරා එන සැඳෑ සුළඟින් රිද්ම රටා මවනු පෙණින. 


දැනට වසර හැට අටකට පමණ පෙර ඩී.එස්. සේනානායක සමුද්‍රයේ වැව් වේල්ල මත පියවි ඇසින් දක්නට ලැබුණු ඒ සොඳුරු දසුන වර්තමානයේදී එම තරුණයා වියපත් වුවද තවමත් ඔහුගේ සිතෙහි චිත්‍රණය ​වන්නේ එලෙසින්ම විය යුතු බව මට සිතුනි. 


වියපත් බමරෙකුගේ එම මතක සටහන් ඇසුරින් ජපන් මල් වත්ත ආශ්‍රිත සුන්දර පරිසරය නැරඹීමට මම පසුගියදා එහි ගියෙමි. 


එවකට මනස්කාන්තවූ මෙම පරිසරය පිහිටා ඇත්තේ ඉඟිනියාගල සේනානායක සමුද්‍රයේ වෑකණ්ඩි පාමුල ප්‍රදේශයේය. 


සේනානායක සමුද්‍රයේ ඉදිකිරීම් සඳහා පැමිණි විදේශීය ඉංජිනේරුවන්, නිර්මාණ ශිල්පීන් හා වැඩබිම් සේවකයින් වෙනුවෙන් මෙම සොඳුරු පරිසරය එදා නිර්මාණය කළේ ඇසට ප්‍රිය උපදවන ආකාරයේ අලංකාර මල් වර්ග වලින් යුත් යෝධ උද්භිද උද්‍යානයක් ලෙසිනි. 


මොනරාගල දිස්ත්‍රික්කයේ මඩුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සීමා නිර්ණයේ සහ අම්පාර දිස්ත්‍රික්කයට අයත් දමන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මෙම ජපන් මල්වත්ත පිහිටා ඇත. 


වර්තමාණයෙදී මෙහි පවුල් නවයක් පදිංචිවී සිටිති. එහි වැසියෙකු වන කේ.ඒ. රත්නපාල මහතා සිය අතීත මතකය අවදි කරමින් මෙසේ පැවසීය. 


ගල්ඔය සංවර්ධන මණ්ඩලය පැවති කාලයේ මෙම ජපන් මල්වත්ත ඉදිකර තිබුණා. ලස්සනට මල් වවලා තිබුණා. 


ජපානයෙන් ගෙනා මල් වර්ග තමයි වැඩිපුර වගා කර තිබුණේ. ඒනිසා මෙය ජපන් මල් වත්ත නමින් දෙස් - විදෙස් සංචාරකයින් හඳුන්වනු ලැබුවා. ඉඟිනියාගල තමයි එතකොට ප්‍රධාන නගරය. 


පාතිමා දේවස්ථාය තිබුණා. ශ්‍රී විද්‍යාරාජ විහාරස්ථානය තිබුණා. ගණදෙවි කෝවිල තිබුණා. හින්දු භක්තික නිලධාරීන් සහ සියලු ආගම් අදහන ජනතාව හිටියා. දේශීය හා විදේශීය කතෝලික බැතිමතුන් සිටියා. 


එම ආගමික සිද්ධස්ථාන සෑම එකකම උත්සව පැවැත්වෙන අවස්ථාවලදී දහස් ගණනක් ජනතාව ජපන්මල්වත්ත ආශ්‍රිත පරිශ්‍රයට එනවා. විශේෂ බස් රථ සේවා පවා ක්‍රියාත්මක කරනවා. 


ඉස්සර මේ ගෙවල් වල මිනිස්සු නවාතැන් අරගෙන සිටියා. ඉඩක් කඩක් නෑ. සංචාරක ජනතාව හසුරුවන්න පොලීසිය දානවා. 


ඉන්පස්සේ තමයි ඉඟිනියාගල සංචාරක කර්මාන්තය නැත්තටම නැතිවෙලා අම්පාර නගරය හැදුනේ. 


අම්පාර නගරයේ දියුණුවත් එක්ක ඉඟිනියාගල නගරය පාළුවට ගියා. සංචාරක කර්මාන්තය බිඳවැටුණා. අපි දැන් පදිංචිවෙලා ඉන්නේ ජපන් මල් වත්ත කියන කොටසේ. දැන් මල්වත්ත තිබුණ තැනකවත් නෑ, කළුගොල්ල ග්‍රාම නිලධාරි වසමේ. දැන් ඉතින් ජපන් මල් වත්තේ ලංකාවේ තියෙන නියඟලා මලක්වත් දකින්න නෑ! 


නාමල්තලාව ගොවිජන සේවා සංවර්ධන කාරක සභාවේ කමිටු සභාපති සාම විනිසුරු ජේ.බී. සෙනෙවිරත්න මහතා 


ගංගා නිම්න භූමි සංවර්ධන මණ්ඩලයේ උද්‍යාන විද්‍යා අංශයෙන් තමයි මෙම ජපන් මල්වත්ත පාලනය කළේ. එහි උද්භිද විද්‍යා කාර්යාලයක් ඉඟිනියාගල තිබුණා. ජපන් මල්වත්ත තිබුණේ වැව කෙළවරට වෙන්නයි. ජල විදුලි බලාගාරය ළඟ උඩවැඩියා නිවස තිබුණා. 


දැන් සිවිල් ආරක්ෂක බලකායේ කලාප කාර්යාලය තියෙන පාරේ එහා පැත්තේ බලාගාරය අසල තමයි ඒ උඩවැඩියා මල් වගාව පවත්වාගෙන ගියේ. 


එම ස්ථානයට “ඕකිඩ් හවුස්” කියලා ඒකකයක් තිබුණා. එහි තිබුණේ දුර්ලභ ගණයේ උඩවැඩියා මල් වගාවක්. වැවේ වේල්ල සහ ඩී.එස්.සේනානායක පිළිරුව ඇති ප්‍රදේශයේ සිට වටරවුම දක්වා පාර දෙපස ප්‍රදේශයේ මල් වගාකර තිබුණා. 


ඒ කාලේ ඉඟිනියාගල තිබුණා (ටවුන් ඔෆිස්) නගර කාර්යාලයක්. එම කාර්යාලයෙනුත් මෙහි නඩත්තු කටයුතු වලට සහයෝගය ලැබුණා. අලංකාර ප්‍රදේශයක් නිසා දේශීය හා විදේශීය සංචාරකයින් විශාල වශයෙන් ආවා. 


මට එතකොට වයස අවුරුදු දාහතරක්, දහ අටක් විතර ඇති. මල්වත්ත නරඹන්න නිතර ආවා ගියා. ඕනෑම වාහනයක සුක්කානම වැඩිම කාල පරාසයක් එකම දිසාවකට තබාගෙන ධාවනය කරන නැගෙනහිර පළාතේ පිහිටා ඇති එකම විශාලතම වංගුවද සේනානානයක සමුද්‍රය එක්කම තිබීම සංචාරකයින්ගේ අවධානය යොමුවන කරුණක්. 
වැව් වේල්ල මත දෙපැත්තෙම දිගටම සිමෙන්ති බංකු සවිකර තිබුණා. සැඳෑ සිරිය නරඹන දෙස් - විදෙස් සංචාරකයින් එම බංකු මත හිඳමින් ඉර බැසගෙන යන ජාමයේ අඳුර වැටෙන තුරුම එහි ගැවුසුණා. ඔවුන් නවාතැන් ගත්තේ සෆාරි හෝටලයේ. 


විශ්‍රාමලත් ඉඩම් නිලධාරී සාම විනිසුරු ඒ.ඇම්.රන්බණ්ඩාර මහතා:- 


දැනට වසර හතළිහකට පමණ පෙර මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඉතා සාර්ථකව පැවතුණා. ඒකාලේ ඩී.එස්. සේනානායක සමුද්‍රයේ වෑකණ්ඩිය ආශ්‍රිතව මෙම දර්ශනීය උද්‍යානය තිබුණා. ඒ ජපන් මල්වත්ත! අද කැලෑවට ගිහින්! හෞතික වශයෙන් අද ජපන් මල් වත්ත මල් ගස් නැති කර්කෂ කැලෑ ප්‍රදේශයක්. 


ගල්ඔය සංවර්ධන මණ්ඩලය වසා දැමූ නිසා තමයි මෙම සංචාරක කර්මාන්තය ඇතුළු ප්‍රදේශයේ අනෙකුත් සියලුම දේ නැතිව ගියේ. හරිම කණගාටුදායකයි. 


ඒ කිසිවක් අද දකින්න නැහැ. උද්‍යානයේ තිබුණ සිමෙන්ති බංකු ටික පවා ගලවාගෙන ගියා. සමාජ ශාලාවක් තිබුණා. එහි තිබුණ ඉතාම වටිනා බිලියඞ් මේසයක්. ඒකත් අරන් ගියා. 


එවකට පැවති දේශපාලන අධිකාරිය තම හිතවතුන්ට මෙහි තිබුණ ගොඩනැගිලි කඩාගෙන යන්න ඉඩදුන්නා. අද මුළු පළාතම පාළුවට ගිහින් තියෙනවා. මෙම නගරයේ පිරිහීම පටන්ගත්තේ එහෙමයි. 


ඒත් අද ඒ සංචාරක කර්මාන්තය පිරිහී ගොස් තිබෙනවා. ජාතික වනෝද්‍යානය ආශ්‍රිතව වනජීවී දෙපාර්තමේන්තුව සංචාරක කර්මාන්තයට රුකුලක් දෙන්න කටයුතු කරන නමුත් ඉඟිනියාගල නාගරික ප්‍රදේශයේ එදා පැවති සංචාරක පහසුකම් කිසිවක් අද දකින්නට නැහැ. මෙය දියුණු කළ යුතුයි. 

 

 


ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව අන්තර් ජාතික වශයෙන් සම්මානයට පාත්‍ර​වෙන මේ අවදියේ මෙවැනි ස්ථානවල අතීත සුන්දරත්වය යළි ස්ථාපිත කළ යුතුයි. 


ගල්ඔය සංවර්ධන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කළ සංචාරක කර්මාන්තයට නව ජවයක් දෙමින් ඉඟියාගල ප්‍රදේශයේ සංචාරක වැඩසටහන යළි නගාසිටුවන්නැයි ප්‍රදේශයේ ජනතාව රජයේ අදාළ අංශ වෙත යෝජනා කරති. 


මේ ​වෙනවිට බින්දුවට වැටී ඇති අම්පාර ඉඟිනියාගල සංචාරක ව්‍යාපාරය අදාළ අංශ වෙතින් වගකීම භාරගෙන කටයුතු කළ හොත් යළි අතීත ශ්‍රී විභූතිය ගෙනදිය හැකි බවද එහි ප්‍රජාමූලිකයෝ පෙන්වා දෙති. 


ගල්ඔය ව්‍යාපාරයේ ඉතිහාසය දන්නා සංචාරකයින් අතලොස්සක් දැනටත් මෙහි එනවා හැරුණුවිට ඔවුන්ගේ ආකර්ශනය දිනාගැනීමේ වැඩපිළිවෙළක් වත්මන් රජය මගින් හෝ ඇති කළ යුතුයි. 


මෙය නැවත සංවර්ධනය කර එම කලාපය නව සංචාරක කර්මාන්තයක් ලෙස ප්‍රවර්ධනය කොට කිසියම් ගතිවේගයක් ලබාදීමට අදාළ අංශ වල අවධානය යොමු වීම කාලෝචිත බව එම ප්‍රදේශයේ සමාජ ක්‍රියාකරුවන් ඉල්ලීමක් කරති. 

 

 


හිඟුරානේ නවරත්න සමරතුංග