IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ලංකාවේ කෑම හැදූ ඕස්ට්‍රේලියා පුංචි සූපවේදිනිය ජෝර්ජියා

 

ඉහුම් පිහුම් රියැලිටි වැඩසටහන් අතරින්, කාගේත් ආදරය දිනූ වැඩසටහනක් ලෙස ‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ හැඳින්විය හැකි අතර, මෙම රියැලිටි වැඩසටහන ශ්‍රී ලංකාවේ අපට ද ආගන්තුක නොවෙයි. ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ශ්‍රී ලංකික සම්භවයක් ඇති බොහෝ තරගකරුවන් සහ තරගකාරියන් මෙම වැඩසටහනට සම්බන්ධ වීම ඊට හේතුවය. 


කටට රසට ආහාර සැකැසීමේ සුවිශේෂී හපන්කම් ඇති ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් මෙම වැඩසටහන විවෘත වන අතර, අභියෝග ජය ගනිමින්, සති කිහිපයක් පුරා පැවැත්වෙන වට කිහිපයකින් පසු අවසන් වටයට සුදුසුකම් ලබන තිදෙනා අතරින් ජයග්‍රාහකයකු තෝරා ගැනෙයි. ‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ ලොකු පොඩි කාගේත් ආදරය දිනූ වැඩසටහනක් බැවින්, ඉහුම් පිහුම් දන්නා ඕස්ට්‍රේලියා පොඩ්ඩන් වෙනුවෙන් ද වෙනම වෙන්වුණු ‘මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ වැඩසටහනක් ඇත. එය ‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ වන අතර, අවුරුදු 9ත් 14ත් වයස් කාණ්ඩයේ පොඩිත්තෝ මෙම තරගයට ඉදිරිපත් වෙති. 


පසුගිය දා ‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ වැඩසටහනේ ජයග්‍රාහිකාව වූයේ 11 හැවිරිදි පුංචි දැරියකි. ජෝර්ජියා නමැති ඇය ඕස්ට්‍රේලියා ජාතිකයකු වන අතර, ඇගේ මව සහ පියා ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි ලාංකිකයෝය. ජෝර්ජියාගේ සීයා සහ ආත්තම්මා ශ්‍රී ලංකිකයෝය. ජෝර්ජියාට කෑම උයන්න උගන්වා ඇත්තේ ඇගේ අත්තම්මාය. අත්තම්මා තමන්ට රස කෑම වර්ග පිළියෙල කිරීමට ඉගැන්වූ අයුරු පුංචි ජෝර්ජියා සිහිපත් කරන්නේ මහත් ආඩම්බරයෙනි. 


‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ තරගාවලියට ඉදිරිපත් වී, විනිසුරුවරුන් මවිතයට පත් කරමින්, තරගකරුවන් සහ තරගකාරියන් 13 දෙනා අභිබවා, අදියරෙන් අදියර ජය ගනිමින් ඉදිරියට පැමිණ, අවසන් වටයේ දී ජෝර්ජියා ජයග්‍රහණය කළේ, ලාංකික අනන්‍යතාව පිරි, ලාංකික අභිමානය ලොවට පෙන්වන පිරුණු ප්‍රණීත කෑම වර්ග සහ අතුරුපස ඉදිරිපත් කරමින්ය. ඒ සෑම කෑම වට්ටෝරුවක්ම ඇය ඉගෙන ගෙන තිබුණේ ඇගේ ආත්තම්මාගෙනි. 


තරගාවලිය අතරතුරේ ජෝර්ජියා ඌරු මස්, බටු මෝජුවක් සහ කජු ව්‍යංජනයක්, කහබත්, පපඩම්, පිපිඤ්ඤා සලාදයක් ද පිළියෙල කළාය. ජයග්‍රහණය උදෙසා ඇය පිළියෙල කළේ අයිස් ක්‍රීම්, වියළි මිදි රස අතුරුපසක් සහ ලෙමන් ග්‍රාස් ගැනිටා බීම වීදුරුවකි. තම අතුරුපස අවුල් ජාලයක් යැයි පවසමින්, ජෝර්ජියා විනිසුරුවරුන් වෙත එය පිළිගැන්වුණු අතර, විනිසුරුවරුන්ට එය අපූරු අත්දැකීමක් විය. 


‘ජූනියර් මාස්ටර් චෙෆ් ඕස්ට්‍රේලියා’ අවසන් තරගය විකාශය කෙරුණේ පසුගිය 9 වැනිදා රාත්‍රියේය. ජූනියර් මාස්ටර් චෙෆ් කිරුළත් සමඟ පුංචි කෙල්ල ජෝර්ජියාට ඩොලර් 25,000ක මුදලක් තෑගි වශයෙන් හිමිවිය. රූපවාහිනී නිවේදිකාවක මෙන්ම කෑම වර්ග විවේචනය කරමින් ඒ ගැන පොත් රචනා කරන මෙලිස්සා ලියොන්, ස්කොට්ලන්ත ජාතික සූපවේදී ජෝක් සොන්ෆ්‍රිලෝ සහ ඕස්ට්‍රේලියානු සූපවේදී ඇන්ඩි ඇලන් වැඩසටහන මෙහෙයවමින් විනිසුරුවරුන් ලෙස ද කටයුතු කළහ. අවසානයේ ජෝර්ජියා සකස් කළ විනිසුරුවරුන් අමන්දානන්දයට පත් කළ අතුරුපස රස බලා ඒ ගැන විනිශ්චයක් ලබාදීමට ආරාධිත විනිසුරුවරියක ලෙස ජෝර්ජියාගේ මට ද ඇරැයුම් ලැබුණි. 


“ඩොලර් 25,000ක් කියන්නේ කොපමණදැයි මට අවබෝධ නැහැ. තාම මට 11යි. මං ලොකු වුණාම ඒ මුදල් පාවිච්චියට ගන්නයි හිතාගෙන ඉන්නේ. මං කැමැතියි ලෝකය වටේ සංචාරය කරලා කෑම ජාති රස බලන්න. ඒවා හදන හැටි ඉගෙන ගන්න. ප්‍රංශයට ගිහින් රසම රස නැවුම් පේස්ට්‍රි රස බලන්න. මා දන්නේ ආත්තම්මා මට ඉගැන්වූ රසම රස ශ්‍රී ලංකාවේ කෑම ගැන විතරයි. ලෝකයේ අනෙක් රටවල කෑම වර්ග ගැනත් මං දැන ගන්න ආසයි” යැයි පුංචි ජෝර්ජියා, කොරෝනා වයිරස ව්‍යාප්තිය මැද, ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වූයේ වීඩියෝ පණිවුඩ තාක්ෂණය ඔස්සේය. 


ජෝර්ජියා ජයග්‍රහණය කළේ අවසන් වටයට තේරුණු 12 හැවිරිදි තරගකරුවන් දෙදෙනා වන ෆීලෝ සහ කාටර් පරාජය කරමිණි. ෆීලෝ සහ කාටර් දෙදෙනාට ඩොලර් 5,000 බැගින් මුදල් තෑගි හිමිවිය. වැඩසටහන අවසන් වීමෙන් පසු, ජයග්‍රාහිකාව වූ ජෝර්ජියාගේ ඡායාරූප සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමට එක් කරමින් මෙලිස්සා ලියොන් මෙසේ සටහනක් පළ කළාය. 


“ජෝර්ජියාට අවුරුදු 11යි. අවසන් වටයේ දී ඇය ඇයට වඩා වැඩිමල් තරගකරුවකු සහ තරගකාරියක පැරැද්දුවා. ඇය අහිංසකයි. ඒත් ඇය දැනුමින් පොහොසත්. දක්ෂ සූපවේදිනියක වෙන්න ඇයට හැකියාව තිබෙනවා. අපට රස බැලීමට ඇය පිළියෙල කළ ශ්‍රී ලාංකික කෑම වර්ග සදාකල් මගේ මතකයේ තියේවි. ඒවා ඇත්තටම හරිම රසයි. ස්තුතියි. ජෝර්ජියා. සුබ අනාගතයක්.” 

 

ලු‍සිත ජයමාන්න 
ඕස්ට්‍රේලියා පුවත් සේවා



අදහස් (0)

ලංකාවේ කෑම හැදූ ඕස්ට්‍රේලියා පුංචි සූපවේදිනිය ජෝර්ජියා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 471 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2219 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1669 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site