මෙයට වසර ගණනකට ඉහත දකුණු පළාතේ සිද්ධියකි

 

​ෙමාහු නමින් ඩේවිඩ් නම් වුවත් එම පළාතේම ​ෙමාහු ප්‍රසිද්ධව සිටියේ යකා මහත්තයා නමිනි.   


එම පළාතේ ගොඩ මඩ ඉඩකඩම් අක්කර ගණනක් ඇති මොහුගේ රැකියාව වූයේ කසිප්පු පෙරීම හා එම පළාතේ මංකොල්ලකෑම් හා කසිප්පු පෙරා එම පළාතේම විකිණීම සඳහා බෙදාහැරීමකි.   


ඒ සඳහා මොහු ළඟ චණ්ඩීන් හා ගෝලයෝ ගණනක් සිටියහ. මොහු තමන්ගේ ඉඩම්වල ගවයන්ද ඇති කළ අතර හරක් හොරකමේ යෙදෙන අය පිට පළාත්වල ගවයන් එම පළාතේ ගෙනත් දෙනු ලබන්නේ යකා මහත්තයාටය.   


එම ගවයන් තමාගේ පට්ටියේ තබාගෙන දින ගණනකට පසු මොහු එම ගවයන් මස්කඩයට ද දක්කයි.   


එකල එම පළාතේ යකා මහත්තය මහා පරිමාණයේ මංකොල්ල කෑම් සහ මිනීමැරුම් සඳහාද සම්බන්ධය. මොහුගේ ගෝල බාලයන් ඒ සඳහා කැඳවයි.   


එම පළාතේ යකා මහත්තයාගේ මෙම කසිප්පු පෙරීමේ ව්‍යාපාරය නිසා පළාතේ බොහෝ තරුණයෝ බීමට ඇබ්බැහි වී නොයෙකුත් රෝගාබාධවලින් අකාලයේ මියගියහ. තවද මෙම කසිප්පු ජාවාරම නිසා එම පළාතේ ගෙවල්වල බොහෝමයක සැමියන් හා බිරින්දෑවරුන් අතර ද අඬදබර හැම දිනකම වාගේ දක්නට ලැබිණි. මේ සම්බන්ධව එම පළාතේ නීතිගරුක, ජනයා උසස් තැන්වලට කොතෙක් පැමිණිලි කළත් ඉන් පළක් නොවුණි. මොහු එම කිසිකෙනකු කියන කිසිවක් කනකට නොගත් පුද්ගලයෙක් විය. මොහුට එම පළාතේ දේශපාලන බලවතාගේ සහයෝගයද ලැබිණි.   


මොහුගේ මෙම ජාවාරමට විරුද්ධව යම් කෙනෙක් විරෝධය පළකළහොත් ඔහුට දරුණු පලවිපාක ලැබෙන බව දන්නා ගමේ ගැමියෝ කිසිකෙනෙක් මොහුට පොලිසියට පැමිණිලි කිරීමටත් බියක් පළ කළහ.   


එකල එම ​ෙද්ශපාලන බලවතාගේ පිහිටෙන් මෙම කසිප්පු ව්‍යාපාරය පවත්වාගෙන යන මොහුට පොලිසියෙන් යම් බලපෑමක් ආවොත් එම දේශපාලකයා විසින් එක ටැලි​ෙෆා්න් කෝල් එකෙන් නවත්වයි. එම නිසා යකා මහත්තයා මැතිවරණ කාලයේදී තම දේශපාලකයට මැතිවරණ ව්‍යාපාරය සඳහා විරුද්ධවාදීන්ට අඩම්තේට්ටම් කර මොවුන්ට තමන්ගේ ඡන්දය දැමීමට යාම පවා මොහු විසින් නවත්වනු ලබයි.   


යකා මහත්තයා ඉතාමත් කාමාධික පුද්ගලයෙක් වූ අතර මොහුට අනියම් බිරින්දෑවරු ගණනාවක් සිටියහ. මෙසේ කාලය ගෙවීයන අතර මොහුගේ කසිප්පු පෙරීමේ ජාවාරමේ යෙදෙන ගමේ ඔහුගේ ගෝලයකු වන ජස්ටින්ගේ බිරිඳ රූමතියක වූවාය. යකා මහත්තයාගේ මෙම උකුසු ඇස කීපවිටක් ඇය වෙත යොමුවිය. කෙසේ හෝ කල්ගත වෙත්ම ජස්ටින්ගේ බිරිඳ සමඟ ඇයිහොඳයිකමක් පවත්වා ගැනීමට යකා මහත්තයාට හැකි විය. කාලයක් යන විට ජස්ටින්ට මේ ගැන සැකයක් ඇති විය. දිනක් යකා මහත්තයා තමන්ගේ බිරිඳත් සමඟ සිටියදී මොහුට අසුවූ අතර එහිදී හබයක් වූ අතර මොහු බිරිඳට පහර දුන් අතර යකා මහත්තයා මොහුට පහර කීපයක් ගසන ලදී. ජස්ටින් නහයට නාහන පුද්ගලයකු වූ අතර පොළ​ෙඟක් මෙන් තමන්ට කළදෙයට යකා මහත්තයාගෙන් පළි ගැනීමට අවස්ථාව එන තෙක් බලා සිටියේය. ජස්ටින් කිසි දෙයක් නොවුණ ගාණට යකා මහත්තයාගේ කසිප්පු පෙරී​ෙම් යෙදි සිටියේය. රාත්‍රි කාලයේ කසිප්පු පෙරන විට යකා මහත්තයා එම කසිප්පු පෙරන තැනට ගොස් එම කසිප්පුවල තත්ත්වය ඔහුම පරීක්‍ෂාකර බලයි.   


මොහු විසින් බැරැල්වලින් පෙරන එම කසිප්පු පොල්කට්ටකට ගෙන කටට හළා ගෙන එහි තත්ත්වය මොහු මැන බලයි.   


එදා කළුවර රාත්‍රියක් වූ අතර පුරුදු පරිදි යකා මහත්තයා කසිප්පු පෙරීමේ වාඩිය වෙත පැමිණි අතර එදින ජස්ටින් කසිප්පු පෙරීමේ යෙදී සිටි අතර ජස්ටින් එයට පෙර දින ඇසිඩ් කාලක් කඩෙන් ගෙන බෝතලයක දමා කසිප්පු පෙරන තැන පඳුරක් අස්සේ සඟවා තැබීය.   


කළුවර රාත්‍රියේ යකා මහත්තයා කසිප්පු පෙරන තැනට පැමිණි අතර ජස්ටින් ගිහින් කසිප්පු පොල්කට්ටක් බලන්නට කියා  දුන් අතර ජස්ටින් කාලය එන තෙක් දින ගනිමින් සිටියේය. යකා මහත්තයාත් ඔහුගේ අවසන් කාල​ හෝරාව බව ඔහුවත් නොදැන සිටියේය.   


ජස්ටින් පඳුර අස්සේ සඟවා තිබූ ඇසිඩ් කාල ගෙන කළුවරේම පොල්කට්ටට හලා යකා මහත්තයාට දුන් අතර එක උගුරට යකා මහත්තයා උගුරට හලාගත් අතර යකා මහත්තයාට කියා ගත හැකි වුණේ ‘අම්මෝ මගේ පපුව’ යන්න පමණය.   


කසිප්පු බැරල් ළඟ යකා මහත්තයා​ ගේ නිසල වූ මළකඳ කටින් ලේ සහ සෙම දමාගෙන වැටටී සිටිනවා දැකගත හැකි වූ අතර ජස්ටින් සහ අනෙකුත් ගෝලයෝ පැනගොස් ඇති අතර අවට ගම්වාසින් පැමිණ යකා මහත්තයාගේ මළකඳ බලමින් සිටි අතර ගමේ වැඩිහිටියන් කියනු ඇසුණේ ඔහුට කළ කම් පළ දුන් බවයි.   


මොහුගේ අවමංගල කටයුත්තේදී ගමේ පංසලේ නායක හාමුදුරුවන් ධර්මය දේශනා කරමින් ඔහු විසින් කළකම් මෙලොවදීම මොහුට පඩිසන් දෙනු ලැබී ඇති බවත් මොහුගේ මෙම මරණය අනෙකුත් අයටත් මෙයින් ආදර්ශයක් ගෙන තමන්ගේ ජීවිත යහමගට ගෙන යෑමට කටයුතු කරන ලෙසත් උන්වහන්සේ පැවසූ සේක.  

 


 

අම්පාර, මිහිඳුපුර, අයි.ජී. ගුණපාල මහතා ලියා එවු කතාවක් මෙසේය.   


පිටිසර ගම්වල ජනතාව ජීවත්වන්නේ ගොඩ මඩ ​ගොවිතැන් කිරීමෙනි. මීට වසර විසිපහකට පමණ පෙර ගමෙක ජීවත් වූ පුංචිරාල තමාගේ කුඹුර අසල ඇති ලඳු කැලෑබිමක් එළිපෙහෙළි කර මඤ්ඤොක්කා හේනක් වගා කළේය. එම කාලයේ නිසි කලට වැසි ලැබීම නිසා මඤ්ඤොක්කා හේන ඉතා සරුවට වැවී තිබුණි. එක් දිනක් සවස් කාලයේ පුංචිරාල මඤ්ඤොක්කා හේනට ගොස් බලන විට දක්නට ලැබුණේ එළහරක් රංචුවක් දඬුවැට කඩාගෙන ​ෙහ්නට ඇතුළු වී වගාවෙන් අඩක්ම විනාශකොට ඇති ආකාරයයි.   


සිදු වී ඇති මේ හානිය දැකීමෙන් දුකට පත් පුංචිරාල ඇඳිරිවැටීගෙන එන නිසා ආපසු ගෙදර පැමිණ තම බිරිය වූ යසවතීටද මේ බව පවසා ‘‘හෙට උදේම ගොස් හේනේ දඬුවැට අලුත්වැඩියා කරමු’’ යි කීවේය.   


පසු දින අලුයම අවදි වූ පුංචිරාල හා යසවතී දුව පාසල් යවා දහවල් කෑමද රැගෙන හේන් කපන කැත්තද මුවහත් කරගෙන දඬුවැට අලුත්වැඩියා කිරීමට ගියහ. ඔවුන් හේන අසලට යන විට දක්නට ලැබුණේ ගං ඇතිරාලගේ එළහරක් හත් අට දෙනකු හේනට ඇතුළු වී ඉතිරි මඤ්ඤොක්කා පඳුරු කිහිපයද කමින් සිටින බවය. ඒ දැක කෝපයට පත් පුංචිරාල හරක් පසු පස පන්නා ගොස් කැත්තෙන් දමා ගැසුවේය. එම කැති පහර වැදීමෙන් එළදෙනකගේ පසු පස වම් කකුලේ කුරය ළඟින් අඟල් හයක පමණ කොටසක් කැපී වෙන් වී ගියේය. ඒත් එළදෙන ලේ ගලද්දී කකුල් තුනෙන් නොණ්ඩි ගසමින් රංචුව සමඟ දුවගියේය.   


ගංඇතිරාල මේ බව දැනගතහොත් මහා වින්නැහියක් විය හැකි බව යසවතී පුංචිරාලට කීවාය. පසුව ඔවුන් දෙදෙනා වැට සෑදීම නවතා ගෙදර පැමිණ මෙය වසන් කිරීමට උපායක් කල්පනා කොට පුංචිරාල එදින ගමේ නොසිටි බව ඒත්තුගැන්වීම සඳහා සැතපුම් හයක් පමණ ඈත පිහිටි නගරයට ගියේ ‘‘කවුරු ඇහුවත් පුංචිරාල අලුයම නගරයට ගිය බව කියන ලෙසට’’ යසවතීට උගන්වාය.   


පුංචිරාල නගරයට ගොස් ඇඳිරිවැටීගෙන එද්දී ගෙදර එන විට ගමේ කෝපි කඩේ ළඟ ගංඇති රාල හා තවත් හතර පස්දෙනෙකු සිටිනු දුටුවේය. පුංචිරාලද එතැනට ගියේය. එහෙත් හරකාගේ කකුල කැපීම ගැන කවුරුත් එහි දී කතා කළේ නැත. ඔහු ගංඇතිරාල සමඟද වෙනදා මෙන් කතා කරමින් සිට පාන්දර ගිය ගමන් දැනුයි මේ එන්නේ හොඳටම රෑ වුණා යන්නම් කියා ගෙදර ගියේය.   


දින දෙක තුනක් ගතවන විට ගංඇතිරාල ගේ එළදෙන ගේ කකුලක් කපා ඇති පුවත මුළු ගමේම කතා බහ වුණත් මේ අපරාධය කළේ‍ කවුරුද කියා ගංඇතිරාල නොදන්නා බව පුංචිරාල තහවුරු කර ගත්තේය.   


ගංඇතිරාල මාසයක් දෙකක් තුළදී බෙහෙත් බැඳ එළදෙනගේ කකුලේ තුවාලය සුවකර ගත්තේය. ඉන්පසු එළදෙන නොණ්ඩි ගසමින් ඇවිදයන හැටි දකින හැම විටකම පුංචිරාලට දැනුණේ දැරිය නොහැකි තරම් සිත් වේදනාවෙකි. ඔහු සිතින් දුක්වෙමින් එම වේදනාව විඳගත්තේය.   


මේ සිද්ධියෙන් මාස හයකට පමණ පසු පුංචිරාල වත්තේ වැඩ කරන වෙලාවක ඔහුගේ වම් කකුලේ මාපට ඇඟිල්ලේ සුළු සිරීම් තුවාලක් අැතිවිය. එය බෙහෙත් කිරීමට තරම් තුවාලයක් නොවීම නිසා ඔහු ඒ ගැන තැකීමක් කළේ නැත. එහෙත් සති දෙක තුනකදී එය පැසවා ලොකු තුවාලයක් බවට පත්වීම නිසා රෝහලට ගොස් ප්‍රතිකාර ලබාගත්තේය. ඒත් තුවාලය සුවනොවීම නිසා වෛද්‍යවරු පුංචිරාලට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගැනීමට නියම කළහ. ඒ අනුව රෝහල්ගතව දින තුන හතරක් යන විට වෛද්‍යවරු නියම කළේ තුවාලයේ ඔඩුදිවීමක් සිදුවී ඇති නිසා හැකි ඉක්මනින් ඇඟිල්ල කපා ඉවත් නොකර පුංචිරාල සුවපත් කළ නොහැකි බවය. ඒ අනුව පුංචිරාලගේ වම් කකුලේ මාපට ඇඟිල්ල කපා ඉවත් කිරීමට සිදුවිය. ඇඟිල්ල කපා ඉවත්​ ​ෙකාට සති දෙකක් පමණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා සාමාන්‍ය සුවයක් ලැබූ පුංචිරාල නිවෙසට පැමිණියේ එළදෙනගේ කකුල කැපීම නිසා තමාට මෙය සිදුවුවා යයි සිතමින් සිත් වේදනාවෙනි. ඒ බව ඔහු යසවතීටද කීවේය.   


ඉන්පසු සුළු කාලයකදී ඔහුගේ කැපූ ඇඟිල්ල නැවතත් පැසවන්නට පටන් ගත්තේය. ඔහු නැවතත් ගොස් වෛද්‍ය උපදෙස් මත රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාගත්තේය. එහි දී කරන ලද පරීක්‍ෂණවලින් පසු වෛද්‍යවරුන් නිගමනය කළේ පුංචිරාලගේ වම් කකුල දණහිසට පහතින් කපා ඉවත් නොකර ජීවිතය බේරා ගැනීම අවදානම් සහිත බවය. ඒ අනුව ඔහුගේ වම් කකුල දණහිසට පහතින් කපා ඉවත් කරනු ලැබීය. මාසයක් පමණ ගත වූ පසු පුංචිරාල නිවෙසට පැමිණියේ කිහිලි කරුවක ආධාරයෙනි.   


මෙසේ පැමිණි පුංචිරාලගේ කකුල බොහෝ දුරට සුව වුවත් නිවෙසටම වී කම්මැලිව සිටීම අපහසු වන විට කිහිලිකරුවේ ආධාරයෙන් කෝපි කඩේටද විටින් විට ගියේය. එසේ යන සමහර දිනවල ගංඇතිරාගලේ එළදෙනද නොණ්ඩි ගසමින් මාර්ගය අසල තණකොළ බුදිමින් සිටිනු ඔහුට දක්නට ලැබේ. එවැනි දිනවල පුංචිරාලට ඇතිවන සිත් වේදනාව දැරීමට නොහැකිව උම්මත්තයකු මෙන් කිහිලි කරුවේ වාරුවෙන් ඒ මේ අත ඇවිදීමට පටන් ගත්තේය. මේ වන විට යසවතී ද පුංචිරාල සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගැනීමය නොහැකි​ ලෙස අසරණව සිටියාය. මෙසේ සුළු කාලයක් ගවී යද්දි පුංචිරාල වත්ත පහළ අඹගසක ගෙල වැළලාගෙන මියගොස් සිටියේය.   


හදිසි කෝපය නිසා මෙවැනි පාපකර්ම සිදුකොට සමාජයටත් නීතියටත් වසන් වී සිටියත් තම ජීවිත කාලය තුළ දීම කළකම් පළදෙන බව මෙම සත්‍ය කතාවෙන්ම සනාථ වේ.  

 



අකුරැස්ස, පහළ මලිදුව  චිත්‍රානන්ද ගුණවර්ධන මහතා ලියා එවූ කතාවක් මෙසේය.   


මීට බොහෝ කලකට පෙර ඈත දුෂ්කර ගම්මානයක වූ සිදුවීමකි. ගමේ යමක් කමක් ඇති පවුලක ජීවත් වූ පුද්ගලයෙකි සුසිරිපාල. මව්පියන්ගේ ධනවත්කම නිසාම කුඩා කල සිටම හිතුවක්කාර ජීවිතයක් ගත කිරීමට පුරුදුව සිටි ඔහු කිසිදු අධ්‍යාපනයක් නොලැබූවෙකි. තරුණ වියේ පසු වූ සුසිරිපාලගෙන් ගම්වැසියන්ට සිදු වූ හිරිහැර අපමණය. විවාහකයකු වූ ඔහු දෙදරු පියෙක් ද විය. එහෙත් ඒ කිසිවක් ගණන් නොගත් ඔහුගේ දඩබ්බර ක්‍රියා දිනෙන් දිනම වැඩි වූවා මිස අඩුවක් නම් නොවීය. ගමේ බොහෝ අය මේවාට උරණ වුවත් ඔහුගේ මුදල් බලය හා බල පුළුවන්කාරකම හමුවේ ඔහුට එරෙහිවීමට කිසිවකු ඉදිරිපත් නොවීය. 

 
මෙසේ කාලය ගෙවීයත්ම මොහුගේ මේ ක්‍රියා නතරවන පාටක් පෙනෙන්නට නොතිබූ නිසාම මේවාට එරෙහිව ගමේ තරුණ පිරිසක් එක්විය. අවස්ථා කීපයකදීම තරුණ පිරිස හා සුසිරිපාල අතර ගැටුම් ඇති වූ වාරද අනන්තය. එහෙත් සුසිරිපාල මේ කිසිවකින් මෙල්ල නොවීය. එක් දිනක් සුසිරිපාල හා තරුණ පිරිස අතර බරපතළ ගැටුමක් ඇති විය. ගැටුම උත්සන්න වෙද්දී නොසිතූ පරිදි සුසිරිපාල එල්ල කළ මාරාන්තික පහරකින් තරුණයකු මරුමුවට පත්විය. මේ හේතුවෙන් සුසිරිපාල නීතියේ රැහැනට කොටු විය. බන්ධනාගාර ගත කළ සුසිරිපාලට විරුද්ධව මිනීමැරීමේ චෝදනාවට නඩු පැවරිණි. නඩුවෙන් බේරීමට සුසිරිපාල නොගත් උත්සාහයක් නැත. ඒ සඳහා ඔහු මාපියන් සතු මුළු සේසතම වියපැහැදම් කළේය. ඔහුගේ පවුලේ සියල්ලන්ම අන්ත අසරණභාවයට පත්විය. එහෙත් නඩුව අවසානයේ චෝදනාවට වැරදිකරු වී වසර කීපයකට බන්ධනාගාර ගත වීමට සිදුවිය.   


එතැන් පටන් සුසිරිපාල​ෙග් පවුලේ සියලු දෙනාටම කණ කොකා හඬන්නට විය. මෙයින් මහත් සේ දුකට පත්ව සිටි සුසිරිපාලගේ වයස්ගත මව්පියන් දෙදෙනාම මෙලොව හැර ගියේය. ඔහුගේ බිරිඳ හා කුඩා දරුවෝ දෙදෙනා අන්ත අසරණ වූහ. ඔවුන්ට තම ජීවිතය ගැට ගසා ගන්නට සිදුවූයේ ඉතා අපහසුවෙනි. මෙහි ප්‍රතිඵලය වූයේ ජීවත්වීම සඳහා සුසිරිපාලගේ බිරිඳ අනිසි ක්‍රියා මාර්ගවල පවා යෙදෙන්නට විය. මේ අතරතුර තම දඬුවම් කාලය නිමාවී සුසිරිපාල ගමට පැමිණියේය. ගමේ සියලු දෙනාම ඔහු පිළිකෙව් කරන්නට විය. තමාගේ සියලු සේසතම නඩුවට වැයවීමෙන් ඔහුට ජීවත්වීමේ කිසිදු මාර්ගයක් ගැන සිතා ගන්නටවත් නොහැකි විය. එසේම තම බිරිඳගේ නොමනා ක්‍රියා පිළිබඳවද කලකිරීමට පත්ව සිටියේය. එහෙත් ඒවාට එරෙහි වන්නටද හැකියාවක් නොවූයේ තම දරුවන් දෙදෙනා ඒ තරමටවත් රැක බලාගත්තේ බිරිඳ නිසාය. එපමණක්ද නොව නිවෙසේ සැමගේ කෙණෙහිලිකම්වලද අඩුවක් නොවීය. ඒ හැමටමත් වඩා ඔහු කළ අපරාධය ඔහුගේ සිතට වධයක් විය. සුසිරිපාල නිවසටම වී හුදෙකලාව කල්පනාවේ නිරතවෙමින් කල් ගෙවූ අතර සමහර දිනවල කෑමක් ලැබුණේද දිනකට එක් වේලක් පමණි. වැඩි කලක් නොගියේය. සුසිරිපාල උන්මත්තකයකු බවට පත්විය. නොයෙක් විකාර කරමින් ගම පුරා ඇවිදින්නට විය. හරිහැටි කෑමක්, බීමක් පමණක් නොව නින්දක්ද නොමැති විය. දිනක් තම නිවෙසේ කිසිවෙක් නොසිටි අවස්ථාවක නිවෙසට ඇතුළු වූ සුසිරිපාල කඹයක්​ ගෙන බාල්කයක ගැට ගසා ගෙල වැලලාගෙන තිබුණේ මෙතෙක් සියලු දුක්වලට තිත තබමිනි. මේ ආරංචිය ලද ගමේ හැමෝම පැමිණියේ මෙය සියැසින්ම දැක ගැනීමටය. මේ අය අතර සිටි වැඩිහිටියෝ ‘‘ඕක තමයි කියන්නේ නරකට හොඳක් නෑ කියලා’’ මේවා සුසිරිපාලට නෙවෙයි ජීවත්ව ඉන්න හැමෝටම හොඳ පාඩම් යනුවෙන් පැවසූහ.   

 

 

 

මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

   

 

 

 

 

 

 

 

 

සකස් කළේ - 
ප්‍රසන්න සංජීව ​ෙතන්නකෝන්