ජීවිතය යහමගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


දේවමුල්ලේ රත්නසිරි ගමගේ මහතා ලියා එවූ කතාවකි. 

සතුන්ට දෙන්නට ගෙන ආ වස තමාටම පෙවී පරලොව ගිය හීන් අප්පු ආතා.


මීට දශක කීපයකට පෙර ඈත දුෂ්කර ගමක දිවි ගෙවූ හීන් අප්පුහාමි ආතා අහිංසක ගැමියෙකි. ගමේ කවුරුත් හීන් අප්පු ආතා යනුවෙන් ඇමතූ ඔහු දක්ෂ ගොවියෙකු විය. කිසිවකුටත් කරදරයක් නොමැතිව දිවි ගෙවූ හීන් අප්පු ආතා මස් මාංශ කිසිවක් ආහාරයට නොගත් අයෙකි. එහෙත් මත්පැනට නම් ගිජු බවක් දැක්වීය. වෙහෙස මහන්සි වී වැඩ පළ කරන ඔහු දිනපතාම පාහේ හැන්දෑවට මධු විතෙන් සප්පායම් වීම පුරුද්දක් කොටගෙන තිබුණි.  


ගොවිතැනට බොහෝ දක්ෂයකු වූ හීන් අප්පු ආතා සතුව ඉතා සරුසාර බිමකින් යුතු විශාල හේන් යායක් විය. එහි එළවළු, පලතුරු ඇතුළු විවිධ බෝග වර්ග රැසක් වගා කළ අතර, එයින් නිතරම පාහේ සරු අස්වැන්නක් ද ලැබීය. ඔහු තම හේනේ වගාවන්ට බවබෝගවලට පණ මෙන් ආදරය කළේය.  


හීන් අප්පු ආතා කොතරම් අහිංසක ගැමියකු වුවත්, තම හේනට කරදර කරන්නන්ට නම් ඔහුගෙන් කිසිදු සමාවක් නම් නොවීය.  


තම හේනට ඌරන්, මොණරුන්, ගවයින් වැනි සතුන්ගෙන් නිතරම පාහේ කරදර සිදුවිය. මෙයින් මහත් කෝපයට පත් හීන් අප්පු ආතා එම සතුන්ගෙන් තම වගාව බේරා ගැනීමට තෝරාගෙන තිබුණේ නම් මහා පාපකාරී උපායකි. ඒ නම් විවිධ ක්‍රම මඟින් සතුන්ට වස විස දී මරා දැමීමයි.  


නොයෙක් ආහාර වර්ගවලට වස විස දමා හේනේ තැන් තැන්වල දමා තැබීය. හේනට පැමිණෙන සතුන් වස දැමූ එම ආහාරපාන කෑමට ගැනීමෙන් වස විෂ ශරීර ගතවීම නිසා තැන් තැන්වල මැරී වැටී සිටීම සුලබ දසුනක් විය. මේවායින් හීන් අප්පු ආතා නම් අපමණ සතුටක් ලැබීය.  


කොතරම් කරදර කළත් මෙවැනි දේ කරමින් අහිංසක සතුන් මරා දැමීම ගමේ දැන උගත් වැඩිහිටියෝ කිසිවෙක් අනුමත නොකළහ. මෙවන් කටයුතු මහා පාපකාරී ක්‍රියාවන් බව ගමේ වැඩිහිටියෝ කොතෙකුත් පෙන්වා දුන්නත් හීන් ආතා ඒවා කිසිවක් ගණනකට නොගත්තේය. ඒ, ඔහු ඒ තරමටම තම වගාවන්ට දැඩි සේ ආදාරය කළ නිසාමය. සතුන්ට දැමීමට ගෙන එන වස විස වර්ග නිවසේ රාක්කවලම තබාගෙන තිබුණේ ඒවා නිතර නිතර අවශ්‍ය වෙන නිසාමය. වගාවන්ට කොතරම් හානි කළත් හීන් අප්පු ආතා කරන්නේ මහා පවුකාර වැඩකි.  


එදිනත් වෙනදා මෙන්ම දවස පුරා හේනේ වැඩ කර සතුන්ගෙන් බෝග බේරා ගැනීමට යොදන වස විස සහිත උගුල් ද සකසා නිවසට පැමිණියේ ඇඳිරි වැටෙන යාමයේය. ඇඟපත සෝදා පිරිසිදු වූ ආතා ඇඟපතේ වෙහෙස නිවාගන්නට සුපුරුදු පරිදි මධු විත ටිකකින් සප්පායම් විය. එදින වෙනදාටත් වඩා වැඩියෙන් මධු විත ගත් හීන් අප්පු ආතාගේ වෙහෙස මහන්සිය පහව ගොස් තිබුණේ තම සිහි කල්පනාව ද බොහෝ දුරට අඩු කරමිනි. එහෙත් එයින්ද නොනැවතුන ආතා මත්පැන් බෝතලය තබා තිබූ රාක්කය අසලට ගොස් කිසි සොයා බැලීමක් නොමැතිවම බෝතලය ගෙන කටේ හලාගත්තේ වෙනදා පුරුද්දටය. 

 
එහෙත් එදින නම් හීන් ආතාට වැරදුණි. ඔහුගේ පව්කාර වැඩවලට තිත තබන්නට ආසන්නය. මත් වතුර වෙනුවට ආතා කටේ හලාගෙන තිබුණේ රාක්කයේ තිබූ සතුන්ට දැමීමට ගෙනා වස බෝතලයකි. වෙරි මර ගාතේම ආතා එයින් සෑහෙන ප්‍රමාණයක් පානය කර තිබුණි.  


ගතවූයේ සුළු මොහොතකි. වස විෂ කැවුණු සතුන් විඳි වේදනාවම සීයාටත් දැනෙන්නට විය. ඔහු වමනය දමමින් මර හඬ නගමින් කෑ ගසන්නට වූයේ සිරුර තුළින් අධික දැවිල්ලක් දැනෙන බව පවසමිනි. ඉතා ඉක්මනින්ම ආතා රෝහල් ගත කළ ද ඒ වන විට ආතා මෙලොව හැර ගොස් තිබුණේ තමා කළ පව්වලට වන්දිය මෙලොවදීම ගෙවමිනි.  

 



දේවමුල්ලේ රත්නසිරි ගමගේ මහතා ලියා එවූ කතාවකි.

 පැටවුන් බඩ දරා සිටි බැල්ලියට ගිනි තබා මැරූ පාපය මොලොවදී පළ දුන් හැටි.  

 

මෙම කතා පුවත මීට දශක 03කට පමණ ඉහත දී සබරගමුව පළාතේ පිටිසර ගමක සිදුවූවකි.  


ගමේ පොඩි තේ කඩයකි. එහි හිමිකරුට අමතරව කඩේ වැඩ කළේ උංගි නමින් හැඳින් වූ කොලු ගැටයෙකි. කඩේ වැඩ සියල්ල පැවරුණේ උංගිටය. දිනෙන් දින තේ කඩේ දියුණු විය. මෙසේ කාලය ගත විය.  


දිනක් කඩේ මිදුලට පැටවුන් වැදීමට ආසන්නයේ සිටි බැල්ලියක් ඇවිත් කෑමට යමක් සෙවීය. මෙය දුටු උංගි ‘මේ කොහෙන් ආ බැල්ලියක්ද’ කියමින් කඩේ අතුගෑමට ඇති කොස්සෙන් ගසා බැල්ලිය එළවා දැමීය. පසුදා උදේ තේ බොමින් සිටි ගැමියන් කීප​දෙනෙක් කඩේ සිටි අතර, එදින ද අර බැල්ලිය කඩේ ළඟට විත් කුසගින්න නිවා ගැනීමට යමක් සේවීමට වට පිට බලනවා දුටු ගැමියෙක් තමන් කෑමට ගත් වණ්ඩු ආප්පය බැල්ලියට දුන්නේය. බැල්ලිය ​බොහෝම ඉක්මනට වණ්ඩු ආප්පය ගිල දැම්මේය. මෙය දුටු උංගි ගැමියාට ද සද්දයක් දමා බැල්ලිය එළවා දැමීය.  


බැල්ලියගේ පැමිණීම උංගිට හිසරදයක් විය. උංගි වැස්සකටවත් ඉස්කෝලෙකට නොගිය නූගත් කොලු ගැටයෙකි. දිනක් උංගි බැල්ලියගේ පැමිණීම වැළැක්වීමට උපායක් යොදන අටියෙන් ගමේ වෙනත් කඩයකින් ලාම්පු තෙල් බෝතලයක් ගෙන විත් කඩ හිමියාටත් හොරා කඩේ සඟවා තැබීය. තවත් දිනක් උදාවිය. එදින ද අර බැල්ලිය පැටවුන්ද කුසේ දරාගෙන කඩේ මිදුලට ආවේ යමක් කා තමන්ගේ බඩේ සිටින දරුවන් පෝෂණය කිරීමේ බලාපොරොත්තුවෙනි.  


උංගි කඩහිමියාට ද හොරෙන් සඟවා තිබූ ලාම්පුතෙල් බෝතලය ද ගිනි පෙට්ටියක් ද රැගෙන බැල්ලිය දෙසට පාන් කැබැල්ලක් විසි කළේය. බැල්ලිය එය කෑමට සැරසෙද්දී අතේ තිබූ ලාම්පු තෙල් බෝතලයම උගේ ඇඟට දැම්මේය. බැල්ලිය කෑ ගසා දිවීමට තැත් කරද්දී උංගි බැල්ලියට ගිනි තැබීය. මුළු ඇඟම ගිනිගත් බැල්ලිය කෑ ගසා දුවන්නට විය. මෙය කන වැටුණු ගම්මු පන්සලේ ලොකු හාමුදුරුවන්ට දැන්වීය. හාමුදුරුවෝ ඉක්මනින් බැල්ලිය අල්ලාගෙන පන්සලට ගෙනවිත් අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කළහ. නමුත් සතියක් පමණ කෑ ගසමින් දඟලමින් සිටි බලු අම්මා පැටවුන් සමග මිය ගියෝය.  


මෙසේ කාලය ගතවිය. උංගි දැන් හැඩි දැඩි තරුණයෙකි. ඔහුගේ ගේ කිට්ටුව තරුණ යුවළක් ජීවත් වුණේ ඔවුන්ගේ කුඩා දරුවන් සමගය. උංගි මේ ගෙදර කාන්තාව සමග අනියම් සබඳතාවක් ඇති කරගෙන මෙය දුරදිග ගිය අතර, මෙය ගමේ අන් අය අතරට කනින් කොනින් ආරංචි විය. මෙසේ කාලය ගතවෙද්දී ඇයගේ සැමියාට මෙය දැනී ඇගෙන් විමසූ විට ඇය පවසා ඇත්තේ උංගි මට බලහත්කාරකම් කිරීමට එන බවය. මේ යුවළ ද ඉස්කෝලේ ගිය නැති නූගත් දෙදෙනෙකි. සැමියා මේකට හොඳ උපායක් කල්පනා කර උංගි කඩේ වැඩ නිමාකර ගෙදරට එන වෙලාවට උඹ පලයන් දෙවටට. එතකොට උංගි උඹලව දැකල නවතින්නෙ නැතෑ. ඊට පස්සෙ උඹ කෑගහපන් එතනට මම එන්නම්. දෙදෙනා කතිකා කරගත් අතර වැඩේ ඒ ආකාරයටම සිද්ධ විය.  


උංගි කඩේ වැඩ නිමකර දෙවට දිගේ එන්නට විය. කාන්තාව ද සිනා මුසු මුහුණින් උංගි එන දෙසට දිව යන්නීය. උංගි දුටු කාන්තාවට සැමියා කියූ දේවල් අමතක විය. පෙර දිනයන්හි සිදුවෙන සියල්ල එදින ද සිදුවිය. ටික වේලාවකට පසු ‘එහෙනම් මම යන්නම්. ඔයා පරිස්සමින් යන්න’ කියමින් උංගි යන්නට සැරසුණි. එක පාරටම කාන්තාව මර හඬ දී කෑ ගසන්නට වූවාය. සැමියා කැත්තක් ද අතැතිව දෙවට දිගේ දුව ආවේය. අද නම් මම ඉවරයි සිතූ උංගි දුවන්නට විය. වැඩි දුරක් යාමට නොහැකි වූ උංගි පය පැටලී බිම ඇදවැටෙනවාත් සමග සැමියා කැත්තෙන් ප්‍රයෝජන ගත්තේය. කාන්තාව ද ‘​මේකා තමයි මට හැමදාම කරදර කරන්නේ’ කියමින් සැමියා අතේ ඇති කැත්ත උදුරාගෙන උංගි මෙලොවින් තුරන් කළේය.  


උංගිට වූ ඉරණම ගමේ හැමතැනම පැතිර ගියේය.  


ගම්මු කීවේ ‘බැල්ලියට ගිනි තියා මැරූ පාපය මෙලොවදීම පළ දුන්නා’ කියාය. මෙසේ කාලය ගත විය. උංගි මැරූ චෝදනාවට නීතියෙන් දඬුවම් ලැබූ යුවළ ටික කලකින් ගෙදර ආවේය. මෙසේ කාලය ගත විය. ඔවුන්ගේ දරුවන් දීගතල ගොසින්ය. වයසක අම්මා තාත්තා පමණක් ගෙදර හුදකලා විය. මහලු වියට පත් තාත්තා සුව කළ නොහැකි රෝගයක් සෑදී හිත් වේදනාවට ගෙදර බාල්කයක එල්ලී දිවි තොරකර ගත්තේය. දැන් ඉතිරිව ඇත්තේ වයසක අම්මා පමණි. තාත්තාගේ තුන්මස් දානය දීමටත් පෙරම ඒ ගෙවත්තේම ගසක එල්ලී දිවි තොරකර ගෙන මෙලොවින් ඇය ද සමු ගත්තාය. උංගි මැරූ පාපය මේ ජීවිතයේදීම ඔවුන් දෙදෙනාට පළ දුන්නේ ඒ ආකාරයටය. පරපණ නැසීම මේ ආත්මයේදීම පළ දෙන බව මෙයින් ලෝක සත්වයාට පසක් කරදෙයි.  

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

 

සකස් කළේ - ප්‍රසන්න සංජීව තෙන්නකෝන්