IMG-LOGO

නිල නිවාසයේ බත්පතට මන්ත්‍රීවරුන් ඇද්ද ගෝරිය

 

  • බත්පතේ මිල වැඩිවෙලා 1976 දී මන්ත්‍රීන් නාහෙන් ඇඬුවා   

 

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආහාරපාන පිළිබඳව මන්ත්‍රීවරුන්ගෙන් ප්‍රථම වරට චෝදනාවක් එල්ල වූයේ එක්දහස් නවසිය හැත්තෑහයේ වසරේදීය. පහසුකම් සහ කෑම බීම සහ නවාතැන් පහසුකම් පිළිබඳව මිල ගණන් සංශෝධනය කරමින් නිකුත් කරන ලද චක්‍රලේඛයක් මෙම චෝදනාවට හේතු වී තිබිණි. එවකට පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා හා ප්‍රවාහන ඇමැති සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක මහතා විසින් ජාතික රාජ්‍ය සභාවේ සියලුම මන්ත්‍රීවරුන්වෙත එම චක්‍රලේඛය නිකුත් කර තිබිණි. 

 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආහාර සැපයීම සහ ඒවායේ අඩුපාඩු පිළිබඳව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කැරිණි. මන්ත්‍රීවරුන්ට විශේෂ කෑමවේලක් ලෙස හැදින්වූවත් විශේෂත්වයක් නොමැති බවත් කියැවිණි. මන්ත්‍රීවරුන්ගේ ආහාර සඳහා අතිවිශාල වියදමක් දරන බවට අනාවරණය වීම නිසා ඒ පිළිබඳව විවාදයක් ඇතිකළ යුතු බවට ද යෝජනා ඉදිරිපත්වීය.  


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආහාර පිළිබඳව ප්‍රථමවරට මහත් ආන්දෝලනයක් ඇතිවූයේ 1976 වසරේදීය, එවකට මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසය වූ ශ්‍රාවස්ති මන්දිරයේ ලැගුම්ගෙන සිටි මන්ත්‍රීවරුන්ගෙන් එම විරෝධතාව මතුවිය. එවකට ඔවුන්ට සැපයූ ආහාරවල මිල ගණන් වැඩියයි එම මන්ත්‍රීවරු එදා ප්‍රකාශ කරන්නට වූහ. එදා පැවති ආහාර මිල ගණන් එම මන්ත්‍රීවරුන් විසින් අනාවරණය කරනු ලැබීය. ඒ අනුව තේ පෝච්චියක්ම මිල වූයේ රුපියලකි. බිත්තර පාන්, බටර්, ජෑම් හෝ මාමලේඩ් සමඟ තේ කෝපි සඳහා අයකරනු ලැබුවේ රුපියල් තුනයි ශත පනහකි.  


සුප්, මාළු හෝ මස් මැල්ලුම්, සලාද, කරවල, පපඩම් සහ අතුරුපස සහ කෝපිත් සමඟ එදා අයකරනු ලැබුවේ රුපියල් හතයි ශත පනහකි. මන්ත්‍රීවරුන් ශ්‍රාවස්තියේ නවාතැන් ගැනීම සඳහා කාමරවලට අයකරන මිල ගණන් සහ එවකට ජාතික රාජ්‍ය සභාවට යාම සඳහා කුලී රථවලටද මුදල් ගෙවීමට සිදුවන බවට ද මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා එල්ලවීය.   
මන්ත්‍රීවරුන්ගෙන් ඉදිරිපත් වූ ආහාර සහ නවාතැන් පිළිබඳව අදහස් එවකට පැවති ලංකාදීප පුවත්පත ප්‍රථම වරට අනාවරණය කළේය.  


1976 දෙසැම්බර් 3 වැනිදා ලංකාදීප මුල් පුවතින් ‘‘ශ්‍රාවස්තියේ මිල වැඩි යයි මන්ත්‍රීවරුන් නාහෙන් අඬති’’ යනුවෙන් පළවූ එම පුවත ඒ අයුරින්ම මෙසේය.  


‘‘ශ්‍රාවස්ති මන්දිරය ඉකුත් බදාදා සිට නැවත මන්ත්‍රීවරුන් සඳහා විවෘත කිරීමෙන් පසු එහි කාමර ගාස්තු සහ කෑම බීම සඳහා නියමකොට ඇති මිල ගණන් ජාතික රාජ්‍ය සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සහ විරුද්ධ පක්‍ෂයේ සමහර මන්ත්‍රීවරුන්​ගේ විවේචනයට ලක්වී ඇත. දැනට නියමකොට තිබෙන අලුත් මිල ගණන් අනුව ශ්‍රාවස්තිය තුළ එක දවසක් ගත කිරීමට පමණක් යටත් පිරිසෙයින් රුපියල් 50-75 අතර මුදලක් වැයවන බවත් තමනට එය කිසි විටෙකත් දැරිය නොහැකි විසඳුමක් බවද මන්ත්‍රීවරු කිහිප දෙනෙක්ම ලංකාදීපයට කීහ.  
මෙම තත්ත්වය යටතේ පිට පළාත්වල මන්ත්‍රීවරුන් බොහොම දෙනෙකුට මෙම නේවාසිකාගාරය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට සිදුවනු ඇතැයිද ඔවුහු පවසති. අගනුවර සමහර හෝටල්වල ශ්‍රාවස්තියට වඩා අඩු මුදලක් ගෙවා සියලු සැප පහසුකම් සහිතව නවාතැන් ගත හැකි බවද පවසති.  


ශ්‍රාවස්තියේ නව පහසුකම් සහ කෑම බීම හා කාමර පිළිබඳ ප්‍රතිශෝධිත මිල ගණන් දක්වමින් පාර්ලිමේන්තු කටයුතු ක්‍රීඩා සහ ප්‍රවාහන ඇමැති සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක කේ.බී. රත්නායක මහතා විසින් නොබෝදා ජාතික රාජ්‍ය සභාවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත චක්‍රලේඛයක් යවනු ලැබීය. ඒ අනුව කොළඹ සිට සැතපුම් 20කට ඈතින් පදිංචිව සිටින මන්ත්‍රීවරුන්ට මෙම නවාතැන් පහසුකම් සපයනු ලැබේ. එහිදී ගෙවිය යුතු මිල ගණන් සහ එම මිලට ලැබෙන කෑම බීම මෙසේය.  


අලුයම තේ පෝච්චියක් රුපියලයි.  


උදේ ආහාර බිත්තර පාන් බටර් ජෑම් හෝ මාමලේඩ් තේ හෝ කිරි කෝපි හෝ මාළු හෝ මස් කරි හා සම්බෝල සහිත ඉඳිආප්ප තේ හෝ කෝපි සමඟ රු. 3.50  
දවල් කෑම සුප් මාළු හෝ මස් සමඟ මැල්ලුම්, සලාද, කරවල, පපඩම් සහ බත්, අතුරුපස සහ කෝපි සමඟ රු. 7.50යි.  


දවල් කෑම - කෝසස් සමඟ රු. 10.00යි.  


රාත්‍රීකෑම- කෝසස් රු. 10.00යි. 

 
මේ අතර මන්ත්‍රීවරුන් නවාතැන් ගන්නා කාමර සහ අලුතෙන් නියමකොට ඇති මිල ගණන් හා පහසුකම් මෙසේය.   


පොදු නාන කාමර සහිත තනි කාමරයක් රු. 15.00කි. එයට ඇඳක් අල්මාරියක්, ලාච්චු සහිත කණ්නාඩි මේසයක්, ඇඳ අසල කබඩ් එකක් සහිත මේස ලාම්පුවක්, බොක්ස් ස්ටෑන්ඩ් කෝට් එල්ලනය, ලියන මේසය පුටුවක් සහ හාන්සි පුටුවක්ද වේ. මෙයට අමතරව කාමරවල ඇඳන් සඳහා ඇඳ අැතිරිලි, කොට්ට උර, නාන තුවා, මුහුණ පිස දමන තුවා සබන් පෝච්චියක්, සහ සබන්ද සපයනු ලැබේ.  


ඉහත කී තනි කාමරයට අමතරව තනිව හෝ දෙදෙනෙකුට පාවිච්චි කළ හැකි පොදු නාන කාමරයක් සහිත කාමරයකට එක් අයෙකුට දිනකට රුපියල් 20.00කි. දෙදෙනෙකුට නම් රුපියල් 30.00කි. තනිව හෝ දෙදෙනෙකුට ඇති කාමර සඳහා තනි අයෙකුට රුපියල් 25.00කි. දෙදෙනෙකුට නම් රුපියල් 40.00කි. මෙම කාමරවලට ඉහත සඳහන් සියලු ගෘහ භාණ්ඩ සපයනු ලැබේ.  


මෙම කාමර පහසුකම් ජාතික රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරුන්ට පමණක් සීමාවන බවද දෙදෙනෙකුට පාවිච්චි කළ හැකි කාමර ලබාගන්නේ නම් එහි මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පමණක් නතරවීමට​ යොදා ගත යුතු බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ඇමැතිවරයා සියලු මන්ත්‍රීවරුන් වෙත යවන ලද චක්‍රලේඛයේ සඳහන්වේ.  


කාමර සහ කෑමබීම සඳහා අය කරන අලුත් මිල ගණන් අසාධාරණ බැව් ඇතැම් මන්ත්‍රීවරු පවසති. මන්ත්‍රීවරුන්ට ශ්‍රාවස්තියේ සිට ජාතික රාජ්‍ය සභාවට යෑම සඳහා තවත් අමතර කුලී රිය ගාස්තුවක් වැය වන බව ද පවසති.  


මේ අතර මන්ත්‍රීවරුන්ගේ සාමාන්‍ය මාසික දීමනාවට අමතරව ජාතික රාජ්‍ය සභාව රැස්වන දිනවල කොළඹට සැතපුම් 20ක් ඈතින් පදිංචිව සිටින සෑම මන්ත්‍රීවරයෙකුටම ඒ එක් රැස්වීමකට සහභාගිවීම සඳහා රුපියල් සියයක (100) දීමනාවක්ද ගෙවනු ලැබේ. යනුවෙන් එම පුවත්පත මගින් පෙන්වා දෙනු ලැබීය.  

 

තිස්ස ජයවර්ධන  

 

 

 

 

 



අදහස් (0)

නිල නිවාසයේ බත්පතට මන්ත්‍රීවරුන් ඇද්ද ගෝරිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 261 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 786 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site