ආර්ථික විග්‍රහය

රජය සතුව ඇති බව කියන ඩොලර් සංචිතය සහ කාලීන ආර්ථික කරුණු කිහිපයක් පිළිබඳ ආචාර්ය නාලක ගොඩහේවාගේ විග්‍රහය 

• වත්මන් ආර්ථිකය තියෙන තැන ගැන ඔබේ අදහස කුමක්ද? 


අද මේ රටේ සෑම පුරවැසියෙක්ම දන්නවා රටේ විශාල ආර්ථික අර්බුදයක් තිබෙන බව. පසුගිය වසර 3 තුළ රටේ ආර්ථික ගමන සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වී ඇති බව තවදුරටත් ජනතාවට රහසක් නොවෙයි. ඕනෑම ගෘහණියකගෙන් ඇහුවොත් කියාවි ජීවන වියදම මොන තරම් වැඩිවෙලාද කියලා. සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල වැඩිවෙලා රැකියා හිඟ වෙලා, ව්‍යාපාර පාඩු ලබනවා, විදේශ ආයෝජකයො රටට එන්නේ නැහැ, ජනතාවගේ අතේ මුදල් නැහැ, හොර මැරකම් වැඩිවෙලා. රටක සැබෑ ආර්ථිකය තියෙන්නේ ජනතාව අතරයි. කම්හලේ ගොවිපොළේ කාර්යාලයේ පාසලේ රෝහලේ වැඩකරන ජනතාව අතරයි. අද පාර තොටේ ආර්ථිකය ගැන සතුටින් කතාකරන කවුරුවත් ඉන්නවාද? 


• ආර්ථිකයේ ඇදවැටීමක් ගැන ඔප්පු කරන්න ඔබ සතුව දත්ත තිබෙනවද? 


ඇයි නැත්තේ? බලන්න 2012-2014 කාලයේ සියයට හතක (7%) ආසන්න මට්ටමක පැවති ආර්ථික සංවර්ධන වේගය ක්‍රම ක්‍රමයෙන් පහළට ඇවිත් 2017 වසර වන විට 3.1% ක පමණ පහළ මට්ටමකට අඩුවෙලා තියෙනවා. මේ වසර 16කට පසු රටේ අඩුම සංවර්ධන වේගය. යුද්ධය ඉහළම මට්ටමක තිබුණු කාලයේ වත් මෙහෙම වුණේ නැහැ. වත්මන් රජය දසලක්ෂයක් රැකියා පොරොන්දු වී බලයට ආවට එදා තිබුණ රැකියා ප්‍රමාණයවත් අද නැහැ. මහ බැංකු වර්තාවලටම අනුව 2014 ලක්ෂ 84 ක් වූ රැකියා ප්‍රමාණය 2017 ​ෙවන විට ලක්ෂ 82 ට අඩු වෙලා. එදා ආසියාවෙ තිරසාරම වෙ​ෙළඳපොළ ලෙස සම්මාන ලබපු කොළඹ කොටස් වෙ​ළෙඳ පොළ අද ආයෝජකයන් පාඩු ලබන තැනක් බවට පත් වෙලා. කොටස් වෙළඳපොළ ප්‍රාග්ධනීකරණය වත්මන් ආණ්ඩුවේ පළමු වසර 3 තුළ පමණක් රුපියල් බිලියන 215 කින් එහෙමත් නැත්නම් කෝටි 21,500 කින් පහත වැටිලා. මේ අතර රජය ජනතාවගෙන් අයකර ගන්නා බදු විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. 2014 ට සාපේක්ෂව 2017 වසරේදී රජය රුපියල් කෝටි හැටදාහක් වැඩිපුර බදු අයකරල තියනවා ජනතාවගෙන්. මෙය සියයට හැටක (60%) වැඩිවීමක්. 2018 වසරේ අය කරන්නට නියමිත බදු ප්‍රමාණය ඊටත් වැඩියි. අයවැයේ කියන විදියට මුළු බදු බර රුපියල් කෝටි ලක්ෂය ඉක්මවාවි. එය 2014ට සාපේක්ෂව 100% ක බදු වැඩි වීමක්. නමුත් මේ බදු වැඩිවීම හරහා ජනතාවට ලැබුණ දෙයක් නැහැ. උදාහරණයක් වශයෙන් 2017 දී අධ්‍යාපනයට රජය වැය කළේ දළ ජාතික නිෂ්පාදනයෙන් 1.9% ක් සෞඛ්‍යයට 1.5% ක්. 2014 දී තිබුණෙත් මේ ප්‍රතිශතයන්මයි. එදා පොරොන්දු ආකාරයට අධ්‍යාපනයට 6% හෝ සෞඛ්‍යයට 3% ජනතාවට ලැබිලා නැහැ. බදු පමණක් 60% න් වැඩි වී තිබෙනවා. 


ඉහත කී ආර්ථික දර්ශකවලට අමතරව රටේ සමාජීය ගැටලු රාශියක් මතුවෙමින් පවතිනවා නේද? සිය දිවි නසාගැනීම්, කාන්තා දූෂණ, පොලිස් ස්ථාන තුළ සිදුවෙන මරණ, පාතාල ක්‍රියාකාරකම්, වන සංහාර, සත්ව ඝාතන, මත්ද්‍රව්‍ය භාවිතය වැනි බොහෝ අංශවලින් රට තවදුරටත් පරිහානියට පත්වෙමින් තිබෙනා බව අපි දිනපතා අසන දකින ප්‍රවෘත්තිවලින් පෙනී යනවා. 


• රටේ මහා ණය කන්දරාවක් තිබෙන බැව් විවිධ පාර්ශ්ව කියනවා ඒ ගැන කුමක්ද අදහස? 


වත්මන් රජය බලයට ආපු දවසේ ඉඳලා නිතරම කතා කරන දෙයක් තමයි පසුගිය රජය විශාල වශයෙන් ණය අරන් තිබෙනවා. ඒ ණය ගෙවන්නට සිදුවී තිබීම වත්මන් රජයට විශාල බරක් කියලා. නමුත් මෙය ඇත්තෙන්ම ජනතාව නොමග හැරීමක්. ඔවුන් උත්සාහ කළේ ණය ගැනීමෙන් පසුගිය රජය විශාල වරදක් කළා කියා මතයක් ගොඩ නගා දේශපාලන වාසියක් ලබා ගන්නයි. නමුත් ණය ගැනීම ලෝකයේ ඕනෑම රටක් කරනවා.

උදාහරණයක් වසයෙන් ගත්තොත් ඇමෙරිකාව, චීනය, එංගලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව මේ ඕනෑම රටක් තම රටේ සංවර්ධන කටයුතුවලට ණය ගන්නවා. වැදගත් ​ෙවන්නේ ගන්නා ණයවලින් සැබෑ සංවර්ධනයක් වෙනවාද කියනා එකයි. අපි දන්නවා පසු ගිය රජය කාලේ මොනතරම් සංවර්ධනයක් මේ රටේ සිදු වුණාද කියා. වරායවල් ගුවන් තොටුපොළවල් අධිවේගී මාර්ග, විදුලි බලාගාර, වාරි කර්මාන්ත, නගර සංවර්ධනය, පාසල් හා රෝහල් ගොඩනැගීම වැනි දේ සඳහා තමයි මේ ණයට ගත් මුදල් වියදම් වුණේ. නමුත් මේ ආණ්ඩුව බලයට ආවට පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ. අද එදාටත් වඩා වේගයෙන් රජය ණය ගන්නවා. උදාහරණයක් විදියට පසුගිය වසර 3 තුළ දිනකට රුපියල් කෝටි 300ක පමණ වේගයෙන් වත්මන් රජය ණය අරන් තිබෙනවා. පියවා නැති සමස්ත රාජ්‍ය ණය 2014 අවසන් වන විට රුපියල් කෝටි 739,100 ක් වූ අතර 2017 අවසන් වන විට එම ප්‍රමාණය රුපියල් කෝටි 1,031,200 දක්වා 40% කින් ඉහළ ගොස් තිබෙනවා. මේ දේවල්වලින් සංවර්ධනයක් කළ බවක් පෙනෙන්නේ නැහැ. 


• විදේශ සංචිත දේශපාලනඥයින් නිතර කතා කරන මාතෘකාවක්. විදේශ සංචිතවලින් රටකට තියන වැදගත්කම මොකද්ද ? 


අද ලෝකයේ සෑම රටකටම පිටරටවලින් යම් යම් භාණ්ඩ මිලදී ගන්න සිදුවෙනවා. උදාහරණයක් වශයෙන් ඛනිජ තෙල් මේ රටේ නිෂ්පාදනය වෙන්නේ නැති නමුත් අපට අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේ වාහන, ඉලෙක්ට්‍රොනික් බඩු, ආහාර, රෙදිපිළි වගේ තව බොහෝ දේවල් අපිට පිට රටින් ගන්න වෙනවා. මේවාට රුපියල්වලින් ගෙවන්න බැහැ. ඒවාට ගෙවන්නට විදේශ මුදල් අපි ළඟ තියෙන්න ඕනෑ. අන්න ඒකට තමයි විදේශ සංචිත කියන්නේ. අපිට පිට රටින් ගන්නා ණය ආපසු ගෙවන්න ගියහමත් සංචිතවල තිබෙන මුදල් භාවිත කරන්නට වෙනවා. භාණ්ඩ ආනයනයේ දී හා ණ‍ය ගෙවන විට සංචිත ක්ෂය වන බව කියන්නට අවශ්‍ය නැහැ. සංචිතවල අවශ්‍ය ප්‍රමාණයට වඩා විශාල මුදලක් තිබෙනවා නම් ගැටලුවක් නැහැ. සංචිතවල මුදල් විශාල වශයෙන් අඩු වුණොත් ආයෙත් කොහෙන් හෝ විදේශ මුදල් සොයාගෙන මේ සංචිත ප්‍රති පූර්ණය කළ යුතුයි. 


• රටට අවැසි තරම් විදේශ සංචිත පිරිල තියෙනව කියා රජය කියනවා ඒවා ප්‍රමාණවත්ද? 


මහ බැංකුවට විදේශ මුදල් හෙවත් සංචිත අහසින් කඩා පාත් වෙන්නේ නැහැ. මහ බැංකුවේ සංචිත එකතු වන්නේ කොහොමද? එක ක්‍රමයක් තමයි අපේ රටට විදේශ ණය හෝ විදේශ ආයෝජන ලෙස විදේශ මුදල් පැමිණීම. මේ ණය හා ආයෝජන රජයට පැමිණි එ්වා නම් මහ බැංකුව එම මුදල් තම විදේශ මුදල් සංචිතවල තබාගෙන ඒ වෙනුවට රජයට රුපියල් ලබා දෙනවා. සමහර විට පෞද්ගලික අංශයට අපනයන ආදායම් වශයෙන් ලැබෙන විදේශ මුදල් රුපියල්වලට හරවා ගැනීමේදී වෙළෙඳ බැංකුවල එකතුවෙන විදේශ මුදල්වලින් කොටසක් එම බැංකු විසින් මහ බැංකුවත් සමඟ රුපියල්වලට හුවමාරු කරගනු ලබනවා. මේ ආකාරයට තමයි මහබැංකු ඩොලර් සංචිත ගොඩ නැගෙන්නේ. මහ බැංකුවට තම සංචිත ප්‍රමාණයට වඩා ක්ෂය වෙලා කියා හැඟුණහොත් මහ බැංකුවට සිදු වෙනවා දේශීය විනිමය වෙ​ෙළඳපොළට ගොස් රුපියල්වලින් ගෙවා විදේශ මුදල් මිලදී ගන්නට. එහෙම කරන්න කරන්න රුපියලේ අගය තවත් බාල්දු වෙනවා. මොකද සැපයුමට වඩා ඉල්ලුම වැඩි නිසා. ඩොලර් මිලදී ගන්න රුපියල් අච්චු ගැහුවොත් උද්ධමනය වැඩි වෙනවා. වත්මන් මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී කියා තිබුණා මහ බැංකුව මසකට ඇමෙරිකානු ඩොලර් කෝටි 20 ක් පමණ මිලදී ගන්නා බවක්. මේ විදියට 2017 වසර තුළ පමණක් රජය ඇමෙරිකානු ඩොලර් කෝටි 165 ක් පමණ වෙ​ෙළඳ පොළෙන් මිල දී ගෙන තිබෙනවා. මේක හරියට ඔබේ කුඹුරේ අස්වැන්න හොඳයි කියල පෙන්නන්න කඩෙන් වී සල්ලි දීල ඇරගෙන අටුව පුරවනවා වගේ වැඩක් නේද? 


• කොහොමද අපි විදේශ සංචිත වැඩිකරගන්නේ? 


අපි පිටරටට භාණ්ඩ හෝ සේවා යවන විට අපට විදේශ මුදල් ලැබෙනවා. පිට රට වැඩකරන ලාංකිකයින්ගෙන් අපට විදේශ මුදල් ලැබෙනවා. සංචාරකයින් වැඩි වැඩියෙන් ලංකාවට එනකොට අපට විදේශ මුදල් ලැබෙනවා. රටට විදේශ ආයෝජන එන කොටත් එහෙමයි. ණය ගන්නා විටත් විදේශ මුදල් අපේ සංචිතවලට එකතු වෙනවා හැබැයි විදේශ ණය ආපසු ගෙවන විට ඒ මුදල් ආපහු යනවා. දේශීය භාණ්ඩ හා සේවා අපනයනයෙන් මුදල් එනවා වගේම විදේශ භාණ්ඩ හා සේවා ආනයනය නිසා අපේ සංචිත ක්ෂය වෙනවා. අවසනාවකට වගේ අප රටේ සමස්ත ආනයන වියදම අපනයන ආදායම වගේ දෙගුණයක්. ඒ නිසා සංචිත ශක්තිමත් කරන්නට නම් අපට අනිවාර්යයෙන්ම අපේ අපනයනයන් වැඩි කරන්න වෙනවා. ඒ වගේම වැඩි වැඩියෙන් විදේශ ආයෝජන රටට ගෙන්වා ගත යුතුයි. ඒ සඳහා හොඳ සැලැස්මක් රටට තිබිය යුතුයි. 

 

 

 

 

පුෂ්පා වීරසේකර