ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවක් මෙසේය.  

හත් දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ඔහුය. ඔහුගේ නම අනිල්ය. අනිල්ට සොයුරන් තිදෙනෙකු හා එක් සොහොයුරියකි. අනිල් පවුලේ දෙවැනියාය. සොහොයුරිය වැඩි මලාය.   


පියා පෙදරේරුවෙකි. මව ගෘහණියෙකි. පියා පෙදරේරු රැකියාව කරමින් දරු පවුල පෝෂණය කළේය. මව්පියෝ දරුවන්ට හොඳින් ඉගැන්වූහ. දරුවන් ඉගෙන ගත්තේ ගමේ පාසලේය. අනිල්ගේ සොහොයුරියගේ පාසල් ගමන අතර මඟ නතර වූවාය. ඇය සුදුසු කළ පැමිණි පසු විවාහ වූවාය.   


අනිල් අ.පො.ස. සාමාන්‍ය පෙළ දක්වා ගමේ පාසලින් ඉගෙන ගත්තේය. එහෙත් ඔහුට සාමාන්‍ය පෙළ සමත් කර ගැනීමට නොහැකි විය. අනිල් පාසලේදී කුරා කුහුඹුවකුට වත් කරදරයක් නොකළේය. විනයගරුකව පාසල් දිවිය ගෙවීය.   


අ.පො.ස. සා.පෙළ විභාගය අසමත් වීමත් සමග ඔහු වැටුණේ සමාජයටය. පාසල තුළ විනීත යහපත් ළමයකු වුවත් සමාජය ඔහුගේ ජීවිතය වෙනස් ක​ෙළ්ය. ඒ පාප මිතුරන් ගේ ඇසුර නිසාය. දැන් ඔහු රෑ බෝවී නිවසට පැමිණේ. දෙමාපියන් ඒ පිළිබඳව කොපමණ අවවාද කළත් ඔහුට එය ගාණක් නැත.   


රෑ බෝ වී නිවසට පැමිණෙන ඇතැම් දිනවලට අනිල් යහළුවන් සමග මත්පැන් බී වෙරි වී පැමිණේ. සමහර දිනවල තනිවම සිනාසෙමින් ගෙට ගොඩ වේ. ඒ ගංජා සුරුට්ටුව ඉරූ දිනටය.   


මේ සඳහා ඔහු ආදායම් සොයා ගන්නේ කුමක් හෝ තාවකාලික රැකියාවකට ගොස්ය. අසු වූ ඕනෑම කුලී වැඩකට යයි. ලැබෙන මුදල් නිවසට දීමක් නැත. ඒවා වියදම් කරන්නේ මිතුරන් සමග විනෝද වීමටය. විනෝද වන්නේ මත්පැන් පානය හා ගංජා සුරුට්ටු ඇදීමෙන්ය.   


කල්යත්ම අනිල් මත්කුඩු ඉරීමට පුරුදු විය. ඉඳහිට කළ මේ දුරාචාරය ඇබ්බැහියක් වීමට වැඩි කලක් ගත නොවීය. මත්පැන් අරක්කු මෙන් නොව මත්කුඩුවලට අධික මුදලක් අවශ්‍ය වු බැවින් කුලී වැඩවලින් ලබන ආදායම ප්‍රමාණවත් නොවී සොරකම් කිරීමට ද පෙළඹිණ. පටන් ගත්තේ ගමේ පොඩි පොඩි සොරකම් කිරීමෙන්ය.   


පසුව කණ්ඩායම් ගැසී සැලසුම් සහගත ලොකු මංකොල්ලකෑම් වලට ද ගියේය.   


දිනක් මත්පැන් බොන අතර වාරයේ මිතුරකු සමග ඇති වූ සුළු මත භේදයක් පිහියකින් ඇණ ඔහුට ඝාතනය කිරීම දක්වා දික්විය. අනිල් මිනිස් ඝාතනයට සැකපිට රිමාන්ඩ් බන්ධනාගාර ගත විය.   


රිමාන්ඩ් බන්ධනාගාරයේ වසර කීපයක් ඔහුට ගෙවන්නට සිදු වුයේ ඇප දීමටවත් කවුරුවත් ඉදිරිපත් නොවු නිසාය. වසර කීපයක් බන්ධනාගාර ගතව සිටි අනිල් අැප මත නිදහස් විය. එහෙත් සෑම සති අන්තයකම පොලිසියේ අත්සන් කළ යුතු විය. නඩුව තවමත් අසයි. එහි තීන්දුව තවමත් දී නැත. සිද්ධිය වී වසර 6 ක් 7 ක් පමණ වේ. ඒ ශ්‍රී ලංකාවේ නඩු අසන හැටිය.   


අනිල් කඩවසම්ය. මනා පැහැපත්ය. ලස්සනය. ඔහුට සහකාරියක් සොයා ගැනීම එතරම් අපහසු නොවීය.   


දිනක් ඔහු නගරයෙන් සහකාරියක් කැන්දා ගෙන නිවසට ආවේය. මාපියන් ද ඔහුට දැන් අවවාද උපදෙස් දීමට යන්නේ නැත. ඒ ඔහුට දෙන අවවාද නොපිළිගන්නා නිසාය.   


දැන් අනිල් විවාහකයෙක් නිසාත් ඇබ්බැහි වූ දුරාචාර නිසාත් වියදමත් සැරය.   


වී මෝල්වලට පැන වී සොරකම් කිරීම් නිවෙස්වලට සොරෙන් ගොස් විදුලි උපකරණ හා වෙනත් භාණ්ඩ සොරකම් කිරීම්, මහ මඟ අඳුරේ යන මිනිසුන්ගේ මුදල් මං කොල්ල කෑම් ආදී සමාජ විරෝධී අපරාධ නිරතුරුවම කරන්නට විය.   


මෙම සොරකම්වලින් පොලිසියට අසුවන ඒවා මෙන්ම අසු නොවන සොරකම් ද බොහෝය. අනිල්​ෙගන් අගතියට පත් වු පුද්ගලයන් ඔවුනට කරන ලද හිරිහැර කරදර අලාභ හානි වෙනුවෙන් දෙස් දොවොල් තැබීම් පොල් ගසා සාප කිරීම් වස් කවි කීම් ද එන්න එන්නම වැඩි විය.   


සමහරුන් මේවා කරන්නේ අනිල්ට හොරෙන්ය. බියෙන්ය. ඒ ඔහු මිනී මැරුමකට ඍජු ලෙස සම්බන්ධ වූ අයෙකු වන නිසාය.   


මේ අතර අනිල්ගේ වැඩවලට පොලිසිය නිතර නිවසට පැනීම, පොලිසි ගානේ රස්තියාදු වීමට සිදුවීම, අගහිඟකම් හා අනිල්ගේ ගුටි බැට ඉවසා සිටිය නොහැකි බැවින් බිරිඳ තම දරුවා සමග අනිල් හැරදා ඇය ඇගේ නිවසට ගියාය.   


දැන් අනිල් තනිවිය. වෙනදාමෙන් යහළුවන් ද නැත. සමාජයෙන් ද කොන් විය. දිනක් නිවසේ කිසිදු සද්දයක් නොමැති බැවින් අසල් වැසියකු නිවසට පැමිණ බලන විට අනිල් නිවසේ බාල්කයක ගෙල වැළලා ගෙන එල්ලී මැරිලාය. වසර 42 ක වියැති අනිල් අකාලයේ මියගියේ කළ කම් මෙලොවදීම විපාක දෙමින්ය.   

 



පානදුර නන්දනී මීගමආරච්චි මහත්මිය ලියා එවූ කතාවකි.     

චිතක යුගල


අධිනීතිඥ චාමික ගැන නොදන්නා වැඩිහිටියෙක් ගමේ නොමැති තරම්ය. දේශපාලනයේ නියැළී සිටින මොහු නගර සභාවේ සභිකයෙක් ද විය. මනබඳින සිනාවකින් සහ දිගු නෙත් සඟලකින් යුතු මොහු වචනයේ පරිසමාප්තියෙන්ම කඩවසම් පුද්ගලයෙකි.   


තෙවැනි පන්සිල්පදය නිරතුරුවම කඩකරන මොහුට හිසේ කෙස් ගානට ගැහැනුන් විය. අවිවාහක තරුණියන් පමණක් නොව විවාහක කතුන් පසුපස යෑමද මොහුගේ චර්යාව විය. අවිවාහක තරුණියන් තම අළු පැහැති වෝල්වෝ රථයේ ඉදිරිපස තබාගෙන මොහු ගමන් ගිය අතර විවාහක කතුන් තානායම් කරා රැගෙන යාමේදී අනිවාර්යයෙන්ම මොහු ඒ සඳහා සිය මිතුරකුගේ මෝටර් රථය යොදා ගත්තේය.   
කතුන් වර්ණනා කිරීම සඳහා මොහුට වෙනම වාග් මාලාවක් විය. රූමත් කතුන් වෙත ළං වන මොහු ‘‘ෂා ඔයාට තියෙන්නේ රටක් වටින සිනාවක්’’ යනුවෙන් පවසමින් මෝටර් රථයට නංවා ගැනීමට මාන බලනුයේ බස් රථයට ඇරලන නියාවෙනි.   


අධිනීතිඥ චාමික ඇසුරු කළ කතුන් අතර අතිශයින්ම රූමත් ශ්‍රීමා නමැති කතක් විය. ඇය තිදරු මවකි. ඇගේ සැමියා අගනුවර රජයේ කාර්යාලයක ලිපිකරුවෙක් වූ අතර, ශ්‍රීමා චාමිකගේ නීතිඥ කාර්යාලය පෙනෙන තෙක් මානයේ පිහිටි බැංකුවක සේවය කළාය. බොහෝ අවස්ථාවල ඇය චාමිකගේ කාර්යාලයට පැමිණ මොහු හා කතා කරනු දක්නට ලැබේ. මොවුන්ගේ අනියම් ඇසුර ශ්‍රීමාගේ සැමියාට රහසක් වුවත් එය සෙසු ලෝකයාට රහසක් නොවීය.   


චාමිකගේ සල්ලාලකම් ගැන දන්නා ජනයා මොහු නැති තැන මොහු හැඳින්වූයේ වල් චාමා යනුවෙනි.   


මැදිවියේ පසු වූ චාමික හදිසියේ විවාහ විය. උසස් පෙළ හදාරමින් සිටි පාසල් දැරියක දැක ඇය කෙරෙහි සිත් බැඳ විවාහ යෝජනාවක් මගින් ඇය හා යුග දිවියට එළඹුණේය. මොහුගේ අත ගැනීමට තරම් අවාසනාවන්ත වූයේ උදාරි නමැති දැරියකි.   


චාමික හා විවාහ වී තෙමසකට පසු උදාරිගේ රහස් අවයවවල වේදනාකාරි කුඩා බිබිලි සමූහයක් මතුවිය. චාමික කාර්ය බහුල පුද්ගලයෙකුවූ බැවින් උදාරි චර්ම රෝග විශේෂඥයෙකු බැහැ දැකීමට ගියේ ඇගේ මව සමගය.   
අැගේ බිබිලි පරීක්ෂා කළ වි: වෛද්‍යවරයා ඇයව රුධිර පරීක්ෂණයකට භාජනය කරවීය. රුධිර පරීක්ෂණයෙන් කියවුණේ ඇය උපදංශය නමැති භයානක සමාජ රෝගයෙන් පෙළෙන බවය. ඉන් අනතුරුව ඇය හා කතාබහ කළ ජීවක තුමා එය මෙම රෝගයේ පළමු අදියර බව වටහා දුන්නේය. පළමු අවස්ථාවේ ඖෂධ ගැනීමෙන් රෝගය සුව කිරීමට හැකි බව පැවසුවේය.   


ඉන් අනතුරුව ජීවක තුමා මෙම රෝගය ගැන උදාරි දැනුම්වත් කළේය.   


ඖෂධ ගත්තත් නොගත්තත් මෙම බිබිළි ඉබේම සුව වී යන බවත් නමුත් 1 වන අදියරේදී ඖෂධ නොගත්තත් රෝගය නිදන් ගත වී දෙවැනි අවස්ථාවට පිවිසෙන බවත් දෙවැනි අවස්ථාවේ වියළි මිදිගෙඩි ස්වරූපයෙන් යුතු බිබිලි අත් පාවල සහ සිරුරේ යම් යම් ස්ථානවල හට ගන්නා බවත් දෙවැනි අදියරේ මතුවෙන මේ බිබිලිත් කිසිදු කැලලක් වත් නොතබා ඉබේම සුවවෙන බවත් නමුත් ශරීර ගත වු මෙම විෂ බීජය ක්‍රම ක්‍රමයෙන් ස්නායු සහ මොළය අාක්‍රමණය කරන බවත් 03 වන අදියරට පිවිසි රෝගියකු සුව කිරීමට නොහැකි බවත් ඔවුන් උමතු වී සිහිසුන් වී මිය යන බවත් පැවසුවේය.   


තවද, උපදංශය නමැති මෙම සමාජ රෝගය වැළඳෙන්නේ එවැනි රෝගියෙකු හා ලිංගිකව හැසිරීමෙන් හා එවැනි රෝගියෙකුගේ ​ෙකළ ශරීර ගත වන පරිදි තදින් සිඹීමෙන් බවද පැවසීය.   


තවද මෙම රෝග කාරක බැක්ටීරියාව “ට්‍රිපොනිමා පැලිඩම්” යනුවෙන් හඳුන්වනු ලබන බවත් පැවසූ වෙදැදුරුතුමා නොපමාව ඇගේ සැමියා සමග විත් තමාව බැහැ දකින ලෙස පැවසීය.   


උදාරි නිවසට යනවිට චාමික නිවසට පැමිණ සිටියේය. ඇය තම අතෙහි වූ රුධිර පරීක්ෂණ වාර්තාව චාමිකට පෙන්වා තමාට උපදංශය වැළඳී ඇතැයි වි: වෛද්‍යවරයා පැවසු බව කීවාය. චාමික හිස් බැල්මකින් යුතුව ඇය දෙසා බලා සිට ඉන්පසු උඩ පැන පැන කොක් හඬලා සිනාසෙන්නට විය.   


මෙම රෝගයේ 03 වන අදියරේ රෝගීන් උමතුවෙනවා යයි පැවසු වදන් උදාරිට සිහි විය. දෙවියනේ චාමික මෙසේ හැසිරෙන්නේ උමතුවෙන්ද?   


වහා යුහුසුළු වූ උදාරි පවුලේ වෛද්‍යවරයා කැඳවීය. උදාරිගේ වෛද්‍ය වාර්තාව සහ චාමිකගේ හැසිරීම නිරීක්ෂණය කළ වෛද්‍යවරයා චාමික දැන් සිටින්නේ උපදංශය රෝගයේ 03 වැනි අවස්ථාවේ නිසා ඔහු සුව කළ නොහැකි බව පැවසීය. ඒකාන්තයෙන්ම මොහු මිය යන බවත් පැවසුවේය.   


එම කියමන සනාථ කරමින් තෙදිනක් සිහිසුන්ව සිටි වල් චාමා මෙලොව හැර ගියේය.   


චාමිකගේ සිරුරට සමාන්තරව තවත් චිතකයක් දැවේ. චිතකය හතර වටේ කොඩි වැල් මඳ පවනින් සැලේ. මළානික හිරු රැස් දසත පැතිරේ.   


හදිසියේම මාගේ නෙත ගැටුණේ කොඩියක සිට මා හා සිනාසෙන රූමත් මූණක් කෙරෙහිය. මා දෙස සිනාසෙමින් බලන්නේ කවරෙක් දැයි දැන ගැනීමට මට කුතුහලයක් ඇතිවුණි. එය මා දැක පුරුදු මුහුණක් යයි මට සිතුණි. මම වහා යුහුසුලුව චිතකය අසලට ගියෙමි. මට මාගේ දෙනෙත් අදහා ගැනීමට බැරිවිය. දෙවියනේ මේ ශ්‍රීමා නොවේද?   


දැන් චාමිකගේ චිතකය දැවේ. එම චිතකයෙන් ගුවනට මුසුව එන දුමාරය ශ්‍රීමාගේ චිතකයේ දුම් රොඩු හා එක්ව මඳ සුළ​ෙඟ් නැළවෙමින් ගුවන් ගත වේ.   


ශ්‍රීමා මෙතරම් තරුණ වයසේ මිය ගියේ ඇයි දැයි දැන ගැනීමට මාගේ සිත පොරකයි. 

 
මම ශ්‍රීමාගේ නිවස බලා ගමන් ගත්තෙමි. ඇගේ සැමියා අමුත්තන්ට සංග්‍රහ කරමින් සිටි අතර ඇගේ දියණිය විත් මා පිළිගත්තාය. අම්මා නැති වුණේ කොහොමද? මම ඇගෙන් විමසුවෙමි.   


අම්මාට උමතු රෝගය වැළඳුණා. විටින්විට සිහි නැතිවුණා. වෛද්‍යවරුන් පැවසුවේ අම්මාගේමොළයට “ට්‍රිපොනිමා පැලිඩම්” නමැති බැක්ටීරියාව ඇතුල් වෙලා කියලයි. ඒක බෝවෙන්නේ හෝහපුටුවා කියන පුංචි මදුරුවා දෂ්ට කිරීම නිසාය. ඇය වැඩි දුරටත් පැවසුවාය.   


දෙවියනේ මෙම දරුවා දන්න තරම්. එම රෝගය බෝ වන්නේ අනාචාරයේ හැසිරීමෙන් බව මම කෙසේ නම් ඇයට පවසන්නද?   


තෙවැනි සිල් පදය කඩ කිරීමේ විපාකය මෙම ආත්මයේ දී පළ දෙන අයුරු ඉහත සත්‍ය කතා පුවතින් අනාවරණය වේ.   

 



අං​ෙගාඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවු කතාවකි.     

දුෂ්ට කම් කළ පවින් කුෂ්ඨ රෝගියෙකු වී මිය යයි


දකුණු පළාතට අයත් ග්‍රාමීය ප්‍රදේශයක වාසය කළ ඔහු මැදි වියේ පසු වූ අයෙකි. අපි ඔහු පියදාස නමින් හඳුන්වමු. තම පිය පාර්ශ්වය වෙතින් හිමි වූ නිවසක් සහිත ඉඩමක් ද ඔහුට තිබුණු අතර, එය වැඩි දියුණු කර ගැනීමට හෝ ප්‍රයෝජනවත් වගාවක් සිදු කිරීමට හෝ කිසිදු උවමනාවක් පියදාස තුළ නොවීය.   


එනමුදු අන් අයගේ ඉඩම්වල විවිධ භෝග වගා කර තිබෙනු දැකීම ඔහුට ඉවසුම් නොදෙන කරුණක් විය. ඒ දෙස ඊර්ෂ්‍යා සහගතව බැලීමට හෙතෙම පුරුදුව සිටියේ එබැවිනි. වරක් යාබද ගෙවත්තකට රහසේ ඇතුළු වී ම​ංඤ්​ෙඤාක්කා වගාවකට හානි පැමිණ වීමට තැත් කළ අතර, එය එම හිමිකරුගේ​ නෙත ගැටුණෙන් බිය පත් වී ආපසු දිව එන්නට සිදු වුයේය.   


පියදාසගේ මෙම ක්‍රියාවත් සමගම හෙතෙම ඊර්ෂ්‍යා සහගත අයෙකු ලෙස නොයෙක් දෙනා විසින් හඳුන්වනු ලැබිණ. පියදාසගේ නිවසට නුදුරින් පොදු නාන ළිඳක් පිහිටා තිබුණ අතර, දිය නෑමට ඇති පහසුව සලකා නොයෙක් දෙනා දිනපතා එය වෙත පැමිණීම සුලභ දසුනක්ව පැවතුණි. ඇතැමුන් එහිදී ඔවුනොවුන් සමග අදහස් හුවමාරු කර ගැනීමට ද අමතක නොකළහ. එසේම සමහරු රෙදි ආදිය සෝදා ගැනීම සඳහා ද මෙම ළිඳ භාවිතා කළහ.   
මේ කිසිවක් පියදාසගේ සිත් නොගත්තේය. නොපමාව මෙය වළක්වාලන්නට කුමක් හෝ කළ යුතු යැයි හෙතෙම කල්පනා කළේය. ඒ අනුව රහසේම එය ක්‍රියාවට නැගුවේය. දින කිහිපයක්ම අමුත්තක් නොමැතිව ගෙවුණ අතර, එදින ද සුපුරුදු ලෙස එකිනෙකා ළිඳ වෙත ඇදී එන්නට වූවෝය. එහෙත් වෙනදා මෙන් සුවසේ දිය නෑමේ හැකියාවක් ඒ කිසිවෙකුට හෝ නොතිබිණි.   


ඔවුනට සිදුවුයේ කෑම පසෙක තබා තරගයට මෙන් දෑතින් තම තමන්ගේ සිරුරු කසා ගනිමින් ඉන් ඉවත්ව යාමටය. වරින්වර පැමිණි අය හට ද ඒ දෙයම සිදු විය. ළිං වතුරට කිසියම් විසක් මුසු වී අතැයි කව්රුත් සැක පහළ කළ අතර, වහාම ළිඳ පරීක්ෂා කර බැලීමට පියවර ගනු ලැබීය. කිතුල් ඇට කිහිපයක්ම ළිඳ තුළ තිබුණි. එසේම විවිධ පැළෑටි අතරෙහි දැවටුණු කුඩා ප්‍රමණයේ කහඹිළියා වැල් කොටස් රාශියක් ද එහිදී දක්නට ලැබිණ. නිසැකයෙන්ම මෙය පියදාස විසින් සිදු කරන ලද පහත් ක්‍රියාවත් බව ඒ කාගේත් පිළිගැනීම විය.   


මේ පිළිබඳව කාගේත් දෝෂාරෝපණ ඔහු වෙත එල්ල වු අතර හෙතෙම කිසිවක් නොදත් අයකු සේ නිහඬව සිටියේය. කාලය දින සති මාස වශයෙන් ගලා ගියේ කිසිදු අමුත්තක් නොමැතිවය. වසරේ මැද භාගය උදා වීමත් සමගම පියදාස හදිසියේම ගිලන් වූ අතර, ආහාර අනුභව කිරීම ද දුෂ්කර කරුණක් වී තිබිණ. එහෙයින් නිවැසියන් හෙතෙම නොපමාව රෝහල වෙත ගෙන යනු ලැබීය.   


රෝගී තත්ත්වයෙහි අඩුවක් දක්නට නොවු අතර, පියදාස වේදනාවත්මකව විලාප නඟන්නට වූයේය. ඒ අධික ලෙස තම සිරුර කසන්නට වීම හේතුවෙනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් සර්වාංගය පුරා බිබිළි රාශියක් හට ගත් අතර ඒවා එකිනෙක විශාල වී පුපුරා යාමෙන් දැඩි දුගඳක් ද වහනය වන්නට විය. මුහුණෙහි ද කිසියම් විරූපී ස්වභාවයක් ද දක්නට ලැබිණ.   


දෙසතියක පමණ කාලයක් මෙලෙස දුක් වේදනා විඳිමින් අසරණව විලාප නැගූ පියදාස පසුව අවසන් වරට දෙනෙත් පියා ගත්තේ ඉතා දුක්ඛිත විලසිනි. අනුන්ගේ දියුණුව දැකීමට අකමැතිව ඔවුන් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නොයෙක් හතුරුකම් කිරීමේ පාප කර්මයට හෙතෙම සිය ජීවිතයෙන් එලෙස වන්දි ගෙවූ බව පැහැදිලිවම පෙනී යන්නේය.   

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්