ජීවිතය ජීවත් කරවීමට නිවැරදි මග පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.   


අම්පාර, ගලපිටගල ධනපාල කොඩිතුවක්කු මහතා ලියා එවූ කතාවකි.   

ඌරන් මැරූ ඌරු මුත්තාගේ ඉරණම   

පනහ දශකය ශ්‍රී ලංකාවේ ගොවි ජනපද පිහිටු වීම ආරම්භක යුගයයි.   


නැගෙනහිර පළාතේ පිහිට වූ විශාලතම ගොවි ජනපද ව්‍යාපාරය වන්නේ ගල්ඔය ව්‍යාපාරයයි. සෑම පළාතකින්ම පාහේ ඉඩම් නොමැති අය තෝරා ජනපදවල පදිංචි කරන ලදී. වනරජදහනක්ව පැවති මෙහි වන සත්තු බොහෝ කාලයක් ගැවසෙන්නට වූහ.   


ඔහු ජේම්ස් යැයි හඳුන්වමු. මොහුද දකුණු සිරිලකෙන් ඉඩම් ලාභියකු ලෙස මෙම ප්‍රදේශයට පැමිණියෙකි. බොකුටු කොණ්ඩය සුදු පුළුන් රොදක් සේ දිස් වුවද එතරම් වයසක් පෙනුණේ නැත. ඒත් කවුරුත් පාහේ මොහු හැඳින්වූයේ ජේම්ස් මුත්තා යනුවෙනි. ඒ ගැන කිසිදු තරහක් ඔහු තුළ නොවිණ.   


මුත්තා කෙමෙන් පවට බරවන්නට විය. ඌරන් වැනි වන සතුන් රාත්‍රී කාලයට ගමන් ගන්නා මාර්ග අවහිර කොට යකඩ බටවලින් තැනූ තුවක්කු බැඳීම සිදු කළේය. පතරොම් ලෙස යොද‌ා ගනු ලබන්නේ යකඩ බෝල සහ යකඩ කැබලිය. වෙඩි බෙහෙත් සමග මෙම ද්‍රව්‍ය කඳට දමා වෙඩිල්ල සකසා ගනී. ඉන්පසු සතුන් ගමන් ගන්නා මාර්ගය අසලින් මැස්සක් ගසා තුවක්කු බටය සවි කොට ඇසට නොපෙනෙන නූලක් අදී. රාත්‍රී කාලයේ සැරිසරන ඌරෝ මේවාට නිතිපතා ගොදුරු බවට පත් වෙති. මුත්තාගේ සහයට තව සගයින් කීප දෙනෙක් ද සිටි අතර මරණයට පත් ඌරාගේ කකුල් බැඳ දණ්ඩක දමා කුදලා නිවසට ගෙන ඒම සිදු කරයි. ඉන් පසු ගිනිමැලයක් ගසා පුළුස්සා ගන්නා අතර ජලයෙන් සෝදමින් සුරා ගැනීම සිදු කරයි. ඉන්පසු සගයින්ද සමග එක්ව ඌරා කැබලිවලට කපා මස් ​ගොඩවල් ගසනු ලැබේ. මෙම මස් රාත්තල රුපියල් 50 බැගින් විකිණීම කරන අතර සගයින්ගේ කොටස ගෙවනු ලබන්නේ ද මස්වලිනි.   


​ෙමසේ එක දිගටම පාහේ මෙම ක්‍රියාව සිදු කරන බැවින් ජේම්ස් මුත්තා ඌරු මුත්තා ලෙස හඳුන්වන්නට විය. කෙසේ වුවද වරදින්නට වේලාවක් ද එළඹුණි. මුත්තා සුපුරුදු ලෙස තුවක්කුව බැඳ නිවසට පැමිණි අතර වෙඩි හඬ රාත්‍රියේ ඇසිණ.   


පසුද‌ා අලුයම පහට පමණ වෙඩි වැදුණු ඌරා සෙවීමට එම ඉසව්වට ගිය ද ඌරා පෙනෙන්නට නොවිණ. ගත වූයේ නිමේෂයකි. කොන්ද පමණක් තුවාල වී තිබූ ඌරා මුත්තාගේ දෙකකුල අතරින් රිංගා හිසෙන් පහර දෙන්නට විය. ඌරාගේ ප්‍රහාරයෙන් දෙකකුල කැඩුණු මුත්තා සිහිමුර්ජා වී බිම පතිත විය. වෙනද‌ා මෙන් මුත්තාගෙන්ද පණිවුඩය නොලැබුණු සගයින් ඔහු සෙවීමට යන විට ලේ ගලමින් වැතිර සිටින මුත්තා නෙතගැටුණි. වහා මුත්තා ඔසවාගත් ඔවුන් රෝහල වෙත රැගෙන ගිය ද ඔහු දෙකකුල අහිමි පුද්ගලයකු බවට පත් විය. රෝහලින් ගෙදරට ගෙනවුත් කොතෙක් ප්‍රතිකාර කළ ද සුවපත් කරන්නට ​නොහැකි විය.   


පසුව ලෙඩ ඇඳේ උන්මත්තකයකු ලෙස හැසිරෙන්නට වූ ඌරු මුත්තා ඌරන් ලෙසින්ම කෑමොර දෙන්නටද පටන් ගන්නා ලදී. තුවක්කු බටයට වෙඩිල්ල කොටන අයුරුද දෙඅතින් සංඥ‌ා කිරීමටද පටන් ගත් අතර මොහුගේ ක්‍රියාව බැලීමට අසල්වාසීහු ද පැමිණෙන්නට වූහ. මාස දෙකකට ආසන්න කාලයක් දුක් විඳි ඌරු මුත්තා මරණයට පත් විය. ඌරන් මැරූ ඌරු මුත්තා මරණයට පත් වූයේ ඌරකුගේ ප්‍රහාරයෙන් වීම කෙතරම් අත්භූත ජනකද?   



අම්බලන්තොට ඩී.ජී. ජයසුන්දර මහතා ලියා එවූ කතාවකි.   

දකුණු පළාතේ එක්තරා ගමක මව පියා සහ දරුවන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක් වූහ.   


මව්පියෝ හේන් කුඹුරු කරමින් දරුවන් පෝෂණය කළේය. ඔවුන් හැකි පමණින් පාසල් යැවූහ. එම පවුලේ වැඩිමලා පුත්‍රයෙකි. ඔහුට පියසිරි යැයි කියමු.   


පියසිරි පාසල් අධ්‍යාපනයෙන් පසු ජීවනෝපාය කර ගත්තේ ගඩොල් කැපීමය. ඔහු ගඩොල් කපා පුළුස්සා විකුණා මුදල් උපයා ගනී.   


පියසිරි හැකි පමණින් ගමේ කාහටත් උදව් උපකාර කරයි. කා සමගත් සුහදව සිටී. ඒ නිසාම ගමේ කා අතරත් ජනප්‍රිය විය. යහළුවෝද බොහෝය.   


ගඩොල් කපා උපයා ගත් මුදල අවිවාහක පියසිරි ගෙදරට දීම කෙසේ වෙතත් යහළුවන් සමග විනෝද වීමට වැය කරයි. ඔවුනගේ විනෝද‌ාංශය වූයේ සතුන් දඩයම් කර මස් අනුභව කරමින් කසිප්පු හෝ අරක්කු බීමය. පදමට වෙරි වූ පසු ගී කියමින් නැටීමටද මොවුන්ගේ පුරුද්දය.   


මේ සඳහා තරුණයන් එක්රැස් වන්නේ පාළු හේනක, වාඩියක හෝ පාළුවට ගිය නිවසකය.   


පාටියට මස් සපයන්නේ පියසිරිය. මදු (මලයක්) හෝ උගුලක් ඇටවුවහොත් සතුන් අසුවීම බොහෝවිට සිදුවේ.   


පියසිරි සවසට හේන්වල වතුවල හා ලඳු කැලෑවල මදු හා උගුල් අටවයි. මේ මදු හා උගුල්වල අසුකර ගැනීමට ඉලක්ක කරන්නේ හාවන්, මී මින්නන් හා ඉත්තෑවන්ය.   


මදු තැඹු දිනට පසු දින උදෑසනම ගොස් තබන ලද මදු හා උගුල් පරික්ෂා කර මිය ගිය සතුන් මෙන්ම මිය ​නොගොස් පණ පිටින් සිටී නම් උන් ඝාතනය කර ගෙනවිත් ශුද්ධ කර ගෙදරට කොටසක් හා ඉතිරිය යහළුවන් සමග කා බී විනෝද වීම පියසිරිගේ සිරිතක් විය.   


මේ විනෝද වීම සතියකට දිනක් දෙකක් නොවරදවාම සිදු කෙරේ.   


පියසිරිගේ මදු හා උගුල්වලට හැමද‌ාමත් හාවුන්, මී මින්නන් අසු නොවන අවස්ථාද තිබේ. එවැනි දිනවල ඔහු කරන්නේ තලගොයෙක් හෝ මරා මස් කිරීමය. එසේ නැතහොත් බස්නා ඇළට ගොස් ඉබ්බන් අල්ලා මස් කිරීමය.   


දිනක් තලගොයකු පසු පස පොල්ලක් ගෙන හඹා ගිය පියසිරිට තලගොයාට කිට්ටු කිරීමටත් නොහැකි විය. තලගොයා මර බියේ වේගයෙන් දුව ගොස් තුඹසකට රිංගුවේය.   


එහෙත් ආපසු නොහැරුණු පියසිරි තුඹසට වතුර ගෙනැවිත් දමා තලගොයා වලිගයෙන් ඇද එළියට ගත්තේය. මේ කාර්යයට පැය ගාණක් ගත විය. ඒ සඳහා ඔහුගේ පාපතර මිත්‍රයෝද හවුල් වූහ.   


තලගොයා එළියට ගන්නා විට භාගයට මැරිලාය. ඒ ඌගේ ඇඟට අලවංගු පාරවල් වැදීම නිසාය.   


පසුව පියසිරි තලගොයාගේ බෙල්ලේ තංගුස් නූලක් ගැට ගසා පණ පිටින්ම ගසක එල්ලා හම ගසා මස් කළේය.   


පියසිරි ඇතුළු මිතුරන් බයිට් එකට ගත්තේ ද තලගොයි මස්ය.   


තවත් දිනවල පියසිරි මස් ලබා ගත්තේ ඉබ්බන් මරාය. ඒ සඳහා ගමේ බස්නා ඇළට ගොස් ඇළට බැස ඇළ ඉවුරු කකුලෙන් පාගා ඉබ්බන් කකුලට අසු වූ විට වහා අල්ලා ගොඩට විසි කරයි. ඔහුගේ මිතුරන් ඉබ්බන් මල්ලට දමා ගනී. මෙලෙස ඉබ්බන් ඇතැම් දිනක හතර පස් දෙනෙකු ද එකතු කර ගෙන එයි.   


පියසිරි ඉබ්බන් ඝාතනය කරන්නේ උපරිම සත්ත්ව හිංසාවක් කරමින්ය. එය ක්‍රම දෙකකට සිදු කරයි. එක් ක්‍රමයක් වනුයේ ඉබ්බා ඇතුළට දමා ගත් හිස එළියට දමනවාත් සමඟ බෙල්ලට තියුණු පිහියකින් ගසා ඝාතනය කිරීමය.   


අනෙක් ක්‍රමය වනුයේ ගිනි මැලයක් ගසා ඉබ්බන් පණ පිටින් දැමීමය. ඉබ්බන් දැවෙමින් වේදනාවෙන් ඉවතට දුවන විට පියසිරි පොල්ලක් ගෙන නැවත ඉබ්බන් ගිනි මැලයට තල්ලු කරයි. මේ කාර්යය ඔහුට තනිව කළ නොහැකි නිසා මිතුරෝද එක් වෙති.   


දිනක් එක් ඉබ්බකු පියසිරිට හසු වී ඉබ්බා ඝාතනය කර ඉබ් කටුවෙම (කටුව හට්ටියක් ලෙස ගෙන) කිසිදු වතුරක් නොදමා ඉබි ලේවලින් ඉබි මස් තම්බා කා ඇති බවද හෙළිවිය.   


මෙලෙස පව්කම් කරමින් ජීවත් වූ පියසිරි යාබද ගමෙන් තරුණියක් විවාහ කර ගත්තේය. කල්යත්ම දරුවන් දෙදෙනකු පවුලට එක්විය. දුවෙකු හා පුතෙකු වශයෙනි. මොවුන්ගේ කුඩා කාලයේම පියසිරිගේ උරහිසෙහි පිට කොන්දෙහි වේදනාවක් ඇති විය. රජයේ රෝහල් ගත කළ විට වෛද්‍යවරුන් පැවසුයේ එය පිළිකාවක් බවය.   


වෛද්‍යවරුන් රෝගයට ප්‍රතිකාර කිරීමට රෝහලේ නතර කර ගත් විට දින කීපයක් රෝහලේ නතර වී සිට හොර රහසේම පියසිරි නිවසට පළා ආවේය.   


දැන් තුවාලය පිටට මතු වී පිට විශාල තුවාලයකි. පවුලේ අයට මෙන්ම යහළුවන්ටද ඔහු සමීපයේ සිටිය නොහැකි විය. ඒ තරමට තුවාලය නරක් වී දුගඳ හමන බැවින්ය. ඔහුගේ ඇතැම් මිතුරන් නැහැවීමට උදව් කළ අතර සමහරු මඟ හැර ගියේය.   


අවසානයේ බිරිඳගේ ඇපඋපස්ථාන පමණක් විය. මිතුරන්ටත් ඔහුව එපා විය. තුවාලය උත්සන්න වූ විට ඔහු කෑ ගැසුවේ සතුන් ඝාතනය කරන විට නගන හඬ හා සමාන හඬකින් බව ප්‍රදේශවාසීහු පවසති.   
මෙලෙස මාස කීපයක් කෙඳිරි ගාමින් කෑ ගසමින් අපා දුක් විඳි පියසිරි වයස 38 පමණ වන විට අකාලයේ මිය ගියේය.   


එය කළ කම් ඵල දීමකි.   


පියසිරි මිය ගිය දින පාර හරහා දමා තිබූ බැනරයේ මෙවන් සටහනක් විය.   


“පියසිරි මහතාට නිවන් සුව”   


අවසන් කටයුතු ....... ද‌ා පොදු සුසාන භූමියේ දී කියාය.   

 

 

 


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිද‌ා ලංකාදීපයට යොමු කරන්න.

 

 

 

සකස් කළේ 
ප්‍රසන්න සංජිව තෙන්නකෝන්