ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසි වේ. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.

මහනුවර ජේ.ඒ.එල්. ජයසිංහ මහතා ලියා එවූ කතාවක් මෙසේය. 

 
මෙම සිදුවීම හැටේ දශකයේ අපේ පාසල් අවදියේ අත්දුටු, සියැසින් සිය දහස් වර දුටු සත්‍ය සිද්ධියකි.   


එවකට පාසල් සිසුවෙකු වූ මා ඉගෙනුම ලැබූ විදුහලේ ස්ථානයක විශාල උෟරු කොටුවක් තිබිණි. මම ඌරු කොටුවේ ඌරන් 15 ක් 20 ක් පමණ ඇති කළ අතර එම ස්ථානය බලාකියා ගත්තේ අල්පෝන්සු (අන්වර්ථ නාමයකි) යන ඉතා හැඩි දැඩි උස මහත රැවුල මනා ලෙස කරකවා ගෙන සිටි දරුණු පෙනුමින් යුතු පුද්ගලයෙකි.   


ඔහුගේ රාජකාරිය වුයේ ඌරන් මස් පිණිස මරා දැමීම සහ එලෙස මරණ ඌරු මස් හොඳින් කපා කැබලි කර කොටසක් සිසු සිසුවියන්ගේ නේවාසිකාගාරවලටත් තව කොටසක් විකිණීමත්ය.   
ඔහු ඌරු කොටුවට ඇතුළු වෙන්නේ උල් කටු කීපයක්, පොරොවක් (කුඩා) සහ තියුණු පිහියක් ද රැගෙනය.   


​ෙමම පුද්ගලයා දුටු විට ඌරෝ මර හඬ තලති. අපේ පංති පැවැත්වෙන්නේ ද විදුහල් බිමේ එළිමහන් පරිශ්‍රයක ගසක් යටය. එවකට අපට ඉගැන්වීම් කරනු ලැබුවේ ක​ෙතා්ලික පියතුමන්ලා සහ බහුතරයක් කතෝලික ගුරු මහත්වරුන්ය.   


ඌරු කොටුවට ඇතුළු වන අල්පොන්සු ඌරන් තෝරාගෙන එයින් එකෙකු දෙන්නෙකුට විශාල පොලුවලින් පන්න පන්නා පහර දෙයි.   


මඩ වගුරක් සහිත එම ඌරු කොටුවේ උෟරන් පිටව යෑමට නොහැකිව මර හඬ තලමින් කොටුව පුරා වැටි වැටී දුවන අතර අල්පොන්සු උෟරාට පහර පිට පහර දී උගේ සිරුර ලේ පැහැ ගැන්වෙන සේ තලා දමයි. 

 
අවසානයේ උෟරන් දෙදෙනෙකු දිව යාමට නොහැකිව කොටුවේ විශාල ලී කොටන්වලින් සෑදු වැටට හේත්තු වෙයි. ඒ මො​ෙහාතේ උල් පිහිය අමෝරා ගෙන අල්පොන්සු ඌරා වෙත ළං වී උගේ ගෙළ පසාරු කරමින් ප්‍රහාරය එල්ල කරයි. ඌරා මර හඬ තලද්දී එවකට පාසල් සිසුන් වන අප මැනවින් දන්නේ ඌරා මස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි. දිනපතා මෙම දසුන අප නෙත ගැටේ. ඌරාගේ මර හඬ අපේ සවන් වැකේ. නත්තල් දිනය ළංව එන විට සහ අප විදුහලේ කොලේජ් ඩේ එක ළං වෙද්දි ඌරන් දිවි පිදීම වැඩි වෙයි.   
වසර ගණනාවක් ඌරන්ගේ කොටුවේ බල පරාක්‍රමය පිහිටුවාගෙන සිටිමින් ඌරු ඝාතකයෙකු ලෙස කලක් අප විදුහල් පරිශ්‍රයේ ඌරු කොටුවේ භාරකාරයා වූ ඔහු ටික දිනකින් දැක ගත නොහැකි විය.   


පසුව මාස කීපයක් ගත වන විට අල්පොන්සුගේ සිරුර වැහැරී මුහුණ පුරා රැවුල වැවී කම්මුල් වළ ගැසී පාද දෙකෙහිම විලුඹින් උඩ කොටස කුණු වී සැරව ගලන තත්ත්වයකින් ඔහු පසු වනු අපි දුටුවෙමු. ඔහු රෝහල කරා යන අවස්ථා දුටුවෙමු. පාද දෙකම රෙදි පටිවලින් වෙලා තිබුණද එයින් සැරව ගලමින් දැඩි දුඟදක් ද හමනු දුටුවෙමු.   


ඔහු හදිසියේම රෝගාතුර වූයේ ඌරකු මෙන් ගොරවමින් හඬ නගමින් විකාරයෙන් දඟලමින් සිටිනු අපට දැක ගත හැකි විය. මාස ගණනක් ලෙඩ ඇඳේ කුණු ගඳ ගසමින් ගොරවමින් ඌරකු සේ කෑ ගසා ජීවත් වූ අල්පොන්සු අනුරාධපුර රෝහලට ඇතුළත් කළේය.   


රෝහල් ඇඳේදී ඔහු ඌරකු මෙන් මර හඬ තලමින් වේදනාවෙන් කෑ ගසමින් සිට සති කිහිපයකින් මරණයට පත්විය. ඌරන් මරණ වේදනාවෙන් කෑ ගැසූ ආකාරයටම අපේ විදුහලේ ඌරු කොටුව භාරව සිටි හැඩි දැඩි සැර පරුෂ මිනිසා වියළී ගිය පරඬැලක් සේ රෝහල් ඇඳේ සිටි බව ඔහු බැලීමට රෝහලට ගිය කීපදෙනෙක් පවසනු අපට පාසල තුළදී අසන්නට ලැබිණි.   


අප විදුහලේ විවිධ ආගමිකයන් විවිධ ජාතිකයන් ඉගෙනුම ලද අතර ඌරු කොටුවේ ඝාතකයාට අත් වූ ඛේදජනක ඉරණම බුදු දහමට අනුව පසක් කර ගන්නට පසු කලෙක පාසල් අධ්‍යාපනය නිමා වී පාසැලෙන් ඉවත් වූ පසු අපට මැනවින් වැටහිණි.   

 



ගලෙන්බිඳුණුවැව කේ.එම්.ඩබ්ලිව්.බී. විජේරත්න මහතා ලියා එවූ කතාවකි.   


අනාත නිවාසයකදී මිය ගිය සල්ලාලයා  


මෙම කතාවේ කථානායකයාට සැම්සන් මහත්තයා යයි කියමු. ඔහු දකුණු පළාතේ නගරයකට ආසන්න ගමක උපත ලබා ඇත. තරුණ වියට එළඹෙත්ම විදුලි කාර්මිකයකු ලෙස ඔහු ජීවිතය අරඹා ඇත. ඉතා කපටි මෙන්ම ස්ත්‍රී ලෝලයකු ද විය. මුලින්ම රත්නපුර ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක සේවයට බැඳී ඇත. එම ප්‍රදේශයක තරුණියක් විවාහ කරගෙන යුග දිවිය අරඹා ඇත. කලක් ගතවන විට පිරිමි දරුවන් දෙදෙනකු ඔවුන්ගේ කැදැල්ලට එක් විය.   


වසර කිහිපයක් ගත වූ විට සැම්සන් මහත්තයා අගනුවර යාන්ත්‍රික, විදුලි ඉංජිනේරු සේවා සපයන ආයතනයක විදුලි කාර්මිකයෙකු ලෙස සේවයට එක් විය. ඔහුට මිල මුදල් යහමින් ලැබිණ. ඒ රැකියාවට අමතර ගෙවල් වයරිං කිරීම ආදී කටයුතු කළ නිසාය.   


මේ අතර අගනුවර ආසන්න නගරයක තරුණියක් දෙවැනි වරට විවාහ කර ගත්තේ පළමු බිරිඳගෙන් දික්කසාද නොවීය. පළමු බිරිඳ සහ දරුවන් දෙදෙනාට සැලකීම අඩු විය. මේ නිසා එම කාන්තාව කුලියට ඇඳුම් මසා දරුවන් දෙදෙනා පෝෂණය කළාය.   


අගනුවර දෙවැනි විවාහයේ කාන්තාවට ද ගැහැනු දරුවෙක් ලැබුණාය. මේ ආකාරයට කාලය ගත වෙද්දී වයඹ පළාතේ කර්මාන්ත ශාලාවක නිලධාරී මට්ටමේ තනතුරක රැකියාවක් මොහුට ලැබුණි. එම ආයතනයේ සේවය කරන අතරතුර තරුණ වැන්දඹු කාන්තාවක සමග ද සම්බන්ධයක් ඇති කර ගත්තේය. ඒ සැම්සන් මහත්තයාට චීත්ත කෑල්ලක් වත් පෙන්වන්න බෑ කියන කියමන සනාථ කරමිනි. එම කාන්තාවගේ නිවසට යාමට ඒමට ද පුරුදු විය. එම කාන්තාවගේ තරුණ දියණිය කෙරෙහිද බැල්ම හෙළීය. එම තරුණියද මොහුට ව්‍යාජ ආදරයක් පෙන්වා මොහුගෙන් කඩා වඩා ගත්තාය. මෙසේ කාලය ගත වෙද්දී මොහුට රජරට ප්‍රදේශයේ කර්මාන්තශාලාවකට මාරු වීමක් ලැබුණේය. ඒ උසස් වීමක් ද සමගය.   


රජරටට ගියත් මේ පැණියාගේ සල්ලාල ගතිය අඩු නොවීය. එම ප්‍රදේශ​ෙය් කාන්තාවන් කිහිප දෙනෙකු සමග ද අනියම් සම්බන්ධතා පවත්වාගෙන ගියේය. ඒ අය වෙනුවෙන් අත මිට දිගහැර වියදම් කළේය. තමන්ගේ බිරින්දෑවරුන්ට හා දරුවන්ට අඩු සැලකිලි දැක්වීය.   


මෙසේ කාලය ගත වෙද්දී සැම්සන් මහත්මයාට විශ්‍රාම ගැනීමට සිදුවිය. ඒ වයස අවුරුදු 55 සම්පූර්ණ වීම නිසාය. ව්‍යාජ උප්පැන්න සහතිකයක් ලබා දී රැකියාව කළ සැම්සන් මහත්මයාගේ විශ්‍රාම යන විට සැබෑ වයස අවුරුදු 65 කි. ඒ බව ආයතනය දැන ගත්තේ ටික කලකට පසුවය.   


විශ්‍රාම යාම නිසා සැම්සන් මහත්මයාට විශාල මුදලක් ලැබුණි. ඒ අර්ථසාධක මුදල්, සේවක භාර අරමුදල්, පාරිතෝෂික මුදල්, සුබසාධක මුදල් වශයෙනි.   


රජරට ප්‍රදේශයේම දුර බැහැර නගරයක් පදිංචියට තෝරා ගත් ඔහු අමතර කොට​ෙස් වෙළෙඳසලක් ආරම්භ කරන ලදී. ඒ සඳහා ඔහුගේ මිතුරු නිලධාරියෙක් උදව් විය. ඉතා කෙටි කාලයක් ගත වෙද්දි ඔහු එම ප්‍රදේශයේම තරුණියක් සහේට ගත්තේය. ඇය ඔහුට වඩා බෙහෙවින් වයසින් අඩු තරුණියක වූවාය. ඇය රත්තරන්වලට ඉතා ආශා කළාය. සැම්සන් මහත්තයත් ඇයට උවමනා රත්තරන් ආභරණ අරන් දුන්නේය. මේ සඳහා විශාල මුදලක් වැය කළේය. සැම්සන් මහත්තයාගේ ධනය ද ටික ටික අඩු විය. මෙසේ ටික කලක් ගත වෙද්දී අර තරුණිය සියලු වස්තුවද රැගෙන සැම්සන් මහත්මයා අත්හැර ගියාය.   


මේ වන විට සෑහෙන දුරට බංකොලොත් වී සිටි සැම්සන් මහත්මයාට යන එන මං නැති තත්ත්වයට පත්විය. අන්තිම අසරණ තත්ත්වයට පත් විය. හිඟන්නෙකු තත්ත්වයට පත් විය. කසාද බිරින්දෑවරු වෙත යාමට ද නොහැකිය. ඒ පුළුවන් කාලේ ඔවුන්ට නොසැලකූ නිසාය. අවසාන වශයෙන් මොහු අවසන් වරට සේවය කළ ආයතනයේ වැටුප් දිනයටම පැමිණීමට පුරුදු විය. ආයතනයේ සෑම දෙනාම වාගේ මුදලින් ආධාර කළෝය.   


​ෙමම ආයතනයේ ප්‍රධානියා හිත හොඳ උණුවෙන හදවතක් තිබූ මහත්මයෙකි. සැම්සන් මහත්තයාට අනුකම්පා කළ ඒ මහතා ඔහු එම ප්‍රදේශයේ අනාථ නිවාසකයට භාර දුන්නේය. ටික කලක් අනාථ නිවාසයේ සිටියදී සැම්සන් මහත්මයා රෝගාතුරව මිය ගියේය. රජයේ වියදමින් දේහය මිහිදන් කිරීමට සූදානම් කර තිබූ අවස්ථාවේ ඔහුගේ අගනුවර පදිංචිව සිටි දියණියක් පැමිණ දේහය ​රැගෙන ගොස් අවසාන කටයුතු සිදු කරන ලදී.   

 



පාදුක්ක බෙලිඅත්තවිල ​කේ.කේ. පියරත්න මහතා ලියා එවූ කතාවක්. 

 
සුද්දීගේ ජීවිතයේ අවසන් ගමන   


මෙයට වසර ගණනාවකට ඉහත බස්නාහිර පළාතේ ගම්මානයක සිදු වූ සිද්ධියකි. නමින් සෝමවතී නම් ඇයට කවුරුත් කථා කළේ සුද්දී කියාය. ඇය ලස්සන රූපයකින් සිටි නිසා සෑම විටම ඇගේ දෙමවුපියන් ඇයට කතා කළේ සුද්දී කියාය.   


යමක් කමක් ඇති එම පවුලේ එකම දරුවා වූ සුද්දීට එම දෙමවුපියන් විසින් ප්‍රධාන නගරයක පාසලකට ඇතුළත් කර හොඳ අධ්‍යාපනයක් ද ලබා දුන්නේය.   


දෙමවුපියන් විසින් අැගේ කල වයස ආ කල ඇයට සුදුසු කරකාරයක් බැඳ දුන් අතර තම සැමියා සමග වැඩි කලක් දීග කෑමට ඇයට නොහැකි විය. ඇය කාමාධික කාන්තාවක් වූ අතර ඇය සිය සැමියාට හොරෙන් වෙනත් අහල පහළ තරුණයන් සමග අනාචාරයේ හැසිරෙන්නට වූවාය.   


කලක් ගත වෙත්ම ඇගේ මෙම ක්‍රියා කලාපය නිසා අැගේ කසාදය දික් කසාදයක් විය. ඉන් පසුව ඇය ඇගේ දෙමවුපියන්ගේ නිවසට පැමිණි අතර ඇගේ එම ක්‍රියා කලාපය දිගමට ගෙන ගියාය. ඇය ටික කාලයක් කොළඹ පළාතේ රැකියාවකට යන බව පවසමින් ගමෙන් පිටත් වී ගිය අතර වසර දෙකක් පමණ කොළඹ ප්‍ර​ෙද්ශයේ සිට ඇය ගෙදරට පැමිණියේ ඇගේ වයසේ තරුණියන් දෙතුන් දෙනෙක් ද සමගයි. ​  


මෙසේ පැමිණි සුද්දී සමග ඇගේ යෙහෙළියන් ඇගේ නිවසට පැමිණි දින කීපයකට පසුව විවිධ තරාතිරමේ තරුණ පුද්ගලයන් මෙන්ම මැදි වයසේ පුද්ගලයන් පිට පළාත්වලින් සුද්දීගෙ ගෙදරට යාමට ඒමට විය.   


එසේම ගමේ අහල පහළ තරුණයන් ද සමහර පවුල්කාරයන් ද සුද්දීගේ ගෙදරට යාම් ඒම් කරන්නට වූ අතර පසුව ගම්මුන්ට දැන ගත හැකි වූයේ සුද්දී විසින් ගණිකා නිවසක් පවත්වාගෙන යන බවයි.   


අැගේ මෙම ගණිකා නිවසට පළාතේ නම ගිය දාමරිකයන් මිනීමරුවන් මංකොල්ලකාරයන්ද සුද්දී හා ඇගේ යහළුවන්​ෙග් පහස ලබා පැමිණෙති.   


ඉතා සුන්දර ගම්මානයක් වූ මෙම ගමේ සාමකාමී නීතිගරුක ලැජ්ජා බය ඇති ගැමියන්ට මෙය මහා කරදයක් හා හිරිහැරයක් විය. 

 
මේ නිසා ගමේ තරුණ පවුල්වල අඩදඹර ද ඇති විය. ඇයට මේ සම්බන්ධව ගමේ වැඩිහිටියන් කීවත් අහංකාර ගැහැණියක් වූ සුද්දී ඔවුන්ට බොරු චෝදනා කරන බව පවසමින් ඔවුන්ට බැණ පන්නා දමයි.   


සුද්දීගේ මෙම ගණිකා නිවසට එකල එම පළාතට අාසන්න පොලිසියේ උසස් පොලිස් නිලධාරීන්ද ඇගේ මෙම තිප්පොළට විත් පහස ලබයි.   


එ් නිසා මේ ගැන පොලිසියට දැන්වුවත් එයින් පළක් නොවීය.   


මේ සම්බන්ධව ගමේ දායකයින් විසින් මේ ගැන පංසලේ ප්‍රධාන නායක හාමුදුරුවන්ට දැන්වූ පසුව හාමුදුරුවන් ප්‍රධාන දායකයින් ලවා ඇයට පංසලට පැමිණෙන ලෙස පණිඩුඩයක් යැවූ අතර සුද්දී  එම පණිවිඩය පයේ පෑගෙන දූවිල්ලකටවත් ගණන් නොගත්තාය.   


මෙසේ කාලය ගෙවී යන අතර සුද්දී ඇගේ ගණිකා ව්‍යාපාරය කිසි කරදයක් නොමැතිව ගෙන ගිය අතර මිල මුදල් හා දැසි දස්සන්ගෙන් ඇයට අඩුවක් නොවීය.   


මෙසේ කාලය ගෙවී යන අතර හදිසියේ සුද්දීගේ ලස්සන රූපය අවලස්සන වී ඇය බලවත් රෝගයකට ​ෙගාදුරු වූවාය. 

 
අැගේ මුළු ඇඟම කුෂ්ටයක් සෑදී සැරව ගලන්නට පටන් ගත්තාය. ඇය කොපමණ මුදල් වියදම් කර ​ෙබහෙත් ගනු ලැබුවත් සුවයක් ලබන්නට නොහැකි වූ තැන ඈ සමග සිටි ඇගේ මිතුරියන් ද ඇයගෙන් සමුගෙන පිටව ගොස් ඇති අතර පසුව ඇයගේ දෙමවුපියන්ගෙන් ලද  ඉඩමද ඇයට විකුණා දැමීමට සිදු විය.   


අන්තිමට ඇය පරීක්ෂා කර බැලූ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියේ ඇයට ඉතා භයානක සමාජ රෝගයක් සෑදී ඇති බවය. කොළඹ සමාජරෝග ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇය බැලීමට පෙර ඇයගේ පහස ලැබීමට පැමිණි කිසිකෙනෙක් නොපැමිණි අතර කලක් රෝහලේ සිටි ඇය මියා ගියාය. ඇය මිය ගිය පසු ඇගේ මළ සිරුර භාර ගැනීමටවත් කිසි කෙනෙක් හෝ හිතව​ෙතක් නොපැමිණි අතර ඇගේ මළ සිරුර රෝහලේ කම්කරුවන් විසින් එකල රෝහලේ මළ සිරුරු ගෙනයන කරත්තයේ ගෙන ගොස් සුදු රෙදි කඩක ඔතා මළ සිරුර පොදු සුසාන භූමියේ භූමිදානය කළාය.   


සුද්දීගේ මරණය සම්බන්ධව ගමේ වැඩිහිටියන් කියනු ඇසුණේ අනාචාරයේ හැසිරීමේ ප්‍රතිඵල ඇයට මොලොවදීම පළ දී අකාලයේ මිය ගිය බවත් දැනට සිටින තරුණ තරුණියන්ට සුද්දීගේ මරණ පල විපාක සිහියට ගෙන ආදර්ශමත්ව රටේ ජීවත් විය යුතු බවත් කියනු ඇසිනි. 

 

 

 

 
මෙබඳු කතා ඔබත් දන්නේනම් ඒවා ඉදිදා ලංකාදීපට යොමු කරන්න.

 

 

 

 

 

 

 

 

 

සකස් කළේ   
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්