අභියෝග ජයගත් මිනිස්සු

ෆැඩ්නා (fadna) නිර්මාතෘ චමේන්ද්‍ර සෝමතුංග

තමුන්ගේම ව්‍යවසායකත්වයේ ගමනක් ආරම්භ කිරීමට මහා ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය නැති බව මම අදටත් විශ්වාස කරන දෙයක්. තමා සතු සංකල්පය තමයි වැදගත්. එය ප්‍රායෝගික කර ගැනීමට තමා වටේ ඇති සම්පත්වලින් ප්‍රයෝජන ගැනීමට වග බලා ගත යුතුයි. මම කළේ එයයි.  හරියට බැලුවොත් අපට විවිධාකාර මට්ටමේ මිනිස් සබඳතා තිබෙනවා. ඒත් අපි ඒ ගැන එච්චර මායිම් කරන්නේ නැහැ. මට නිතරම තිබුණේ අනෙක් අය කරන දෙයකට වඩා වෙනසක් ඇති දෙයක් කිරීමටයි. ඒ වගේම ස්වාභාවිකත්වයට පිටුනොපෑ ඊට අවනත වූ අලුත් දෙයක් කිරීමත් අරමුණු වුණා. ඒ අරමුණු එක්ක මම කළේ මා වටා ඇති මිනිස් සම්පත ප්‍රයෝජනයට අරගෙන අලුත් ගමනක් ආරම්භ කිරීමයි.   


චමේන්ද්‍ර සෝමතුංග හෙවත් ෆැඩ්නා (Fadna) ආයතනයේ නිර්මාතෘ අභියෝග ජය ගත් කතාවේ මූලික හරය ගැන කරුණු ගෙන හැර පෑවේ එලෙසිනි. එක අතකට එය හරි අපූරු ගමනකි. වෙනස් විදිහට හිතු​ෙවාත් මේ ලෝකයේ කරන්න ඕනෑ තරම් දේ අැති වග ප්‍රායෝගික කළ මිනිසුන් අතර ඔහු තවත් ප්‍රායෝගික වූ මිනිසෙකි.   


ශ්‍රී ලාංකීය තේ කලාවේ රස විවිධ අයුරින් ලෝකයට බෙදන බොහෝ මිනිසුන් වෙසෙන සමාජයක ඔහු ප්‍රයෝගික කර ඇත්තේ ස්වභාවික ඔසු තේ පානය සඳහා ආදේශ කරවීමය.  


ෆැඩ්නා ෂේප් අප් ටී, ෆැඩ්නා ටමී ටී, රණවරා තේ, බෙලි මල් තේ ඇතුළු අනෙකුත් ෆැඩ්නා නිෂ්පාදන අද ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල වෙළඳපොළ ජයගත් ශ්‍රී ලාංකීය නිෂ්පාදන බවට ප්‍රචලිතව ති​ෙබ්.   


අලුත් අලුත් දේ තනන මිනිසුන් ලොව නැගී සිටී නම්? මේ චමේන්ද්‍ර සෝමතුංග යනු එලෙසින් නැගී සිටින චරිතයකි. අභියෝග ජයගත් ඔහුගේ කතාවේ අටුවා ටීකා ටිප්පනි දිග හැරෙන්නේ මෙලෙසිනි.   


“මගේ ගම ඇල්පිටිය. අම්මා තාත්තා දෙදෙනාම රජයේ සේවකයින්. තාත්තා ග්‍රාම සේවා නිලධාරී ලෙසත් අම්මා විදුහල්පතිනියක ලෙසත් කටයුතු කළා. පවුලේ වැඩිමලා මම. මල්ලි සහ නංගිලා ​ෙදදෙනා අනෙකුත් සාමාජිකයින්. පවුලේ වැඩිමලා මම වුණත් කිසිදෙයකට තාත්තා මාව බලහත්කාරයෙන් යොමු කළේ නැහැ. කුඩා කාලයේදී මම හරිම දඟ චරිතයක්. හතරෙ පංතියෙ සිටියදී ළමයින් එක්ක රණ්ඩුවකටත් පැටලුණා. එදා ගලක් වැදිලා නළල පළාගෙන තමයි ගෙදර ආවේ. ලස්සනම වැඩේ කියන්නේ එදා මට ගලකින් ගහපු ළමයා තමයි පසුව මගේ හොඳම යාළුවෙකු වුණේ. එයා ජීවිතය ජය ගත් තවත් අපූරු චරිතයක්. මෑතකදී මම කැනඩාවේ සංචාරය කළා. මේ මිතුරා එහි දිවි ගෙවන සාර්ථක ශ්‍රී ලාංකිකයෙක්. එදා උඹට ගලකින් ගැහුවෙ මම තමයි කියලා එයා කිව්වා.   


එදා අපි දෙන්නම ඉගෙන ගත්තේ ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන්. කොතරම් දඟකාර චරිතයක් වුණත් මම පහේ ශිෂ්‍යත්ව විභාගය සමත් වුණා. ඉන් පස්සේ කොළඹ ආනන්ද විද්‍යාලයට අාවා. කොළඹ ආනන්දයට ආවාම ශිෂ්‍ය නේවාසිකාගාරයේ නතර වීමට සිදු වුණා. ගෙදර පරිසරයෙන් ඈත් වෙලා දන්න කියන යාළුවන්ගෙන් ඈත් වෙලා ආනන්ද බිමේ තනි වුණාම ලොකු පාලුවක් දැනුණෙ. හැබැයි ටික දවසක් යන විට හොස්ටල් එක මට ගෙදර වගේ වුණා. ඒ වගේම තව ටික දවසක් ඥාති නිවසකත් නැවතිලා හිටියා. ඉන් පසුව ඒ ජීවිතය මට ගෙන දුන්නේ අසීමිත නිදහසක්.”   


චමේන්ද්‍ර​ෙග් ගැටවර විය ගෙවී ගියේ ඒ අයුරිනි. යාළු මිත්‍රයින් සමග ගොස් ඉඳහිට චිත්‍රපටයක් නැරඹීමට ද ඔහු උනන්දු විය. ඒ හැර කිසිදු සමාජ අසම්මත ක්‍රියාකාරකම්වල නොයෙදීමට වගබලා ගත්තේය.   
“ආනන්දය පින් බිමක්. මම මේ පුණ්‍යවන්ත භූමියෙන් එළියට යන හොඳ දරුවෙක් වෙමි.” යනුවෙන් සපථ වුවද මට වෛද්‍යවරයෙකු වෙන්නට ඕනෑ ඉංජිනේරුවකු වෙන්නට ඕනෑය යන අදහස් නොදැරූ බව ඔහු කියයි.   
“මට එහෙම නිශ්චිත අරමුණක් තිබුණේ නැහැ. පාසල් සමයේදී වරදක් හැටියට කළේ ඉඳහිට චිත්‍රපයක් නැරඹීමට යාමයි. එය විනෝදාංශයක් මිස ඇබ්බැහිවීමක් වුණේ නැහැ. හැබැයි ඉතින් ඒ නිසා දඬුවම් ලබලත් තියෙනවා.”   


පාසල් ජීවිතය පොතට ගැල් වූ පොත් ගුල්ලෙක් නොවූ ඔහු නිශ්චිත අරමුණක් නොතිබිණි ද නිරන්තරයෙන් හිත කී​ෙව් මොනවා හරි කරන්න ඕනෑ යන දේ පමණක් බව ඔහු සිහිපත් කරයි.  


“​මොනවා හරි කරන්න ඕනෑ කියලා නිතරම හිතුවත් ඒ, මොකක්ද කියන දේ ගැන දැනගෙන හිටියේ නැහැ. උසස්පෙළ විභාගයෙන් පසුව අනෙක් හැමෝම කරන්න හැදුවේ වෘත්තියවේදී අංශයක් වෙනුවෙන් උසස් අධ්‍යාපනයට පෙළැඹීමයි. ඔන්න ඒ පාර මාත් කළමනාකරණ අංශයේ (CIMA) ඉගෙන ගන්න පටන් ගත්තා. හැබැයි මට ඒකත් අල්ලා ගියේ නැහැ.   

 

 

ඊට පස්සේ අහම්බයෙන් වගේ රැකියාවක් ලැබුණා. බාටා ආයතනයේ පුහුණු කළමනාකාර යන අංශය ලැබුණෙ. ජීවිතේ ප්‍රථම වතාවට සුදු ජාතික ප්‍රධානියකු සමග කටයුතු කරන්න ලැබුණා. ඊට පෙර ඉංග්‍රීසියෙන් සුද්දෙකු එක්ක කතා කරලා තිබුණේ නැහැ. එදා ඔහු කී දේ මට තේරුණේ නැහැ. මම හිතන්නේ මා කියූ දේ ​ඔහුට තේරෙන්නත් නැතුව ඇති. පැය විසිහතරම වුණත් වැඩ කරන්න පුළුවන් ද? කියලා ඇහුවාම මම උත්තර දුන්නෙ මගේ වයස තාම 19නෙ කියලයි. එයාට හිනාව නවත්තගන්න බැරි වෙන්න ඇති.   


​මොන දේ වුණත් මගේ වාසනාවට ද නැතිනම් වෙන මොකක්ද කියලා මම දන්නේ නැහැ. ඒ රැකියාව ලැබුණා. පුහුණු කළමනාකාරවරයකු ලෙස මුල්ම රැකියාව ලබමින් මා ලැබූ පන්නරය ඉතා ඉහළයි. ජීවිතයට එය විශල අත්දැකීමක් එක් කළා. ව්‍යාපාරයක් හසුරවන්නේ කෙසේ ද කියන අත්දැකීම් ලැබුණෙ එතැනින්. මුලදී මට ලැබුණෙ දීමනාවක් විතරයි. පසුව රුපියල් 5000ක විතර වැටුපක් ලැබුණා. එය සෑහෙන ලොකු මුදලක් වුණා.”
 ස්වකීය ප්‍රථම රස්සාවෙන් අත්දැකීම් සහ සැලකිය යුතු වැටුපක් ලැබුව ද ඔහු ඊට සමු දී වෙනත් ගමනකට මුල පිරීය. විලාසිතා ලෝකයේ අද ඉතා ප්‍රකට චරිත කීපයක් සමග කටයුතු කිරීමේ අවස්ථාව ඔහුට හිමිව තිබිණි.   
ඒ ඔහු සතු වූ හිතමිත්‍ර සබඳතා මතය. ඒ අනුව ඇඟළුම් අංශයේ ව්‍යාපාරයක් ඔවුන් සමග එක්ව පටන් ගත්ත ද එදා තිබූ තරගකාරීත්වය මත එය ලාබ ලබන ව්‍යාපාරයක් නොවූ බව වටහා ගත් ඔහු වෙනත් දෙයකට අත ගැසීය.   
“අැඟළුම් වැඩේ හරි නොගිය නිසා සීඑෆ්එල් බල්බ ගෙන්වා බෙදා හැරීමට පටන් ගත්තා. එය මට ලැබුණු අපූරු චාන්ස් එකක් වුණා. එම බල්බ එන්න එන්නම මිනිස්සු අතර ප්‍රචලිත වූ නිසා මිනිස්සු පදික වේදිකාවෙ පවා බල්බ විකුණන්න පටන් ගත්තා. ඒ හින්දා මා පිළිවෙළකට කරගෙන ආ ඒ වැඩේත් හරි ගියේ නැහැ. එයින් පසුව තමයි මොනවා හරි අපනයනය කරන්න ඕනෑය කියන සිතිවිල්ල ඇති වුණේ. එහි අවසන් ප්‍රතිඵලය වුණේ ෆැඩ්නා කම්පැනිය බිහිවීම.   


මුලින්ම මට ආවේ සංකල්පයක් විතරයි. කවුරුත් නොකරන වෙනස් දෙයක් කිරීම තමයි මගේ ජීවිතයේ රිද්මය වුණේ. මම ඒකට අාස කළා. ඒක තමයි නියම අභියෝගය කියලත් විශ්වාස කළා. මුල ඉඳලාම අරමුණක් නොතිබුණෙත් මේ නිසාම වෙන්න ඇති. අලුත් දෙයක් කිරීම යන සංකල්පයේදී අතීතයේ දී දේශීයව අපේ මිනිස්සු පානය කළ දේ ගැන විමසිලිවත් වුණා. තේ පානය කිරීමට පටන් ගත්තේ සුද්දන් ආ පසුවනෙ.   
ඊට කලින් මිනිස්සු ජීවිත රටාවේ තිබුණු ප්‍රශ්න විසඳා ගත්තේ කොහොමද ආදී වශයෙන් මම සෙවුම් බැලුම් කරන්න පටන් ගත්තා. ඇයි අපි දේශීය වශයෙන් පානය කළ දේ දැන් බැහැරව තිබෙන්නේ කියලා බැලුවාම නවීන ලෝකයට අනුව ඒවා භාවිතයේදී ජනතාව අතරට යාමේ පහසු ක්‍රමවේදයක් නොමැති බව මට තේරුම් ගියා.”   


ඒ වටහා ගැනීමට අවනතව චමේන්ද්‍ර මේ ෆැඩ්නා නමැති ඔහුගේ ව්‍යාපාරය පටන් ගත්තේ බෙලිමල් සහ රණවරා වැනි දේශීය පාන සඳහා යොදා ගන්නා දේ පුංචි තේ පැකට්ටුවක් තරමට නිෂ්පාදනය කර වෙළෙඳපොළට යොමු කිරීමය. එහිදී ස්වභාවික දේ වෙළෙඳපොළට යොමු කිරීම තම ඒකායන අරමුණු වූ බව ඔහු පවසයි.   


ස්වාභාවික ආහාර යන තේමාව ගෙන Food And Nature Pvt Ltd ලෙස එහි නාමය ඔහු ලියාපදිංචි කළේය. එය වෙළෙඳ සලකුණක් බවට පත් වූයේ කෙටි කර Fadna යනුවෙන් නම තැබීම නිසාය.   
“ඒක එච්චර දුරට මම හිතලා කළ දෙයක් නොවෙයි. ​ෆැඩ්නා කියලා සමාගමේ දීර්ඝ නාමය කෙටි කර සලකුණක් බවට පත් කර ගත්තා. පසු කලෙක මට අංක විද්‍යාව අනුව කරුණු ඇති පොතක් කියැවීමට ලැබුණා. එහි සඳහන්ව තිබූ විදියට මේ නාමය ඉතා හොඳ ව්‍යාපාරික නාමයක් බවට වටහා ගත්තා.”   

 

 

එනයින් ෆැඩ්නා ව්‍යාපාරය පටන් ගනිද්දී ප්‍රාග්ධනය ලෙස ඔහු සතුව කිසිදු මුදලක් නොතිබිණ. ඊට පෙර මම කළ ව්‍යාපාරයෙන් නන්නත්තාර වෙන්න වැටිලා හිටියෙ. එසේ පවසන ඔහු එසේ වී නම් ප්‍රාග්ධනයක් නොමැතිව ව්‍යාපාරය පටන් ගත්තේ කෙසේද?   


“මට අද තියෙන ලොකුම සතුටක් ප්‍රාග්ධනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කිරීමයි. ප්‍රාග්ධනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි බව ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්නුවේ යැයි කියා මා විශ්වාස කරනවා.”   
කොහොමද එය කළේ. ඒ පැනය ඔහුගෙන් ඇසිය යුතුම යැයි අපි හඟිමු.   


“ප්‍රාග්ධනය කියන්නේ මුදල් පමණක් නොවෙයි. ඊට තවත් බොහෝ දේ ඇතුළත් වෙනවා. එදා මම උපයෝගී කර ගත්තේ මගේ යාළු මිත්‍රයින්ගේ සබඳතා සහ ඔවුනගෙන් මට ගත හැකි දේ මෙන්ම ඕනෑ කර තිබූ හැකියාවන්. එ්වා තමයි මගේ ප්‍රාග්ධනය වුණේ. අදටත් මම ව්‍යාපාරයක් පටන් ගන්න හදන අයට දෙන මූලික උපදේශය වන්නේ පරිගණක යන්ත්‍රයක් සහ මේසය තිබුණාම ඒ හොඳටෝම ඇති කියලයි. ඉන් පසුව අනෙකුත් අවශ්‍ය දේ සම්පාදනය කර ගන්න පුළුවනි. නමුත් බොහෝ දෙනා වරද්දවා ගන්නේ මුලින්ම විශාල තැනක්, ඔෆිස් එකට මෙවලම් ගොඩාක්, ලස්සන පිළිගැනීමේ නිලධාරිනියක්, ටෙලිෆෝන් ඔපරේටර්වරියක් ආදී විදියට තිබිය යුතුය කියලයි.   


​ෙපාඩ්ඩක් හිතන්න එහෙම කරන්න ගියොත් ඒ ටික දෙනා නඩත්තු කරවන්න වෙනමම ලාභාංශ උපයන්න වෙනවා. ඒත් මම පටන් ගත්තේ ඒ කිසිවක් නොමැතිවයි. මුලින්ම අපි නිෂ්පාදනය කළේ රණවරා තේ, බෙලිමල් තේ, ඉරමුසු තේ පැකට් විදියටයි. ඒවා බෙදා හැරීමට මගේ මිතුරන්ගේ සබඳතා බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. යාළුවෝ මට සබඳතා ඇති කර දුන්නා. කීල්ස් ආයතනයට අපේ නිෂ්පාදන යොමු කරවීමට මා මිත්‍ර ලෙනාඩ් මඟ සකසා දුන්නා.   


අපි සුපර් මාකට් සංස්කෘතියට අවතීර්ණ වුණේ ඒ විදියටයි. මුල් කාලයේදී නිෂ්පාදන බෙදා හැරීමට මා එක්ක තව ගෝලයෙක් හිටියා. අපට වාහනයක් තිබුණෙ නැහැ. අපි ගියේ මෝටර් සයිකලයෙන්. මෝටර් සයිකලය සුපර් මාකට් අසලට ගෙන ගියේ නැහැ. සුපර් මාකට් සංක්කෘතියට ගැළපෙන අයුරින් අපි ඒ නිෂ්පාදන බෙදා හැරීමට වගබලා ගත්තා.”   

 

ව්‍යාපාරයක් ආරම්භ කළ විගස ලාභාංශ සෙවීමට පුළුවන් කමක් නැත. චමේන්ද්‍ර ද මෙලෙසින් පටන් ගත් ව්‍යාපාරය බෙලි මල්, රණවරා, ඉරමුසු මුල් කර ගෙන ඔහේ ඇද ගෙන ගියේය. මේ සංකල්පය තවදුරටත් නව්‍යකරණය කිරීම හැර මෙය අත් හැර දමා වෙනත් දෙයක් කිරීමේ විකල්ප ඔහුට නොවීය. දැන්වීමක් දැමීමට පවා මුදල් ඔහුට ප්‍රමාණවත් නොවීමෙන් ඔහු සහ බිරිඳ මෙන්ම ඔහුගේ හිතවතුන් ද ඒකරාශී කරගෙන සුපර්මාකට් සහ එවැනි ස්ථානවලට ගොස් මෙම නිෂ්පාදන සාදා මිනිසුන්ට බීමට සැලැස්වීය. එය ප්‍රචාරක කටයුත්තක් ලෙස පාදක කර ගත් බව ඔහු සඳහන් කරයි. බිරිඳ අන්තිමට මාධ්‍ය ආයතනයක එවකට සේවය කළ නිසා ප්‍රචාරක කටයුතු වලදී ඇයගේ සබඳතා ද බෙහෙවින් උපකාරී විය. මේ සෑම දෙයකම අවසන චමේන්ද්‍රට ඔහුගේ ව්‍යාපාරයේ මුඛ්‍ය පරමාර්ථය වූයේ ජනතාව සතුටින් නිරෝගීව තැබීමේ දේ අලෙවි කිරීම යැයි සපථ කරයි.   
“අදටත් අපි අනුගමනය කරන්නේ ඒ සංකල්පයයි. සල්ලි හොයා ගන්න අපට බොහෝ දේ කළ හැකියි. ඒ වෙනුවෙන් මොනවා හරි ගෙන්වලා විකිණීම කළ හැකියි. ලාභත් ලබන්න පුළුවනි. ඒත් ඒ විකිණූ දේ ජනතාවට නුසුදුසු දෙයක් නම් හිතට සැනසීමක් නැහැ. දවස අවසන සුව නින්දක් ලබන්නත් බැහැ. ඒ නිසා ස්වභාවිකත්වයට පිටුපා වෙළඳාමක් කිරීම අරමුණ වුණේ නැහැ. එය හෘද සාක්ෂියට එකඟ ව්‍යාපාරයක් විය යුතුය යන්න නිතරම විශ්වාස කළා.  


හොඳම දේ ළමුනට දිය යුතුය මෙන්, සමාජයට හොඳම දේ දීම වෙතින් ලබන සතුට මුදලට ගත හැකි දෙයක් නොවෙයි. එතරම් ලාභ නැතුව ව්‍යාපාරය පවත්වාගෙන ගියත් අපි කවුරුවත් කනස්සල්ලට පත් වුණේ නැහැ.”   
මෙලෙසින්ම ව්‍යාපාරයක් කිරීමේදී ඉවසීම තිබිය යුතු බව චමේන්ද්‍රගේ හැඟීමය. ඒ ඉවසීම ඇතිව කටයුතු කළ ද ක්‍රෙඩ්ට් කාඩ් හෙවත් ණයපත් පරිහරණයේදී නම් තමා තරමක් අපරීක්ෂාකාරී වූ බව ඔහු හඟියි. ඒ නිසා ණය නොවී යමක් කිරීමට පසුව එය පන්නරයක් කර ගත් බව ද සඳහන් කරයි. ප්‍රාග්ධනයක් නොමැතිව ව්‍යාපාරයක් ආරම්භ කළ පසු මුහුණ දිය යුතු සියලු අභියෝග සහ ගැටලුවලට ඔහු උපේක්ෂාවෙන් මුහුණ දුන්නේය. ඉවසීම සැනසීමට හේතුවකි යන්න මනසේ දරාගෙන නිතර අලුත් දෙයක්ම කිරීමට සිහින මැව්වේය. එවකට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පර්යේෂණ සහ සංවර්ධන අංශය බාර අධ්‍යක්ෂවරයා වූ ආචාර්ය විජේරත්න ඔහුට මුණ ගැසෙන්නේ මේ අවධියේය. ඒ හමුව තවත් විප්ලවකාරී ගමනකට මුල පිරීය.   


“ආචාර්ය විජේරත්න වැනි මේ ක්ෂේත්‍රය ගැන බහුශ්‍රැත දැනුමැති තවත් බොහෝ දෙනාගේ ඇසුර ලැබීමට තරම් මම පින් කරලා තිබුණා. දවසක් ආචාර්ය විජේරත්න හමු වූ විටෙක ඔහු සමග කතා බහේ නිරතව සිටියදී චමේන්ද්‍ර නරක ද ගොරක යොදා ගෙන සිරුර සිහින් කරවන නිෂ්පාදනයක් කළොත් කියලා ඔහු යෝජනා කළා.   


​ෙගාරකා කිව්ව හැටියෙ මගේ මූණ ඇඹුල් වුණා. මොකද ගොරක තේ කොහොමද මිනිස්සු බොන්නේ කියලා. හැබැයි ඒ අදහස අත්හැර දැමුවේ නැහැ. දිගින් දිගටම ඒ ගැන කල්පනා කළා. විවිධ පර්යේෂණ කළා. ඇඹුල නැතුව ගොරකා යොදාගෙන අනර්ඝ තේ එකක් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියලා කල්පනා කළා. එහි අවසන් ප්‍රතිඵලය ලෙස තමයි ෆැඩ්නා පේෂ් අප් ටී (Shape Up) නිෂ්පාදනය වෙළඳ පොළට ආවේ. අනර්ඝ විදියටම සහ ගුණාත්මක බවින් උසස් අයුරින්ම එය නිෂ්පාදනය කළ නිසා දිනෙන් දිනම එය ජනතාව අතර ප්‍රචලිත වුණා. ෆැඩ්නා ආයතනය කළ විප්ලවීය වෙනසක් රැගත් නිෂ්පාදනයක් ලෙස එය වෙළෙඳපොළ ජය ගත්තා. එහි පූර්ණ ගෞරව හිමි විය යුත්තේ ආචාර්ය විජේරත්නයන්ටයි.   


ඊට අමතරව තවත් අය සිටියා. එය ඉතා නිහතමානීව ප්‍රකාශ කළ යුතුමයි. එදා ගොරකා යොදා ගෙන කළ එ් අපූරු නිෂ්පාදනය අද වනවිට තාක්ෂණය භාවිතා කරලා තවත් උසස් අයුරින් වෙළඳපොළට හඳුන්වා දී තිබෙනවා. සාමාන්‍ය තේ පානයකටත් වඩා රසවත්ව සහ හොඳට සිරුරට ගුණයක් ගෙන දෙන ගොරකා තේ අපි නිෂ්පාදය කළේ ඒ විදියටයි.”


 ආයුර්වේදය උසස් අධ්‍යාපනයේදී විෂයක් කර නොගත්තද චමේන්ද්‍ර තම ව්‍යාපාරය සාර්ථක කර ගත්තේ විවිධ අංශවල දැනුමැති සහ ප්‍රායෝගික වූ මිනිසුන් සමග නිරන්තරයෙන් කටයුතු කිරීම නිසාය. අවශ්‍යතාවය ඇත්නම් සහ සංකල්පයක් ඇත්නම් අපට කළ හැකි දේ බොහෝමයි යන්න ඔහුගේ දැක්මය. ඔහු සිදු කළේ විවිධ අංශවලට අයත් මිනිසුන්ගේ දායකත්වය ලබා ගෙන ඔහුගේ සංකල්පය ප්‍රායෝගික කරවීමය. 

 

“අදටත් මම ගොඩ බදා ගත්තා වගේ සෑම දෙයක්ම බදාගෙන නැහැ. ෆැඩ්නා සමාගම වටා බොහෝ පිරිසක් දායකත්වය දෙමින් බැඳී සිටිනවා. එහෙම නැතිව මම කවුද කියලා කාට හරි කිව්වොත් එයා තමයි ෆැඩ්නා හිමිකරු කියලා බොහෝ දෙනා විශ්වාස කරන එකකුත් නැහැ. මෙම නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා විවිධ අංශවලින් සමූහ දායකත්වයක් ලැබීම සිදු වනවා. අවසන ජනතාව වෙන අනර්ඝතම නිෂ්පාදනයක් තමයි පිළි ගැන්වෙන්නේ. ස්වාභාවිකත්වයට ලැදි වස විෂවලින් තොර ස්වභාවික දෙයක් ජනතාව වෙත පුදා අප සියලු දෙනා ලබන සතුට අපමණයි.”   


මෙලෙසින් හිතට එකඟව සහ සමාජයට සෞඛ්‍ය සම්පන්න දෙයක් දායාද කිරීමේ කටයුත්ත නිසා මේ ව්‍යවසායකයා අද වනවිට ව්‍යවසායකයකු ලෙස දෙස් විදෙස් වශයෙන් ලබා ඇති සම්මාන ගෞරව රැසකි. නමුත් ඔහු පවසන්නේ මේ ශ්‍රී ලාංකීය භූමියේ සිට ස්වාභාවිකත්වයට නතුව ලෝකයට දායාද කළ හැකි දේ බොහෝ යැයි කියාය.   


ආහාර පාන අංශයේ නිෂ්පාදනයක් අරඹන්නේ නම් ප්‍රධානව එයින් මිනිසා ලබන ගුණය ගැන සිතා කටයුතු කිරීම මූලික වගකීම බව ඔහු සඳහන් කරයි. අද මුළු ලෝකයම නැවත ගමන් කරන්නේ වස විසවලින් තොර ස්වභාවික ආහාර පාන රටාවට බව එනම්, කෘතිමව යොදා ගන්නා රසකාරකවලින් ​ෙතාරව නිපදවන ආහාර පානවලට යැයි සපථ කරයි.   


“මම දවසක් අවන්හලක කෑම කමින් සිටියේ. එහා මේසයේ සිටි පිරිසේ කෙනෙක් අපේ නිෂ්පාදන ගැන වර්ණනා කරමින් අගය කරමින් කතා කළා. එයාලා මා තමයි ෆැඩ්නා නිර්මාතෘ වග දැන සිටියේ නැහැ. ඇත්තටම එවැනි දේ ජනතාවගෙන් අසන්නට ලැබීමම පිනක්.”   


එසේ පවසන චමේන්ද්‍රට ඒ පින ලැබුණේ මිනිසාගේ සෞඛ්‍යයට වඩාත් හිතකර දෙයක් සමාජගත කිරීම වෙනුවෙනි. මුදල් ලැබෙන තරමට මුදල් පසුපස හඹා නොයන ඔහුගේ අරමුණ තම නිෂ්පාදන දිනෙන් දින උසස් ගුණයෙන් නිපදවීම යැයි සඳහන් කරයි.   


“මනුෂ්‍ය ජීවිතේ කියන්නේ විශ්වයේ විශිෂ්ටතම නිර්මාණයක්. ඒ වටහා ගැනීම අපට තිබීම වැදගත්. මට තව කෙනෙක් වෙන්න ඕනෑ වුණේ නැහැ. ඒ වගේම තව කෙනෙකු මා වගේ විය යුත්තේ නැහැ. සංකල්ප ඇත්නම් සමාජය වෙත අපට දිය හැකි හොඳ දේ බොහෝමයි. මිනිසුන්ට හොඳ දෙයක් දීලා ලබන සතුට තරම් දෙයක් තවත් නැහැ. එවිට ස්වභාව ධර්මයෙනුත් අපව ආරක්ෂා වෙනවා. ඒ වගේම තමුන්ගේ දක්ෂතාවය සහ හඳුනා ගැනීම අනුව තමන්ට ගැළපෙන දේ ප්‍රායෝගික කිරීම වඩා වැදගත්. මම අදටත් සමාජයට කියන්නේ ව්‍යවසායකත්වයේ ගමනක් යාමට ප්‍රාග්ධනයක් අවශ්‍යම නැහැ. සංකල්පය ප්‍රායෝගික කරවීමට තමුන්ගේ පරිසරයෙන් ප්‍රයෝජන ගන්න. ඊළඟට හොඳම දේ සමාජයට දෙන්න.” 

 

 

 

සටහන   
සඳුන් ගමගේ