ජීවිතය යහ මගට ගැනීමට නිවැරැදි මග පෙන්වීමක් අවශ්‍ය වේ. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.  


පූජාපිටිය, බමුණුපොළ, සෝමරත්න දිසානායක මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


අම්මාට පයින් ගැසීමට ගිය පුතාට පාදය අහිමිවෙයි.  


දරුවන් දස දෙනෙකුගෙන් යුත් මෙම පවුලේ ගෘහමූලිකයාටද ස්ථීර රැකියාවක් නොවීය. දැඩි දරිද්‍රතාවයෙන් පෙළුණ මොවුන් එදාවේල සරිකර ගත්තේද ඉතා අපහසුවෙනි. ගැහැනු ළමුන් හා පිරිමි ළමුන් සමසමව සිටි මෙම පවුලේ වැඩිමලා හැඩිදැඩි සිරුරකින් යුත් වයස අවුරුදු දහ අටක් පමණ වූ තරුණයෙකි. ඉතා උදාසීන කම්මැලියකු වූ මොහු කිසිදු රැකියාවක් කිරීමට හෝ උනන්දු නොවීය. ගමේ තරුණ ගැටව් සමග එක්වී අනුන්ගේ වතුවල පොල් හොරෙන් කඩා විකුණා බීඩි බොමින් රස්තියාදු වෙමින් බෝක්කු පාළුවකු සේ හැසිරෙන්නෙක් විය. තවත් දිනෙක නිවසේ ඉදිරිපස වූ ලණු ඇඳේ දිගාවී මුළු දවසම නිදාගනී.  


තම දරුවන් පෝෂණය කිරීමට කීයක් හෝ සොයා ගැනීමේ අටියෙන් උදෑසනම නිවසින් පිටව යන පියා කුලියක් මලියක් කර නිවසට අවශ්‍ය හාල්, තුනපහ ටිකක් රැගෙන යළි නිවසට එන්නේ හොඳටම රෑබෝවූ විටය.  


එදිනද ලණු ඇඳේ දිගා වී සිටි ලොකු පුතා ඇමතූ ඔහුගේ මෑණියෝ,  
”ලොකු පුතේ, අනේ ලොකු පුතේ, රෑට උයන්න ගේ හරියේ මොකවත්ම නෑ. අනේ මගෙ පුතේ අර වැට අයිනේ තියෙන දෙල් ගහේ පැහුණ දෙල් ගෙඩියක් දෙකක් තියෙනවා. අඩියක් ගොඩවෙලා ඒ දෙල්ගෙඩි දෙක කඩාදියන් මයෙ පුතේ” යැයි ඇය බැගෑපත් වූවාය. එය ගණනකට නොගත් ලොකු පුතා ඇඳේ අනෙක් පසට හැරුණේ තම මෑණියන්ගේ වදන් නොරිස්සූ අයුරිනි.  


එ්ත් දරුවන්ගේ කුසගින්න හඳුනණ මෑණියෝ දෙල්කඩා දෙන ලෙස ඔහුට නැවත නැවතත් ඇවිටිලි කළාය. ඉන් දැඩිසේ කෝපයටපත් ඔහු තම මෑණියන්ට නොසරුප්වදන් කියමින් බැණවදිමින්, ‘‘මුන් මට ටිකක් නිදාගන්නවත් දෙන්නෑනෙ. දෙල්, දෙල්, දෙල් නෙමයි.... තොට දෙන්නේ පයින්” යැයි කියමින් කෝපයෙන් දෙල්ගසට ගොඩවූ ලොකු පුතා දෙල්ගෙඩියක් කඩනවාත් සමගම ඔහු අල්ලා ගෙන සිටි දිරාගිය දෙල් අත්තක් කඩාගෙනම බිම පතිත විය.  


‘‘අයියෝ මයෙ පුතා’’යැයි මවගේ විලාපයෙන් එතැනට රැස්වූ ගම් වැසියෝ ඔහු රෝහල වෙත රැගෙන ගියද ඔහුගේ දකුණු පාදය බරපතළ ලෙස කැඩී තැලී තිබූ හෙයින් වෛද්‍යවරුන් විසින් පවුලේ අය​ෙග් අවසරය මත දණහිසෙන් පහළ කොටස කපා ඉවත් කරන ලදී. තම මවට පයින් ගැසීමට තැත් කළ පාප කර්මයට ඔහුට ඒ මොහොතේම තම මවගේ ඇස් පනාපිටම දඬුවම් විඳීමට සිදුවිය. එපමණක්ද නොව වසර කිහිපයක් කිහිළිකරු ආධාරයෙන් ඇවිද ගියත් තම ජීවිතය පිළිබඳ දැඩිසේ කළකිරී අවසන වස පානය කොට අකාලයේ තම ජීවිතයට සමුදෙන්නට ඔහුට සිදුවිය.  


සියඹලාපේ කේ.එස්. ගුණරත්න මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


දකුණු පළාතේ පූජනීය නගරයක් ආසන්නයේ වසර 40කට පෙර සිදුවුවකි.  


ප්‍රදේශයේ දඩමස් වෙළෙඳාම තොග වශයෙන් කළ පියෙක් සහ පුතෙක් වාසය කළහ. ඔවුහු රහසිගතව මුව හා ගෝන මස් නගරයේ අවන්හල් වෙත සපයති. මේ මස් මොනවා වුවද මුදලාලිගේ කීම අවන්හල් හිමියන්ට පිළිගැනීමට සිදුවෙයි. අවන්හල් හිමියෝ දඩමස් සොයා එන මිනිසුනට රහසිගතව මේ මස් උයාපිහා දෙති. එසේම මේවා දුර්ලභ ගණයේ ඒවා නිසා පාරිභෝගිකයින් ඒවා ගිල දමන්නේ අධික මුදල් වැය කරමිනි.  


මත් වතුරෙන් සප්පායම්වන ඇතැමෙකුට මේ මස් රන් හා සමානය. මුදලාලි සහ පුතනුවන් මේ ජාවාරම කරගෙන යන්නේ තමනට කුළුපග කල්ලියක් යොදා ගනිමිනි. ඒ අයටද හොඳ ප්‍රතිලාභ ලැබෙන අතර තම කාර්ය ඉතා රහසිගතව කරගෙන යාමට වගබලා ගනිති. මේ අයගේ දඩයමට ගොදුරුවන්නේ වඳුරන්, බල්ලන්, වල්ඌරන්, ඉබ්බන්, සාවුන් වැනි අහිංසක සතුන්ය. අධික මුදල් තණ්හාව නිසා මුදලාලි තම පුතා ද ඊට සම්බන්ධකොට ගෙන අගහිඟකම්වලින් තොරව දිවි ගෙවයි. මේ ක්‍රියාකාරකම් සඳහා රථවාහන කිහිපයක් ද ප්‍රදේශයේ මැරයින්ගේ සහායද ලැබිණ. මේ සියලු දෙනා මෙහි ආදීනව දැන සිටියත්, මුදලට ඇති අසීමිත ආශාව හා කෑදරකම නිසා ව්‍යාපාරය නොකඩවා කරගෙන යති. මුදලාලි මේ සඳහා පාවිච්චි කළේ පැජරෝ වර්ගයේ රථයකි.  


මුදලාලිගේ පාසල් අවදියේ සිටි උගත් පොහොසත් මිතුරකුද මේ ප්‍රදේශයේ ජීවත් වෙයි. ඉඳහිට මේ දෙදෙනා පාරතොටේදී හමුවෙති. උගත් මිතුරාට ද තම පාසල් මිතුරා කරන මේ අමන ක්‍රියාව ගැන තොරතුරු ආරංචි වන අතර ඉඳහිට හමුවූවිට මෙම පාපතර ක්‍රියාව හා එහි ආදීනව කියා දීමටද පෙළඹේ. ඒවාට නිසොල්මන්ව පිළිතුරු සපයන මස් මුදලාලි ඒ උපදෙස් ගණනකට නොගත්තේ මුදල් රසය අන් සියලු රසවලට වඩා උතුම් යයි සිතන බැවිනි. මෙසේ පෙන්වාදෙන උගත් මිතුරා වැඩිකල් යන්නට පෙර මස් මුදලාලිගේ සතුරා බවට පත්විය. ඒ අනුව මේ දෙදෙනාගේ මිත්‍රත්වය මුදල් තණ්හාව මත වෛරයකට පරිවර්තනය විය.  


මෙම උගත් මිතුරා ගමන් කළේද පැජරෝ රථයකිනි. ඔහු ධාර්මිකව උපයාගත් මුදලින් සපයාගත් රථය මස් මුදලාලිගේ නොසතුටට තවත් හේතුවක් විය. මක්නිසාද යත් තම තරාතිරමට එයින් මදිපුංචිකමක් සිදුවේය යන බිය නිසාය. මස් මුදලාලි රථය සපයා ගනු ලැබුවේ අධර්මිෂ්ට කටයුතුවලිනි. මස් මුදලාලි වරෙක සිතුවේ තම පාසල් මිතුරා තම දියුණුව ගැන ඊර්ෂ්‍යාවෙන් හා කුහකත්වයෙන් උපදෙස් දෙන බවය.  


කෙසේ හෝ වේවා තම ව්‍යාපාරික සගයන්ටද පාසල් මිතුරාගේ උපදෙස් ගැන තොරතුර දැන්වූ විට ඔවුහු ඊට කදිම විසඳුමක් දුණි. මස් මුදලාලි සහ ඔහුගේ ගෝලබාලයෝ ධාර්මික මිතුරා ඝාතනය කිරීමට උපායමාර්ග සොයති. මෙම කල්ලිය ගුණවත් මිතුරා වාහනයේ ගමන් කරනවිට ඔහු ඝාතනය කිරීමට උපක්‍රමයක් සකසති. මේ උගත් මිතුරා නිතර ගමන් කරන මාර්ගයක රැක සිට ලී කොටයක් මගින් මාර්ගය අවහිර කර සතුන් ඝාතනය කරන ගිනි අවියෙන් ඔහු ඝාතනය කිරීමට ඔවුහු තීරණය කරති. එදින සවස උගත් ධාර්මික මිත්‍රයා පුරුදු පාරෙන් ගමන් කරයි. දැන් හොර කල්ලිය ඔහු ආපසු එනතෙක් නොඉවසිල්ලෙනි. මෙසේ තම බෙලි දික්වන තෙක් බලාසිටිය නමුත් මොවුහු වේලාව ගතවීමත් සමග හෙම්බත් වෙති. එනිසාම තව තවත් කෝපයට පත්වන මේ මැර කල්ලිය හැසිරෙන්නේ උන්මත්තකයින් ලෙසිනි. මස් මුදලාලිද පාවිච්චි කළේ මිතුරාගේම වර්ගයේ එම වර්ණයේම රථයකි. කෙමෙන් කළුවර වැටීගෙන එයි. ඈතින් රථයක ශබ්දය ඇසේ. එය තමන් බලාපොරොත්තු වූ රථය බව දුටු විටම මැර කල්ලිය සිත එඩිතර කර ගනිති. ඒ සමගම එකෙකු තමන්ගේ ගිනි අවියෙන් රථයේ රියැදුරුට වෙඩි තබයි. තවත් මැරයකු ඉදිරි අසුනේ සිටි අනිකාට වෙඩි තබයි. තම කාර්යයන් නිසි ලෙස ඉටු කළ මැරයින් සතුටු සිතින් සැඟව පළා යති. අවාසනාවක මහත, ”ධර්මය රකින්නා ධර්මයෙන් ආරක්ෂා වේ” තමාගේ හිතවත් මස් මුදලාලි හා ඔහුගේ පුතා ලේවිලකය. මෙය දැනගත් දඩමස් කල්ලිය අපායට ගියාක් මෙන් පළාතෙන් අතුරුදන් වූහ.  


දින කිහිපයකට පසු මස් මුදලාලිගේ සහ පුතුගේ මරණ කටයුතු අවසන් කිරීමට කටයුතු යොදා තිබුණි. එදින පාන්සකූල කටයුතු සඳහා මෘතදේහ නිවසින් එළියට ගෙන සාදා තිබූ ටකරන් මඩුවේ තැන්පත් කෙරිණි. ගතවූයේ මොහොතකි. විශාල සුළිසුළඟක් පටන් ගැනිණ. මෘතදේහ තබා තිබූ මඩුවේ ටකරන් සුළඟේ පියාඹන්නට විය. ඒ සමගම අකුණු ගසමින් මහා ධාරානිපාත වැස්සත් කඩාවැටිණ. විදුලිය විසංධි විය. රැස්ව සිටි ඥාතිමිත්‍රාදීන් ජලයෙන් දියබත් විය. අකුණුගැසීම්, ධාරාණීපාත වර්ෂාව නිසා පැමිණ සිටි පිරිස පුදුමයටත් භීතියටත් පත්ව සිටියහ. මෙසේ ටික වේලාවක් බලාසිටි පිරිස මුදලාලිගේ සහ පුතාගේ මෘතදේහයන් භුමදාන සඳහා රැගෙන ගියේ නොනවතින අකුණු වැසි සුළි සුළං මධ්‍යයේය.  


අනුරාධපුර පබා රණසිංහ මහත්මිය ලියා එවූ කතාවක් මෙසේය.  


පව්කම් සිදු කළේය ඒ ලෙසටම මළේය  
පණ ඇති සතුන් මැරීම බලවත් පාපයක් බව බොහෝ දෙනා දන්නා නමුත් සත්ව හිංසනයද මරණය සඳහා සතුන් සපයාදීමද බලවත් පාපයක් බව නොදනිති. කුසට හරිහැටි අහරක් නොමැතිව පිපාසයට දිය ටිකක් නොමැතිව නිදහසක් නැතිව එක තැනක සිරවී සිට මරණයට පත්වන සතකු විඳින දුක කොපමණද? බුදුන්වහන්සේ දේශනා කර ඇති පරිදි ”අත්ථානං උපමං කත්වා” තමා එවැනි තත්ත්වයකට පත්වුණොත් කෙතරම් දුකක්දැයි සිතුවොත් කිසිවෙකු මෙවන් දෑ නොකරනු ඇත. එසේ නොසිතා පව්කම් කළ අයෙකු පිළිබඳ කතාවකි මේ.  


සිරිපාල නමින් මා හඳුන්වන මෙම පුද්ගලයා රජරට ගම් පෙදෙසක ජීවත් වූවෙකි. ඔහු දිවි ගැට ගසා ගත්තේ හොර සුරා විකිණීමෙන් හා මස් පිණිස ඉබ්බන් අලෙවි කිරීමෙනි. ඔහුගේ නිවෙස පිටුපස වනලැහැබක හොර සුරා පෙරීම ද නිවසේ සිට විකිණීමද කෙරිණි. ගමේ අය පමණක් නොව අහල පහළ ගම්වල අය පවා ඔහුගෙන් කසිප්පු මිලදී ගත්හ. ඔහු ඉබ්බන් මරා කටගැස්මද පිළියෙළ කර තිබූ අතර ඇතැමෙකුට එය නැතිවම බැරි ප්‍රණීත ආහාරයක් විය. සවස්වරුවේ හොර සුරා අලෙවිකරන සිරිපාල උදය වරුවට කරන්නේ ඉබ්බන් එකතු කිරීමයි. අහල පහළ ගම්වලින් පවා ඔහු ඉබ්බන් එකතු කළේය. ඉබ්බන් ගෝනියක දාගෙන පාපැදියේ පිටුපස බැඳගෙන නිවසට ගෙන ආ සිරිපාල කළේ වත්තේ ඇති වළක උන් රඳවා තැබීමයි. ගම්වලින් ඉබ්බන් සපයන පිරිසක්ද සිටියහ. සතියකට වරක් සිරිපාල සොයා පැමිණි මීගමුව පැත්තේ පුද්ගලයකු ඔහුගේ පරණ වෑන් රථයේ ඉබ්බන් දමාගෙන ගියේය. එක් වරකට ඉබ්බන් සියයකට ආසන්න ගණනක් මෙසේ මීගමු පැත්තට යැවීය. ඔහුගේ නිවසේද දිනකට ඉබ්බන් දෙතුන් දෙනෙකු මස් කෙරිණි. මෙය ගැමියන් දැන සිටියද අද මෙන් 119 අංකය අමතා දැන්වීමට එකල පහසුකම් නොවූ නිසා සිරිපාල කිසිදු බාධාවකින් තොරව තම ව්‍යාපාරය කරගෙන ගියේය. ඔහු අවිවාහකයකුව සිටි අතර උපයන මුදල් කාන්තා ඇසුර සඳහා නිර්ලෝභීව වියදම් කළේය. ඔහුගෙන් යැපුණ විවාහක හා අවිවාහක කාන්තාවෝද ගම් කිහිපයක වාසය කළහ. ඔහුගේ ​ෙමම පව්කාර ජීවිතය නිසා ඔහුගේ මවත් පියාත් සහෝදර සහෝදරියනුත් ඔහුව පවුලෙන් කොන්කර තිබුණි. ඔහුට සිටියේ ඔහු වැනිම පංච දුෂ්චරිතයෙහි යෙදුණු මිතුරන් පිරිසක් පමණි.  


හදිසියේම සිරිපාල ගමෙන් අතුරුදහන් විය. ගමේ අයත් ඔහුගේ මිතුරනුත් සිතුවේ සිරිපාල පොලිසියට අසුවී ඇතැයි කියාය. එහෙත් කිසිවෙක් ඔහු නොසෙවූහ. දිනක් අසළ ගමක ලී කැපීමට කැලයට ගිය දෙදෙනනකුට කැලය මැද ගල්වළක තිබී මළ සිරුරක් හමුවී ඇත. ඉන්පසු පොලිසිය හදිසි මරණ පරීක්ෂකවරයා හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාද පැමිණ පරීක්ෂණ කළහ. එම ගමේ තරුණයන් සිරිපාල හඳුනාගත්තේ ඔහුගේ ඇඳුම් හා අතෙහි ඇඟිලිවල තිබු සුදු යකඩ මුදුවලිනි. ඉබ්බන් ඇල්ලීමට වලට බසිද්දී පය ලිස්සා වැටී හිසට අනතුරක් වී මරණය සිදුවන්නට ඇතැයි තීරණය කෙරුණි. සිරිපාලගේ මිනිය භාර ගැනීමට කිසිවෙකු නොවූයෙන් ඔහුගේම බෝතල් සගයින් විසින් කබල් පැදුරක ඔතන ලද සිරිපාලගේ මළ සිරුර ගමේ සොහොන් පිටියේ මිහිදන් කළේ පෙට්ටියක හෝ නොදමාය. කිසිදු අවමංගල චාරිත්‍රයක්ද නොවුණි.  


ඔහුගේ මරණය ගමට මෙන්ම අහල පහළ ගම්වලට පවා අස්වැසිල්ලක් විය. ඉබ්බන්ට දස වද දී මරණයට පත්කළ සිරිපාල අවසන් ගමන් ගියේද නිරාහාරව කිසිවෙකු නොමැති පාළු වළක් තුළය.  


මෙය හැටේ දශකයේ අවසාන භාගයේ සිදුවූවකි. ගම්වල වැව්වලින් ඉබ්බන් වඳවී ගියේ සිරිපාල නිසා යැයි එකල ගම්වල අදහසක් විය.  
මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවක් මෙසේය.  


රෑ දහවල් පස්පවේ ගැලුන බිංදුවාට වැඩිකල් ජීවත්වීමට ලැබුණේ‍ නැත.  


දැනට වසර කීපයකට පෙර හද්දා පිටිසර ගම්මානයක කිසිදු රැකියාවක් නොකර හොරකම පමණක් තම ජීවන වෘත්තිය කරගත් බිංදුවා මුළු ගමටම ශාපයක්, කොඩිවිනයක් වූ බව නොරහසකි. රැය පහන්වෙන තුරා නිදි නොලැබ ගමපුරා ඇවිදින බිංදුවා මුලදී ගම්මුන්ගේ කෙසෙල් කැන්, පොල් හා එළවළු කොටුවල ඇති එළවළු හොරාගත්තද ඒවාට ඔහුට දඬුවම් ලබා නොදීම නිසා මේ වෙනවිට ඔහුගේ හොරකම් වැඩි වී ඇති බව නොරහසකි.  


ගම්වැසියන්ගේ ගවයින්, එළුවන් හා කුකුළන් පවා හොරා ගැනීමට බිංදුවා සමත්වී තිබුණි. ගමේ හොරකමක් සිදුවූ විට එය බිංදුවාගේ වැඩක් බව ඔවුන් සහසුද්දෙන්ම දැන හිටියත් බිංදුවාට විරුද්ධව නැගී සිටියේ නැත. ගම්වැසියෙකුගේ ගහක කොළක ගෙඩියක් කඩාගත්තත් සතෙක් සීපාවෙක් රාත්‍රි කාලයේ නැතිවුණත් විට හොරාට දෙස් දෙවොල් තැබීම ගම්මුන් අතර සිරිතක්ව පැවතුනි.  
‘හොරාට වැඩිකල් ඉන්න ලැබෙන එකක් නැහැ. ඔය කරන අපරාධවලට දඬුවම් උඩ ඉන්න දෙවියන් ඕකාට ළඟදීම ලබාදේවි’ යයි ගමේ වැඩිහිටි ගැහැනු පිරිමි නිතරම දෙස් දෙවොල් තැබූහ.  


තම ජීවිතයේ මැදිවියට පා තැබීමට ඔන්න මෙන්න කියා ඇති බිංදුවාට පෙළවහක් කර ගැනීමට පවා නොහැකි වූයේ මේ පාපතරයා සමඟ දීගකෑමට ගම්තුලානේ කිසිම කාන්තාවක කැමැති නොවූ බැවිනි. විකෘති කාමාශාවෙන් පෙළුන මොහුගේ අවලං නැහැදුන ක්‍රියාවක් වූ​ෙය් කාන්තා යට ඇඳුම් රැස්කිරීම සහ ඇළේ දොළේ හා ළිං අසල සැඟවී සිට කාන්තාවන් නාන අන්දම බලා සිටීමය. කාන්තාවන්ගෙන් බිංදුවාගේ මේ නොහොබිනා ක්‍රියාව සඳහා නිතර දෙවේලේ ඇනුම් බැණුම් පමණක් නොව ගල් මුල් ප්‍රහාර ද ලැබුණත් ඔහුගේ අවකල් ක්‍රියාව නතර කළ බවක් පෙනුණේ නැත.  


කාලය ගෙවී ගියේය. මුළු ගමටම ශාපයක් වූ මේ අසත්පුරුෂයාද ‘‘ඉහෙන් බහින රෝගයක්’’ පවා නැතුව පාපතර වැඩවල යෙදෙමින් කල්ගත ක​ෙළ්‍්ය. තම වියපත් දෙමාපිය දෙදෙනාගේ අවවාදයන් තඹ සතේකට ගණන් නොගෙන දඩාවතේ යමින් කාලය ගෙවූ බිංදුවාට එක් මූසල රාත්‍රියකදී සිදුවූයේ බරපතළ වින්නැහියකි. ගමේ පාළු පාරක මහ රෑපානේ තනිපංගලමේ ගමන් කරමින් සිටි බිංදුවාගේ කකුල සර්පයෙක් දෂ්‍ට කළේය. ‘බුදු අම්මෝ. මං ඉවරයි’ යනුවෙන් මරහඬ දුන් ඔහුගේ හඬ අසා අහලපහළ උදවිය එහි ළඟාවෙන විටත් බිංදුවා සිහිසුන්ව බිම වැටී සිටියේය. බිංදුවාගේ ශරීරය කීපවිටක්ම සර්පයා දෂ්ට කර තිබීමත් ඔහු ඒ වේලේ අධික ලෙස මත්පැන් පානය කර තිබුණ බැවින් ‘පොළොං විෂ’ ශරීරගතවීමෙන් බිංදුවා මරණයට පත්වූ බවක් පසුවදා ගමපුරා ආරංචි වී තිබුණි.


මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.  

 

සකස් කළේ 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්