රාජාංගනය ජලාශයේ ජලය ලබාගෙන ආරම්භ කිරීමට යන ජල ව්‍යාපෘතියකට එරෙහිව රාජාංගනයේ ගොවීහු දහසකට අධික පිරිසක් පසුගිය විසිඅට වැනිදා දහවල් උද්ඝෝෂණයක් පැවැත්වූහ. එහිදී උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර ඇතිවූ ගැටුමේදී පොලිසියේ හත්දෙනෙකු සුළු තුවාල ලැබූ අතර උද්ඝෝෂකයන් පස්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව තඹුත්තේගම පොලිසිය පවසයි.   


මෙහිදී පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කළ කාන්තාවන් පස් දෙනෙකුද ඇතුළු උද්ඝෝෂකයින් 45 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇත.   


 මහජනතාවට පීඩා ඇතිවී වාහන ගමනාගමනයට බාධා ඇතිවන අයුරින් පැවැත්වෙන උද්ඝෝෂණය තහනම් කරමින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගය තඹුත්තේගම මූලස්ථාන පොලිස් පරික්ෂක සමන් ප්‍රියන්ත මහතා විසින් රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි මහතාට ලබා දුන්නත් විරෝධතාකරුවෝ එම නියෝගය නොතකා මාර්ග අවහිර කරමින් වාහන ගමනාගමනය අඩාළ කරමින් උද්ඝෝෂණය පවත්වා ඇත.   


 රාජාංගන ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය තඹුත්තේගම කලාඔය පාලම අසලින් ආරම්භ වී තිබේ.   


ගොවීහු දහසක් පමණ පාදෙණිය, අනුරාධපුර මාර්ගය හරස් කර පැය තුනක කාලයක් උද්ඝෝෂණයේ යෙදීමෙන් පසුව තඹුත්තේගම පොලිස් හන්දිය අසලට ද පැමිණ උද්ඝෝෂණයේ නිරතව ඇත.   


 අනුරාධපුර පොලිස් අධිකාරි තිලිණ හේවාපතිරණ මහතා සහ තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් රේණුකා වංශේකර මහත්මිය එහි පැමිණ මාර්ගය අවහිර කිරීම පාසල් දරුවන්ට බාධාවක් බැවින් මාර්ගයෙන් ඉවත්වෙන ලෙස උද්ඝෝෂකයින්ගෙන් ඉල්ලා සිටියත් ඒ අවස්ථාවේ ගොවීන් ඊට විරෝධය දක්වමින් කලහකාරි ලෙස හැසිරීම නිසා පොලිසිය ජල ප්‍රහාර එල්ල කර උද්ඝෝෂකයින් විසුරුවා හැරීමටම පියවර ගෙන තිබේ. අනතුරුව උද්ඝෝෂකයින් පොලිස් නිලධාරින්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ පොලිසිය ඔවුන් විසුරුවා හැර තිබෙන්නේ බැටන් පොලු ප්‍රහාර සහ කඳුළු ගෑස් ද එල්ල කරමිනි.   


ගල් ප්‍රහාරවලින් පොලිස් ජල ප්‍රහාරක රථයකට හානි සිදුව ඇතැයිද පොලිසිය පවසයි. අනතුරුව කලහකාරී ලෙස හැසිරුණු එම පිරිස අත්අඩංගුවට ගැනීමටද පොලිසියට සිදුව තිබේ. එම තත්ත්වය පාලනය කිරීමට රාජාංගනය, නොච්චියාගම, තලාව, එප්පාවල, ගල්ගමුව, අනුරාධපුර යන පොලිස් ස්ථානවල පොලිස් කණ්ඩායම් කැඳවීමටද පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.   


මෙම ව්‍යාපෘතිය 2011 වසරේදී සැලසුම් කළ ව්‍යාපෘතියක් බවත් රාජාංගන විශේෂ ව්‍යාපෘතියෙන් නොච්චියාගම, රාජාංගනය, තලාව, එප්පාවල, ගිරිබාව හා තඹුත්තේගම පවුල් ලක්ෂ දෙකකට පානීය ජලය ලබා දීමට සැලසුම් කර ඇතැයි ද ජල සම්පත් මණ්ඩලය පවසයි.   


මෙම ජල ව්‍යාපෘතියෙන් රාජාංගන ජලාශයෙන් දිනකට අක්කර අඩි 25 ක් පානීය ජලය සඳහා වෙන්වන නිසා රාජාංගන ව්‍යාපාරයේ ගොවි පවුල් 35,000 කට ගොවිතැනට ජලය හිඟවෙන බවට ගොවීහු චෝදනා කරති. මෙම ව්‍යාපෘතිය නිසා සහලින් සහ වෙනත් භෝගවලින් ස්වයංපෝෂිත රාජාංගනය ප්‍රදේශය කාන්තාරයක් විය හැකි යැයිද ඔවුහු පවසති. ගොවි සංවිධාන 64 කට අයත් ගොවීන් දහසකට අධික පිරිසක් මේ විරෝධතා සඳහා එක්ව තිබේ.   


මේ පිළිබඳ අදහස් දැක්වීමට අනුරාධපුර ජල සම්පාදන ආයතනයේ සහකාර සාමාන්‍ය අධිකාරි විජේරත්න මහතා ඉරිදා ලංකාදීපය සමඟ එක්විය.  


මේ ව්‍යාපෘතිය තඹුත්තේගමට වතුර ලබාදෙන ව්‍යාපෘතියක්. ඒ සඳහා වතුර ලබාගන්නෙ රාජාංගනය වැවෙන්. ඒ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය දීලා තියෙන්නෙ. ඉතින් දැන් එහි කොන්ත්‍රාත්කරුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ වැඩකටයුත්ත ආරම්භ කරන්න.  


මෙමගින් ගොවීන්ට හානියක් තියෙනවද?  


මම හිතන්නෙ එහෙම හානියක් නෑ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව මේ පිළිබඳ හොයලා බලන්නෙ නැතිව එකපාරටම අනුමැතිය ලබා දෙන්නෙ නෑ. ඒ අය ඒ පිළිබඳ හොඳට හොයලා බලලා තමයි අනුමැතිය ලබා දීලා තියෙන්නෙ.  


ගොවියො චෝදනා කරනවනේ මේ ජල ව්‍යාපෘතියෙන් රාජංගන ජලාශයෙන් දිනකට අක්කර අඩි 25 පානීය ජලය සඳහා වෙන් වෙන නිසා රාජාංගන ව්‍යාපාරයේ ගොවි පවුල් 35,000 කට ගොවිතැන් සඳහා ජලය හිඟවන බවට?  


ඇත්තටම මුල් අදියරේ නම් අක්කර අඩි 25 ඕනැ නෑ. තඹුත්තේගමට යන්නෙ අක්කර අඩි 15 ක් වගේ ආසන්න ගානක්. එහි තියෙන ධාරිතාව එක්ක අක්කර අඩි 15 ක් කියන්නෙ බොහොම සුළු ප්‍රමාණයක්. ඔවුන්ගේ කෘෂිකාර්මික කටයුතු එක්ක බලද්දිත් ඒක සුළු ප්‍රමාණයක්.  


මීට පෙරත් අනුරාධපුරයට ජලය අරන් තියෙන්නත් වැව්වලින්. නුවර වැව, තුරුවිල වැව, පූජා නගරෙ තියෙන තිසා වැව ආදී වැව්වලින්. ඉතින් එහෙමයි කියලා මෙච්චර කල් ගොවීන්ට කිසිදු හානියක් සිදුවෙලා නෑ කිසිදු ව්‍යාපෘතියකින්.  


 මේදේත් ඔවුන් නොදන්නාකමට කරන විරෝධතාවක්. ඔවුන් මෙහි සත්‍යතාව නොදැන මේ වගේ විරෝධතාවල නිතර වෙන්නේ. මීට පෙරත් අනුරාධපුර වැව්වලින් වතුර ලබාගෙන තියෙනවා.  


වකුගඩු රෝගී තත්ත්වය නිසා වැඩියෙන්ම මේ දේ පටන් අරන් තියෙන්නෙ. මේ කියන පැතිවලත් ගොඩක් වකුගඩු රෝගීන් ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි මේ ව්‍යාපෘතිය පටන් ගත්තෙ. මේ විරෝධතා එල්ල කරන ප්‍රදේශවලටත් මේ වතුර ලබා දෙනවා.  


සමස්ත ලංකා ගොවිජන සේවා සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මේ පිළිබඳ දැක්වූ අදහස් මෙසේය.  


රාජාංගන ජලාශයෙන් වතුර පාවිච්චි කරලා පානිය ජල ව්‍යාපෘතියක් යෝජනා කරලා තියෙනවා. ඒකට විරුද්ධව තමයි උද්ඝෝෂණයකට ගොවියො පාරට බැස්සෙ. මේක රාජපක්ෂ ආණ්ඩුව යටතේ ආපු යෝජනාවක්.  
මේ ජල යෝජනා ක්‍රමයෙන් ගොවියො ළඟ තියෙන තොරතුරු අනුව රාජපක්ෂ ආණ්ඩුවෙන් එවපු තොරතුරු අනුව දවසකට අක්කර අඩි 37 ක් වතුර ගන්නවා මේ පානීය ජල ව්‍යාපෘතියට. ඒ අනුව අවුරුද්දකට අක්කර අඩි 13,505. අක්කරයක් පුරාවට අඩියක ඝනකමට වතුර පිරුණම ඒක අක්කර අඩියක්. එතකොට ඒ මට්ටමේ වතුර අවුරුද්දකට 13,505 වැවෙන් නිදහස් කරන්න වෙනවා.   


එතකොට වැවේ මුළු ධාරිතාව අක්කර අඩි 86,500. එතකොට 86,500 වතුර ඇල්ලුවොත් තමයි වැව වාන් දාන්නේ.  


 මේ යටතේ කුඹුරු වගා කරන්න වගාබිම් තියෙනවා අක්කර 22,000. එතකොට ගොවි පවුල් 30,000 ආසන්න ප්‍රමාණයක් මේ යටතේ ජීවත් වෙනවා. දැන් තියෙන ප්‍රශ්න තමයි පහුගිය කන්නෙත් වගා කරන්න බැරි වුණ එක. ඒ වගේම එක කන්නයක් වගා කළේ බෙත්මෙට.  


බෙත්මෙට කියන්නෙ වතුර නැතිව කොටසක් වගා කළා. රාජංගනයේ ජලාශෙට ස්ථීරව වතුර එන කලාඔය වසරේ වැඩි කාලයක් කුඩා දිය පාරක් විදිහටයි තියෙන්නේ. ඒ නිසා රාජාංගනේ වැවට වතුර හොඳින් එන්නෙ කලාවැව වාන් දැම්මොත් තමයි.  


කලා වැව වාන් දාන්න නම් කලාවැවට වතුර එන්න ඕනෑ පොල්ගොල්ලෙන්. ඒ විදියට වතුර ආවොත් තමයි කලා වැව පිරෙන්නෙ.  


ඊට අමතරව වෙල්පල්ල වතුර රාජාංගනේට උඩහින් තියෙන කුඹුරුවලින් බැහැලා එන වතුර රාජාංගනේට එකතු වෙනවා.  


 මේ ව්‍යාපෘතියට ගොවීන්ගේ විරුද්ධත්වයක් නෑ. ඔවුන්ගේ ඉල්ලීම තමයි ජල ව්‍යාපෘතියට වතුර ගන්නවා නම් වැවට වතුර ගේන ක්‍රමවේදයක් ආණ්ඩුව හඳුන්වා දිය යුතුයි කියන දේ.  


විශේෂයෙන්ම පොල්ගොල්ල වේල්ලෙන් එහෙම නැත්නම් කලාවැව හරහා රාජාංගනේට ඒ වතුර ගන්නා ප්‍රමාණය එසේ නොමැති නම් වැවට හානියක් නොවන විදියට වතුර අදින සහතිකේ ආණ්ඩුව ලබාදෙන්න ඕනෑ. ඒ වගේම අලාභයක් හානියක් සිදුවුවහොත් ගොවියාට එහි වගකීම ආණ්ඩුව භාරගැනීම කළ යුතුයි. ඒ වගකීම භාරගෙන ජල ව්‍යාපෘතිය කරන්න කියන දේ තමයි ගොවියන්ගෙ පැත්තෙන් ඉල්ලීම වෙන්නේ.  


ජලය කළමනාකරණය කිරීම පැත්තෙන් ගත්තම ජල කළමනාකරණ ප්‍රතිපත්ති වෙනස් කරන්න කියලත් ආණ්ඩුවට කියනවා. මොකද පළමු තැනට ජල විදුලිය, දෙවැන්න පානීය ජලය, තුන්වැන්න කර්මාන්ත, හතරවැන්නට කෘෂිකර්මාන්තය දාලා තියෙන්නෙ. නමුත් ජල විදුලිය අංක 4 ට දාලා කෘෂිකර්මාන්තය අංක එකට දාන්න කියලා අපි කියන්නෙ. මොකද විදුලිය උත්පාදනය කරන්න විකල්ප තියෙනවා. නමුත් කෘෂිකර්මාන්තය සඳහා වතුර ඇරුණම වෙන විකල්ප නෑ. ආණ්ඩුවේ ජල ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගත්තමත් ගැටලු තියෙනවා. ඒ තත්ත්වය තුළ මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න මැදිහත් වීමක් නෑ. මේ තත්ත්වයත් එක්ක තමයි ගොවියො පාරට බැස්සෙ. ඒ පාරට බැස්ස ගොවීන්ට තමයි මේ පහර දුන්නෙ.  


 ගොවියෝ පොලිසියට ගල්මුල්වලින් ගැහුවා. ඒක අපි අනුමත කරන්නෙ නෑ. මේ සටනේදී අපි සජීවිව මැදිහත් වීමක් වුණේ නෑ. අපි එකතුවෙලා හිටිය නම් මේ ව​ෙග් දෙයක් සිදුවෙන්නෙත් නෑ.  


මොකද ගිය අවුරුද්ද ඇතුළත අපිට උසාවි නියෝග 16 ක් ආවා. සටන් කරන්න එපා කියලා. උසාවි නියෝග 16 ක් ආවත් එක සටනක්වත් අපි අතඇරියෙ නෑ. සටන් ජයග්‍රහණය කළා. පසුව කිසිදු ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. උසාවියට අපි ගරු කරනවා.  


කොහොම නමුත් අපි ගොවියො වෙනුවෙන් පෙනී ඉන්නවා. ගොවියො ගල් මුල්වලින් පහරදීම අනුමත කරන්නෙ නෑ. නමුත් ගොවියා ඒ තැනට තල්ලු කළේ කව්ද? ඒ නිසා ආණ්ඩුව මේවට කන් යොමු කරලා විසඳුම් ලබා දුන්න නම් ගොවියා පාරට බැහැලා උද්ඝෝෂණ කරන්නෙ නෑ.  


ඒ මොහොතෙ ඊට අදාළ එක නිලධාරියෙක් හරි එවලා ගොවියාට පිළිතුරක් ලබා දුන්න නම් සාකච්ඡාවක් කළා නම් කඳුළු ගෑස් ගහන්න පොලිසියට ඉඩ ලැබෙන්නෙ නෑ. පොලිසියෙ කඳුළු ගෑස්වලට කිපුණ නිසා තමයි මේ දේ සිදුවුණේ.  


 කොහොම නමුත් ගොවියන් වෙනුවෙන් අපි පෙනී ඉන්නවා. මේ තත්ත්වය තුළ අපි ආණ්ඩුවට යෝජනා කරන්නේ රාජාංගනයේ වැවෙන් පසුව වතුර යන්නෙ නීළබැම්ම ව්‍යාපෘතියට.  


නීලබැම්ම ව්‍යාපෘතිය කියන්නෙත් ලොකු ව්‍යාපාරයක්. එතකොට මේ දේ මේ විදියට ක්‍රියාත්මක කළොත් නීලබැම්ම ව්‍යාපෘතියටත් ගැටලුවක් එනවා. නීලබැම්ම ව්‍යාපෘතියෙන් පස්සෙ ගලන වතුර ඔක්කොම යන්නේ මුහුදට. එතකොට ලොකු වතුර ප්‍රමාණයක් මුහුදට යනවා. ඒ නිසා ආණ්ඩුවට විකල්පයක් විදියට පුළුවන් මේ නාස්ති කරන මුදල්වලින් පොඩි මුදලක් වෙන් කරලා නීලබැම්ම පහළින් මේ ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්න.  
අද තාක්ෂණයත් දියුණු නිසා ඒ තාක්ෂණයත් භාවිතා කරලා මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නත් පුළුවන්. එතකොට ගොවියගෙ ප්‍රශ්නත් විසඳෙනවා. ජල ව්‍යාපෘතියත් සිදු කෙරෙනවා.  


 ඉතින් එවැනි විකල්ප ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්කම තියෙද්දි තමයි මේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙන්නෙ. රටේ සුපිරි හොරු වන අර්ජුන් මහේන්ද්‍රලා, වීරතුංගලා, රටින් පැනලා ඉන්නවා. ඒ වගේම රටේ මුදල් කාබාසිනියා කරපු හොරකම් කරපු පට්ට හොරු පාර්ලිමේන්තුවෙ ඉන්නවා. ටයිකෝට් දාගෙන, ජාතික ඇඳුම් ඇඳගෙන මල්මාල දාගෙන ඉතාමත්ම ගෞරවාන්විත විදියට. අපරාධකරුවො නිදැල්ලෙ ජීවත් වෙනවා. ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් නෑ. නමුත් මේ රටට බත සරි කරන අහිංසක ගොවියා අද වෙන විට හිරගෙදර දාලා තියෙනවා හිරබත් කන්න. රටට බත සරි කරන ගොවියාව හිර ගෙදර දාලා හිරබත උරුම කරලා.  


ඉතින් ඒ නිසා අපි ගොවියාට මේ කරන අඩත්තේට්ටම හෙළා දකිනවා. ආණ්ඩුවට බල කරලා කියනවා මේ තත්ත්වයට වහාම මැදිහත්වෙලා විසඳන්න. එසේ නැතිවුවහොත් දැවැන්ත ගොවි සටන් ඉදිරියට නිර්මාණය වෙනවා කියන දේ. 

 

 

 

ධනු විජේරත්න