සුජිත් හේවාජුලිගේ

වැඩිහිටි නිවාස නියාමනය සඳහා රජයට කෙළින්ම නීති සකස් කිරීමේ බලයක් නොමැතිවීම හේතුවෙන් පළාත් සභාවල එකඟත්වය  ගැනීමට සිදුවීම නිසා ඒ කටයුතු තරමක් ප්‍රමාද වෙමින් පවතින බව  වාර්තාවේ. පළාත් සභාවල එකඟත්වය නොමැතිව රෙගුලාසි සකස් කිරීමට පළාත් සභා ප්‍රධානීන් විරෝධය දක්වන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව සමාජ සේවා විෂය දැනට පවතින්නේ පළාත් සභා යටතේ හෙයින් රෙගුලාසි සකස් කිරීමේදී පළාත් සභාවල එකඟත්වය ලබා ගැනීමට අනිවාර්යයෙන්ම සිදුව ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පැවසුවේය. පළාත් සභාවල එකඟත්වය ගෙන එම රෙගුලාසි කඩිනමින් සකස් කිරීමට කටයුතු කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

වැඩිහිටි සුභසාධනය වෙනුවෙන් සකස් කෙරුණු නව පනත් කෙටුම්පතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය. දැනට රට පුරා වැඩිහිටි නිවාස 455 ක් ලියාපදිංචි කර ඇති අතර ඒවායේ වැඩිහිටියෝ දහදාහක පමණ පිරිසක් නේවාසිකව සිටිති.

මේ අතර රට පුරා ලියාපදිංචි වී නැති වැඩිහිටි නිවාස සම්බන්ධයෙන් සොයා බලා ඒවා ලියාපදිංචි කිරීමට කටයුතු කරගෙන යන බව කී  පන්නිලගේ මහතා එම වැඩිහිටි නිවාස බොහොමයක නිසි පහසුකම් සහ  ප්‍රමාණවත් කාර්ය මණ්ඩල නොමැතිව පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ද සඳහන් කළේය.

හොරණ බටගොඩ සෙනෙහසේ කැදැල්ල වැඩිහිටි නිවාසය කිසිම ආයතනයක ලියාපදිංචි කර නොතිබූ බවත් වැඩිහිටි නිවාසයක් වුවත් ඒ ස්ථානයේ වයස හැටට වැඩි අය සිට ඇත්තේ අට දෙනකු පමණක් බවත් අමාත්‍යවරයා පැවසුවේය. එම වැඩිහිටියෝ රජයේ අනුග්‍රහයෙන් කතරගම ප්‍රදේශයේ අලු‍තින් ආරම්භ කෙරුණු නව වැඩිහිටි නිවාසයට යොමු කරනු ලැබ සිටිති.

රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ ආයතන විසින් පවත්වාගෙන යනු ලබන වැඩිහිටි නිවාස විශාල ප්‍රමාණයක් රට පුරා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති හෙයින්  එම නිවාස ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ වැඩිහිටි ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කරන ලෙස රජය ඉල්ලීමක් කරයි.

මේ අතර වැඩිහිටි නිවාස පවත්වාගෙන යෑම සම්බන්ධයෙන්  නිශ්චිත ආචාර ධර්ම පද්ධතියක්  හඳුන්වා දීමට ද අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. හොරණ වැඩිහිටි නිවාසයේ ඇති වූ ගින්නෙන් දොළොස් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව දහයකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.