ඇත්කඳ විහාර පුදබිමේ පිවිසුම   

 

 

​පෞරාණික අතින් ඉතා වැදගත් බෞද්ධ පුදබිමක් දශක ගණනාවකින් රජයේ වගකිව යුතු අංශවල නිසි අවධානයට ලක් නොවීම හේතුවෙන් මේ වෙන විට විනාශ මුඛයට යමින් පවතී.   


අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන මැතිවරණ කොට්ඨාසයේ ඇල්ලපොතානේ මනරම් පරිසරයක කඳු මුදුනක පිහිටි මේ පුදබිම පුරාණයේ පටන් හඳුන්වනු ලබන්නේ ඇත්කඳ විහාරය නමිනි.   


ස්වාභාවිකව නිර්මාණය වූ ගල් ලෙන්, පොකුණු ආදියෙන් සමන්විත මේ ඓතිහාසික පුදබිමේ ආරම්භය ක්‍රිස්තු පූර්ව 247 සිට දස වසරක් අනුරාධපුරය රාජධානිය පාලනය කළ සූරතිස්ස රජ සමයේ සිදු වූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මේ ගල් ලෙන්වල එදා භාවනානුයෝගී භික්ෂූන් වැඩ විසූ බවට සාධක තවමත් දක්නට තිබේ. එම භික්ෂූන් පැන් පවස නිවාගෙන ඇත්​තේ මෙහි ගල් තලාවන්හි ස්වභාවිකව නිර්මාණය වී තිබෙන පොකුණුවලින් බව සනාථ වන කරුණු අදටත් ශේෂව පවතී.   


ඊට අමතරව මේ පුදබිම පුරා තැන් තැන්වල බොදු සැදැහැවතුන් වැඳුම් පිදුම් කළ වෙහෙර විහාරවල නටබුන් ද කළු ගලෙන් නිමැ වූ සිරි පතුල්, මල් අාසන, ගල් කැටයම්, ගල් කණු, සෙල් ලිපි ආදිය ද දක්නට ලැබේ.   


කාලයක් පුරා ජනතාවගෙන් ඈත්ව හුදකලා වී පැවැති නිසා නිධන් හොරුන් විසින් මේ පුදබිමේ පෞරාණික වටිනාකමට හානි වෙන අයුරින් කර තිබෙන විනාශය අති විශාලය.   
මේ ඓතිහාසික පුදබිමේ කඳු පාමුල ඉදිකර තිබෙන ආවාස ගොඩනැගිල්ලේ වැඩ විසූ දැල්තර සෝමානන්ද හිමියන් ඉතා අඩු පහසුකම් මධ්‍යයේ වුවත් හැකි පමණින් පුදබිම රැක බලා ගත් බව ප්‍රදේශවාසීහු පවසති.   

 

පුදබිමේ ගල් තලාවක කෙටූ පුරාණ සෙල්ලිපියක්.   

නිධන් හොරුන් විසින් හානි කළ කළු ගලෙන් නෙළුද්‍ මල් අසුනක්   

 

 


මීට දෙමසකට පෙර දී උන්වහන්සේ හදිසියේ අපවත් වීමෙන් පසු ප්‍රදේශවාසී දායක දායිකාවන්ගේ ආරාධනය මත උන්වහන්සේගේ උගත් ශිෂ්‍ය හිමි නමක වන දැනට මොරටුව මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවය කරන කුඹුක්ගොල්ලෑවේ සුමනසාර හිමියන් විහාරස්ථානයට වැඩම කොට සිටිති.   


පාසලේ සේවය කරන නිසා උන්වහන්සේ සෑම සති අන්තයකම මොරටුවේ සිට හොරොව්පොතානේ ඇත්කඳ විහාරයට වැඩම කරති. එසේ වැඩම කොට නැවත විහාරය ගොඩනැගී​ෙම් කාර්යභාරයට උන්වහන්සේ මුල පුරා ඇත්තේ දායක දායිකාවන්ගේ ආශිර්වාදය ඇතිවය.   


අැත්කඳ විහාරයේ දායක සභාවේ සිටින විශ්‍රාමික විදුහල්පතිවරයෙකු වන 72 හැවිරිදි ඩී. ප්‍රේමරත්න මහතා පැවැසුවේ, ඓතිහාසික අතින් ඉතා වැදගත් මේ පුදබිම නිධන් හොරුන්ගෙන් රැක ගැනීමට අපවත් වී වදාළ ​සෝමානන්ද හිමියන් මහත් පරිශ්‍රමයක් දැරූ බවයි.   


ගත වූ දශක කිහිපය තුළ රජයේ වගකිව යුත්තන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් මේ පුදබිම ක්‍රම ක්‍රමයෙන් අභාවයට ගිය බව පැවසූ ඒ මහතා දැන්වත් මේ පුදබිම රැක ගැනීමට ඔවුනගේ අවධානය යොමු විය යුතු බව කියා සිටියේ දුප්පත් ජනතාවක් ප්‍රදේශයේ ජීවත් වෙන නිසා පුද බිම වැඩිදියුණු කිරීමට දායක වීමට ආර්ථික ශක්තියක් ඔවුනට නොමැති බවද පවසමිනි.   


එබැවින් රජයේ වගකිවයුත්තන්ගේ අවධානයට යොමු වී පෙර රජ දවස පැවති ශ්‍රී විභූතියෙන් මේ පුදබිම බැබළෙනු තම දෑස් පියවෙන්නට පෙර දැක ගැනීම තමන්ගේ ප්‍රාර්ථනාව බවද හෙතෙම පැවැසුවේ හැඟීම්බර හඬිනි.   

 

නිධන් හොරුන් විසින් පුද බිමේ නිධන් හෑරූ ස්ථානයක්   

 

 


​මේ පුදබිම නැවත ගොඩනගන්නට වෙහෙසෙන වත්මන් විහාරාධිපති කුඹුක්ගොල්ලෑවේ සුමනසාර හිමියන් කියා සිටියේ පෙර රජ දවස සූරතිස්ස රජ්ජුරුවන්ගේ සමයේ මේ පුදබිම ගොඩනැගූ බව මහා වංශයේ 21 වැනි පරිඡේදයේ සඳහන් වෙන බවයි. ඒ අනුව මේ ස්ථානය පෞරාණික අතින් ඉතා වැදගත් තැනක් බව කී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවැසූහ.   


දශක කිහිපයක් වගකිවයුත්තන්ගේ නිසි අවධානයට යොමු නොවීම නිසා අභාවයට යමින් පවතින මේ පුදබිම නැවත ගොඩනැගීමට ප්‍රදේශයේ ජීවත් වෙන දායක දායිකාවන්ට හැකියාවක් නැහැ. ඒ ඔවුන් ගොවිතැනින් ජීවත් වෙන දුප්පත් පිරිසක් නිසයි. නමුත් ඔවුන් ශක්ති ප්‍රමාණයෙන් මෙහි යම් යම් සංරක්ෂණ කටයුතු සඳහා දායක වී තිබෙනවා. ඒ නිසයි මේ තත්ත්වයෙන් හෝ මේ පුදබිම පවතින්නේ.   


ඒ වගේම හොරොව්පොතාන ආසනයේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී පී. සහිදු මහත්මා අවස්ථා කිහිපයක දීම විහාරස්ථානයේ වැඩිදියුණුව සඳහා මැදිහත් වී ආධාර කර තිබෙනවා. පුදබිමට පැමිණෙන මාර්ගය ගම්පෙරළිය වැඩසටහන යටතේ ප්‍රතිසංස්කරණය කර දී විහාරස්ථානයට විදුලිය පහසුකම් සපයා දීමටත් දැනට අප වැඩවසන ආවාස ගෙයි හා කන්ද මුදුනේ තිබෙන විහාර ගෙයි වැඩිදියුණු කිරීම් සඳහාත් උදව් කළේ එතුමායි.   


පෞරාණික අතින් වැදගත් මේ පුදබිම නැවත ගොඩනැගීමට ප්‍රදේශවාසීන් හා එක්ව මා දරන උත්සාහයට ශාසනයට ළැදි පරිත්‍යාගශීලී බොදු බැතිමතුන්ගේ සහයෝගය ලැබුණොත් ඒ කටයුතු සාර්ථක කරගෙන යාමට හැකියාව ලැබෙනවා.   


​මේ පුදබිමේ රහතුන් වහන්සේලා වැඩි සිටි බවට සාධක තිබෙන කටාරම් සහිත ගල් ලෙන් දාහතරකට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒ වගේම තැනින් තැන සෙල් ලිපි දක්නට ලැබෙනවා.   


සිරි පතුල කැටයම් කළ ගල් පුවරු තිබෙනවා. පුරාණ විහාරයක හා ථූපයක නටබුන් තිබෙනවා. ගලින් නිම කළ මල් ආසනයක් ගල් කණු ආදිය සහිත පෞරාණික වස්තූන් සමූහයක් මේ පුදබිමේ දක්නට ලැබෙනවා. ඒ වගේම වසර පුරාම ජලය නොසිඳෙන කුඩා පොකුණු කිහිපයක් තිබෙනවා. 

 
එබැවින් මේ පෞරාණික වස්තූන් ආරක්ෂා කර ගැනීම සඳහාත්, මහජනතාවට මේ දේවල් දැක බලා ගැනීම සඳහාත් සංරක්ෂණය කිරීමට දායක දායිකාවන් හා එක්ව තමන් දරන උත්සාහයට සහාය දක්වන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන්, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් හා සංස්කෘතික අමාත්‍යාංශයෙන් වගේම බෞද්ධ දානපතීන්ගෙන් ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටින බව සුමනසාර හිමියෝ පැවැසූහ.   


සුමනසාර හිමියන්ගේ මේ කාරුණික ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කරන්නට 0718372377 ජංගම දුරකථන අංකයට ඇමතීමෙන් උන්වහන්සේ සමග කතා බහ කළ හැකිය. 

 

 

සටහන හා සේයාරූ  - අතුල බණ්ඩාර