හරිත නගරය

නගරයේ කුණු වළ

 

 

 

මොරගහකන්ද - කළුගඟ ජලාශ යෝජනා ක්‍රමය වැඩ අවසන් අදියරේ පසුවන වාරි ව්‍යාපෘතියකි. ඒ සඳහා තම ගම්බිම් දේපල දන් දුන් ජනතාව නෑමට, බීමට සහ සියලු ජල අවශ්‍යතාවන්වලට තවමත් විසඳුමක් නොමැතිව දස දුක් විඳින බව කියති.   


වසර හතරක කාලයක සිට මොරගහකන්ද කළුගඟ ජලාශ ව්‍යාපෘතිය නිසා අනේක දුක් විඳින ජනතාව තවමත් එම දුකෙන් මිදීමට නොහැකිව අන්ත අසරණව ජීවත් වෙන බවද පවසති. 


දිවයිනේ හරිත නගරය ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් නම් කොට විවෘත කෙරුණු මෙම නගරයේ නව ගම්මානවල ජන ජීවිතය සොයා ගිය අපට දැක ගැනීමට හැකි වූයේ දැඩි දුෂ්කරතා රැසක් මධ්‍යයේ දිවි ගෙවන ජන සමූහයකි. 


කළුගඟ ජලාශය ඉදිකිරීම සඳහා තම ගම්බිම් ලබාදී විකල්ප ඉඩම් වන්දි මුදල් ලබාගෙන නැවත පදිංචියට පැමිණි ජනතාව වසර හතරක පමණ කාලයක් ගත වී ඇතත් මෙතෙක් ගොවිතැනක් කරන්නට වතුර බින්දුවක්, තිබහට බොන්නට වතුර බින්දුවක්, ආහාර පිසීමට, දිය නා ගැනීමට රෙදි පෙ​ෙරදි සෝදා ගැනීමට වතුර බින්දුවක් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් ලබා දෙන තුරු මෙම ජනතාවට උඩ බලාගෙන සිටීමට සිදුව තිබේ. 


ගොවිතැනක් බතක් නොමැති වීම හේතුවෙන් වියළි ආහාර ටික මහවැලි අධිකාරියෙන් ලබා දෙන තුරු මෙම ලග්ගල වැසියන්ට තවමත් බලා සිටීමට සිදුව ඇතැයි ඔවුහු පවසති. 
එමෙන්ම හරිත නගරය ලෙස නම් කොට ඇති මෙම නගරයේ ඉවත ලන කැළිකසළ සියල්ල නගරය අාසන්නේ මිනිසුන් පදිංචි ආසන්නයක වළකට ගෙනැවිත් දමා තිබීම නිසා පරිසර විනාසයන් රැසක් හරිත නගරයේ සිදුවන බවද ඔවුහු පෙන්වා දෙති. 


මහවැලි අධිකාරියේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදුවෙමින් පවතී. එහෙත් ජනතාව වෙනුවෙන් ඉදිකරන කළුගඟ ජලාශය යටතේ ඉදිකෙරෙන අනෙකුත් වැව් රැසක් පළමු වැස්සට පිරීගොසිනි. කෝටි ගණනක් ජනතා මුදල් වියදම් කොට ඉදිකළ වැව් බැමි නැවතත් කපා දැමීමට මහවැලියට සිදුවී ඇත්තේ එහි සැලසුම්වල ඵලදායිතාවය නිසාවෙන් යයි ජනතාව නගන තවත් චෝදනාවකි. 


මෙම ලග්ගල හරිත නගරයේ ජීවත්වන ජනතාවට මුදලින් කොතෙක් ලැබුණ ද එම මුදල් ද ලබා ගත්තේ දැඩි අරගලයක් කරමින් බව ඔවුහු කියති. ඇතැම් නිවෙස්වල ඔවුන් අරගල කොට ලබාගත් ජයග්‍රහණ මෙනෙහි කිරීම සඳහා ඡායාරූප ප්‍රදර්ශනය කර තිබීම විශේෂත්වයකි. ඔවුන්ගේ අරගල සහිත ඡායාරූප බිත්තිවල එල්ලා බලධාරීන්ට බැණවදිමින් තවමත් ජීවත් වෙති. 


මොරගහකන්ද - කළුගඟ ජලාශය පිළිබඳව බොහෝ දෙනකු සතුටින් කතා කළ ද ජනතාව කියා සිටින්නේ ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් ඉහළ බලධාරීන්ට සියල්ල සඟවා පහළ මහවැලි නිලධාරීන් මෙහි විශාල අකටයුතුකම් රැසක් සිදු කරමින් ජනතාව මුළාකොට තිබෙන බවය. 

 

ගුරුවෙල තැනු වැවේ බැම්ම කපාදමන අයුරු.

 


දිවයිනේ විශාලතම ජලාශ දෙකකට දේපල දන් දුන් වෙනත් ප්‍රදේශයකට පදිංචියට පැමිණි මෙරට ලග්ගල නම් වූ යකුන් සිටි පරම්පරාවකින් පැවත එන ලග්ගල ජනතාව විඳින දුක සොයා අපි එහි ගියෙමු. 


තමන්ට සිදුව ඇති කරදර පිළිබඳව මුලින්ම අප සමග කියා සිටියේ වසන්තා රත්නායක : “කළු ගඟ ජලාශයට තමයි අපේ දේපල ඔක්කොම පූජා කළේ. අපි වන්දි ගත්තා තමයි හැබැයි මාස ගණනාවක් අවුරුදු ගණනාවක් අරගල කරලා පාරේ බුදියලා, කෑකෝ ගහලා බඩගින්නෙ ඉඳල බලධාරීන්ට පුළුවන් තරං රිදවල තමයි අපි වන්දි මුදල ලබා ගත්තේ. හැබැයි දැන් අවුරුදු තුන හතරක් වෙනවා. තවමත් මේ අයට බැරි වුණා, අපි ඉඩකඩම් අරගෙන වතුර පුරව ගත්තා අපි තවමත් මහවැලියෙන් දෙන වතුර බින්දුවෙන් ජීවත් වෙන්නේ. එයාලා අපට දෙන හාල් කිලෝ වෙන් තමයි අපි ජීවත් වෙන්නේ.” 


“තවත් අවුරුදු කීයක් යයිද කියලා අපට හිතාගන්න බැහැ මේ දඬුවමෙන් මිදෙන්න. වතුර ටිකක් බොන්න ගෙනත් දෙනවා බකමූණෙක් කියලා. හැබැයි මේ වෙනකොට ලග්ගල වකුගඩු රෝගීන් නම් විශාල වශයෙන් වැඩි කරලා තියෙනවා. අපට නාන්න උයා පිහා ගන්න රෙදි හෝද ගන්න වතුර ගෙනත් දෙනවා කැලේ මැද තියෙන පුංචි වැවකින්. ඒක අලින්ගේ රජදහනක්. අලිබෙටි හරක් බෙටිත් එක්ක තමයි අපිට ගෙනත් දෙන්නෙ ඒව තමයි අපි නාන්නේ රෙදි හෝද ගන්නේ.” 


“මේ තිත්ත කතාව කොච්චර නම් අපි කියලා ඇත්ද? ඒත් මේවා කිසිම කෙනෙක් බලන්නේ නෑ. රුපවාහිනීවල පත්තරවලට අපි කියලා තියෙනවා ඒත් ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් ඇවිල්ලා අරන් ගිහිල්ලා දාන්නේ අපි සුන්දර නගරයක ජීවත් වෙනවා කියලා. ගත්තු මුදලින් ගෙවල් හදාගත්ත ඒක ඇත්ත. හැබැයි අපට කියන්නේ මේ ගෙවල් කන්න කියලද? මිනිස්සුන්ට මේක තේරෙන්නේ නෑ.” 

 

 


සඳලේඛා සුභාෂිණි : “අපිට ලොකුම ප්‍රශ්නය තියෙන්නේ වතුර. කොහොම හරි ජීවත් වෙන්න පුළුවන්. මිනිහෙකුට පිරිසිදු වතුර නැතුව ඉන්න පුළුවන්ද? අනිත් එක තමයි මේ ගෙනත් දෙන වතුර ඉතාමත් අපිරිසිදුයි. බොන්න විදිහක් නෑ. නාන්න බෑ. ඇඟ කසනවා පුංචි දරුවෝ නාවපුහම ගෙඩි දානවා. අපේ ගමේ ඇවිදලා බලන්න පොඩි දරුවන්ගේ හැම දරුවෙක්ම කකුල්වල ගෙඩි දාලා බිබිලි දාලා වණ වෙලා. අපි හිතන්නේ මේ අලි නාන වළවල්වලින් ගෙනත් දෙන හින්දා කියලා. මේවා කියන්න කෙනෙක් නෑ. පාරේ බෝඩ් ගහලා තියෙනවා හරිත නගරය කියලා. අපේ ගෙවල් පිටිපස්සට ඇවිල්ල බලන්න මුළු නගරයම එකතු කරන කුණු කසළ කන්ද වළකට ගෙනත් දානවා. පැත්ත පළාතේ ඉන්න බෑ. මැසි මදුරු. මේවා තමයි ඇත්ත. හැබැයි ජනාධිපතිතුමාට පෙන්නන්නෙ නෑ මේවා කියන්නෙත් නෑ.” 


ඩබ්ලිව්. ඩී. කුසුමාවතී : “අපි ඉතා හොඳට ජීවත් වෙච්ච මිනිස්සු. ලග්ගල අපි ඉද්දි ලුණු ටිකයි සබන් ටිකයි විතරයි පිටින් ගත්තේ. අද අපිට වෙලා තියෙන්නේ මහවැලියේ වතුර බවුසරේ එනකං උඩ බලාගෙන ඉන්න. මහවැලියේ හාල් ලොරිය එනකන් බලාගෙන ඉන්න. අපි එහෙම හිටපු මිනිස්සු නෙවෙයි. කැත්තේ උදැල්ලේ වැඩ කරපු මිනිස්සු. අද අපිට වෙලා තියෙන්නේ හිඟන්නෝ තත්ත්වෙට පත්වෙලා. කවදා මේක ඉවර වෙයිද කියලා හිතාගන්නවත් බෑ.” 


ලග්ගල කළුගඟ ප්‍රදේශයේ නැවත පදිංචි කළ ගම්මානයට ගිය අපට හමුවූ දුක්බර තවත් කතාවකින් කියැවුණේ අසරණ වූ පවුලක් පිළිබඳවය. එහි පදිංචි ඒ.ජී. කුමාරසිංහ මහතා දරුවන් පස් දෙනෙකුගේ පියෙකි. ඔහුගේ බිරිඳ යූ.ජී. චන්ද්‍රා කුමාරි මහත්මිය තම දරුවන් සමඟ විඳින දුක පිළිබඳව හඬාවැටෙමින් කියා සිටියේ රජයේ ඉඩමක පදිංචිව සිටි නිසා රුපියල් ලක්ෂ තුනහමාරක පමණ වන්දි මුදලක් ලැබුණු බවය. දරු පස් දෙනා සමග කුඩාවට ටකරන් ලෑලි කිහිපයක් රැගෙන පැලක් හදාගෙන අදටත් ජීවත් වෙන බවය. දරුවන්ට උගන්න ගන්න කන්න බොන්න බොහෝ අඩුපාඩු මධ්‍යයේ ජීවත්වන බවත් රාත්‍රී කාලයේ සර්පයන්ගෙන් බේරීම සඳහා දැඩි සටනක් කරන බවද ඇය පැවසුවාය. කවුරුන් හෝ සිටීනම් තම දරුවන්ට අධ්‍යාපනය සඳහා උදව් කරන්නැයි ඇය අපෙන් ද ඉල්ලීමක් ද කළාය. 


මෙම ගමනේදී මොරගහකන්ද ජලාශය සඳහා ඉඩම් ලබා දුන් අවතැන් වූ ජනතාව පදිංචි කර සිටි ලග්ගල මාඔය ප්‍රදේශයට අප ගියමු. එම ගම්මානයේ පදිංචි එච්.එම්. රංජිත් බණ්ඩාර : “මාඔය ප්‍රදේශයේ පදිංචිව සිටින පවුල්වලට කිසිදු සහනයක් වෙලා නෑ. අඩුම තරමේ වතුර උගුරක් කටට ගන්න තියා අල්ලන්නවත් හිතෙන්නෙ නැහැ. අඩුම තරමේ වැසිකිළියකටවත් ගෙනියන්න පුළුවන් තරම් වතුර එකක් නෙවෙයි ගෙනත් දෙන්නෙ. කරුණාකරලා අපි මහවැලි බලධාරීන්ට කියන්නේ අපේ ඉඩකඩම් දන්දුන්නේ වැවක් හදන්න, ජලය දෙන්න. අද අපට වෙලා තියෙන්නේ මහවැලි බලධාරින්ගේ බොර වතුර බොන්න. කරුණාකරලා මේ පිළිබඳව අවධානය යොමුකළ යුතුයි කියලයි.


මෙවැනි තත්ත්වයන් පිළිබඳව මොරගහකන්ද - කළුගඟ ජලාශ ව්‍යාපෘතිය නියෝජ්‍ය අධ්‍යක්ෂ මහින්ද අමරසූරිය මහතා කියා සිටියේ වැව් බැම්ම හා වැව ඉදිකිරීම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් සිදුකරන ලද්දක් බවය. කෙසේ වෙතත් මාර්ගයක් ජලයෙන් යටවීමේ අවදානම් තත්ත්වයකින් පැවතීම නිසා එය වැළැක්වීමට පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය. 


ලග්ගල හරිත නගරයේ සිදුකෙරෙන මෙම ක්‍රියාදාමයන් පිළිබඳව සහ කුණු කසළ කැළි කසළ විධිමත් ආකාරයෙන් ඉවත් නොකිරීම සම්බන්ධයෙන් ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපති බුද්ධික සේනාරත්න මහතාගෙන් අප ප්‍රශ්න කළෙමු. ඒ මහතා ලබාදුන්නේ මෙවැනි පිළිතුරකි. 


 “මහවැලි අධිකාරියෙන් තමයි අපට ඔය ඉඩම් කෑල්ල පෙන්නලා තියෙන්නේ. අපිව මෙහෙට ගෙනත් දැම්මේ මහවැලි අධිකාරියෙන්. ඒ අය තමයි කසළ කළමනාකරණ වැඩපිළිවෙළට උදව් කරන්න ඕනෑ. මොකද අපි ප්‍රාදේශීය සභා උනාට කුණු එකතු කරලා අපිට ගිහින් දාන්න තැනක් නෑ, වාහනයක් නෑ. අපට ළඟදීම වාහන දෙනවා කිව්වා. එහෙම වුණොත් පුළුවන් දඹුල්ලේ කසළ කළමනාකරණ අංගණයට මෙහෙ තියෙන කසළ යවන්න. ඒ නිසා දැනට කරන්න තියෙන උපරිම සේවාව ප්‍රාදේශීය සභාවෙන් කරනවා. අපි කසළ වෙන් කරලා තමයි අරගෙන යන්නේ.” 


කළුගඟ ජලාශය යටතේ ඉදිකෙරුණු ගුරුවෙල වැවේ බැම්ම කැපීම සම්බන්ධයෙන් ගමේ ජනතාව අපිට ඇවිල්ල කිව්වා. මේක මට ලැබිලා තියෙන තොරතුරු අනුව නම් පාලමක් ඉදිකරන කොන්ත්‍රාත්කරුවගේ කාලය ඉක්මවා ගිහිල්ල තියෙන්නෙ. එයාලා සල්ලි අරගෙන වැඩ කරල නෑ. අන්තිමට සිද්ධ වෙලා තියෙන්නේ මහවැලියේ මහජනතාවගේ මුදල් විශාල ප්‍රමාණයක් යොදවලා හදපු වැව් බැම්ම කපා දමන්න සිද්ධ වුණා. මේක මහා අපරාධයක්.” 


ලග්ගල මේ ජනතාව රට වෙනුවෙන් සිදුකළ මිල කළ නොහැකි කැපකිරීම් ගැන සලකා බලා මේ දැවෙන ප්‍රශ්නවලින් මුදවාලීම බලධාරීන්ගේ වගකීමකි.

 

 

දඹුල්ල කාංචන කුමාර ආරියදාස