
එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන ඉකුත්දාක නිකුත් කළ වාර්තාවක දැක්වුණේ ශ්‍රී ලංකාවේ මිලියන 1.3 ක ජනතාවක් මූලික ආහාර ලබා ගැනීමේ අරගලයක නිරතව සිටින බව ය. Food Security Under Pressure: How the Middle East Crisis is Impacting Vulnerable Countries මැයෙන් නිකුත් කරන ලද අදාළ වාර්තාව මැදපෙරදිග යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ සෝමාලියාව යන රටවල ආහාර සුරක්ෂිතතාවට එල්ල ව ඇති තර්ජන හා අභියෝග තක්සේරු කරයි. යුද ගැටුම් නතර නොවුණ හොත් ලොව පුරා මිලියන 45 ක ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයට පත්වීමට ඉඩ ඇති බවට එම සංවිධානය ඉකුත් මාර්තු මාසයේ දී පුරෝකථනය කළ අතර එම ප්‍රමාණයට අලුතින් මිලියන 6.1 ක පිරිසක් යට කී රටවල් තුනෙන් එකතු විය හැකි බව මෙම අලුත් වාර්තාවෙන් කියයි.
එම අලුත් පිරිසට ලංකාවෙන් එකතු වෙන මිලියන 1.3 ක පිරිසට අමතරව සෝමාලියාවෙන් එකතු වෙන මිලියන 2.5 ක් ද ඇෆ්ගනිස්ථානයෙන් එකතු වෙන මිලියන 2.3 ක් ද ඇතුළත් ය. 2022 ආර්ථික අර්බුදය කාලයේත් මෙරට ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ප්‍රබල සාකච්ඡාවක් පැවති අතර එවක දී මන්දපෝෂණයෙන් පෙළෙන්නන් ගැන ද වාර්තා විය. මෙම වාර්තාවත් සමග ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් යළිත් ගැඹුරින් සිතීමට සිදුව ඇති අතර උග්‍ර එල්නිනෝ තත්ත්වයක් ගැන පළවන අනාවැකි වාර්තා හේතුවෙන් තත්ත්වය තවත් තියුණු විය හැකි බව පෙනේ. ආහාර අනාරක්ෂිතතාව හා එයින් මිදීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් ජුනි, අගෝස්තු සිට ලබන වසරේ මුල් කාර්තුව දක්වා බලපැවැත්විය හැකි බවට අනාවැකි පළ වන එල්නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි අහිතකර බලපෑම් ගැනත් කෘෂි විද්‍යාඥ බුද්ධි මාරඹේ සමග කළ සාකච්ඡාවක් ඇසුරින් සකස් කළ ලිපියක් මෙසේ ය.
ගෝලීය ආර්ථික අර්බුදයෙහි ප්‍රතිඵල ලෙස කෘෂිකාර්මික භාණ්ඩ සහ යෙදවුම් ප්‍රවාහනය සඳහා බාධා මතු වන අතර එයින් බොහෝ රටවල ආර්ථික සුරක්ෂිතතාවට තර්ජන ඇති වේ. එහෙත් දියුණු වෙමින් පවතින සහ ආර්ථික අර්බුදවලට මුහුණ දී ඇති රටවලට එල්ල වන පීඩනය ඉතා ඉහළ ය. ශ්‍රී ලංකාව එවැනි රටකි. මෙරට කෘෂිකර්මයට අවශ්‍ය පොහොර සහ පළිබෝධ නාශකවලින් විශාල ප්‍රමාණයක් ආනයනය කරනු ලැබේ. ආහාර නිපදවනු ලබන්නේ ශාක හා සතුන් මගිනි. මානවයාට අවැසි ආහාර නිපදවීමට නම්, ශාකවලට හා සතුන්ට නිසි පෝෂණය ලබා දිය යුතු ය. එම පෝෂණය ලබා දෙන ප්‍රභවය පොහොර ය. විශේෂයෙන් ම අවශ්‍ය ප්‍රමාණයට ශාකවලට පොහොර නොලැබෙන විට ඉහළ අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි ය. මේ හේතුවෙන් ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු උද්ගත වේ. ශ්‍රී ලංකාව අද වෙනවිට මුහුණ දී සිටින්නේත් එවැනි අර්බුදයකට ය.
ලෝකයේ සමස්ත පොහොර නිෂ්පාදනයෙන් සියයට 35 -40 අතර ප්‍රතිශතයක් ප්‍රවාහනය කරනු ලබන්නේ හෝමුස් සමුද්‍රීය සන්ධිය හරහා ය. මැද පෙරදිග යුද උණුසුමත් සමග එම සමුද්‍රීය සන්ධිය විටින් විට වසා තැබීමෙන් කෘෂිකාර්මික යෙදවුම් අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය තැන්වලට ගෙන යෑම සඳහා මතුව ඇති බාධා එයින් තේරුම් ගත හැකි ය. නාවුක ගමනාගමනයට බාධා ඇති වන විට ඒ හා බැඳුණු රක්ෂණාවරණ ගාස්තු ද වැඩි වෙන බව අමතක නොකළ යුතු ය. මේ සන්දර්භයේ අවශ්‍ය අවස්ථාවේ පොහොර ගෙන්වා ගැනීමේ අපහසුතාවක් ලංකාවට තිබෙන්නා සේම ඩොලරයට ගෙවන රුපියල් ප්‍රමාණය ඉහළ යෑමෙන් පොහොර සඳහා ඉතා ඉහළ මිලක් ගෙවීමට ද සිදු වේ.
මෙවැනි වාතාවරණයක් හමුවේ පවතින ගෝලීය ගැටුම්කාරී තත්ත්වය මත ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගැටලු පැනනගින බව ලෝක ආහාර වැඩසටහන වාර්තාවක් මගින් ප්‍රකාශ කර තිබේ. කොරෝනා වසංගතය ඇති වූ අවස්ථාවේ මෙරට බොහෝ පවුල් තමන්ගේ ප්‍රධාන ආහාර වේල් ගණන අඩු කර තිබූ බව අප අමතක නොකළ යුතු ය. මෙය හොඳ ලක්ෂණයක් නොවේ. යට කී ජාත්‍යන්තර වාර්තාවෙන් මතු කර තිබෙන්නේ ඒ ආකාරයේ ආහාර අර්බුදයක් නැවත ඇති නොවන ආකාරයට වග බලා ගැනීමේ වැදගත්කම යි. එබැවින් මෙම ලිපියෙන් යළිත් ආහාර අර්බුදයකට නොවැටීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කළ හැකි ය.
මිනිසුන්ට පෝෂණය ඕනෑ නම් ශාකවලටත් නිසි පෝෂණය අවශ්‍යයි
සත්ව ආහාර ගැන කතා කිරීම පසුවට තබා පළමුව ශාක පිළිබඳ සාකච්ඡා කළ හොත් භෝගවලට අවශ්‍ය අවස්ථාවේ නියමිත ප්‍රමාණයට පෝෂණය ලබා දීම අත්‍යවශ්‍ය බව කිව යුතු ය. ආහාර සුරක්ෂිතතාව යනු සංකල්පයක් බව අප අවබෝධ කරගත යුතු ය. එම සංකල්පය කරා ළඟාවීමට බලපාන ගැටලු ගණනාවක් ඇත. මිනිසාගේ අවශ්‍යතාව පරිදි සෑම අවස්ථාවකදී ම තමන්ට කැමති ආහාර සුලභ විය යුතු බවත් ඒවා කෙරෙහි පහසුවෙන් ළඟා වීමට හැකි විය යුතු බවත් මිල ගණන් අඩු විය යුතු බවත් ආහාර සුරක්ෂිතතාව යන සංකල්පයෙන් අදහස් වේ. එසේ ලබා ගත හැකි ආහාර සෞඛ්‍යාරක්ෂිත බවින් හා පෝෂණ ගුණයෙන් අනූන විය යුතු බව ද එයින් තවදුරටත් ප්‍රකාශ වේ. ලොව සෑම රටක් ම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කටයුතු කරන අතර එය අත්නොහරින ප්‍රයත්නයකි. ශ්‍රී ලංකාවත් ඒ වෙනුවෙන් කාලයක් තිස්සේ කටයුතු කරමින් සිටියි.
පොහොර සුලභ කිරීමේ වැදගත්කම
ඕනෑම රජයක ප්‍රමුඛ වගකීම වන්නේ තමන්ගේ ජනතාවගේ ආහාර අවශ්‍යතා පිරිමැහීම ය. කෘෂිකර්මාන්තයෙන් පමණක් අපට ආහාර සුරක්ෂිතතාව සපුරා ගත නොහැකි ය. ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් කෘෂිකර්මාන්තයේ දායකත්වය උපරිම මට්ටමට ගෙන ඒම අපගේ උත්සාහය විය යුතු ය. මේ අවස්ථාවේ දී කෘෂිකර්මය කරගෙන යෑමට අවැසි මූලික යෙදවුම් සුලභ කිරිම රජයේ ප්‍රධාන කර්තව්‍ය විය යුතු ය. එහෙත් එම යෙදවුම්වල මිල ගණන් මේ වෙද්දි ඉහළ ගොස් ඇත. පවතින යුද ගැටුම් හා රුපියල පිරිහීම හමුවේ ඒවායේ මිල ගණන් තවත් වැඩිවීමට ඉඩ තිබේ.
පොහොර නොමැතිවීම යන අවිනිශ්චිතතාවට යනවාට වඩා දැරිය හැකි මිලකට ලබා ගත හැකි වන පරිදි පොහොර සුලභ කිරීම ඉතා වැදගත් වේ. මෑතකදී වත්මන් ආණ්ඩුව ඒ සඳහා උත්සාහයක් ගත්ත ද එහි එක් සෘණාත්මක පැතිකඩක් තිබිණ. එනම්, පොහොර බෙදා හැරීම සම්බන්ධයෙන් උද්ගත වූ ප්‍රශ්නය යි. යල කන්නයේ වී, බඩඉරිඟු සහ එළවළු වගාවලට අවශ්‍ය යූරියා පොහොර ගෙන්වීමට හැකියාව තිබුණ ද කවර හෝ හේතුවක් මත එය සිදු නොවීය. ගොවි ජනතාව නගන මැසිවිලිවලින් පැහැදිලි වන්නේ අව්‍යශ අවස්ථාවේදී ඔවුන්ට පොහොර නොලැබී ඇති බව ය.
පොහොර තිබීම වගේම අවශ්‍ය අවස්ථාවේදී ඒවා භෝගවලට යෙදීම අත්‍යවශ්‍ය බව කිව යුතු ය. මෙවැනි අවස්ථාවක දී රජය ඉතාම කල්පනාකාරීව කටයුතු කළ යුතු ය. අවශ්‍ය අවස්ථාවේ ගොවි ජනතාව වෙත පොහොර ලැබීම සහතික කළ යුතු ය. මේ යල කන්නයේ දී පොහොර බෙදාහැරීම සම්බන්ධයෙන් යම් දුර්වලතාවක් පැන නැගී ඇති බව පැහැදිලි ය. එය මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතු ය. පවතින ගැටුම්කාරී ගෝලීය පරිසරය ඉදිරියට යෑමට ඉඩ ඇති බැවින් එළැඹෙන මහ කන්නය ගැන ගැඹුරින් සිතීම වැදගත් වේ. යූරියා මෙට්‍රික් ටොන් විසි දහසක් කල්තියාම ආනයනය කිරීමට රාජ්‍ය මැදිහත්වීමක් තිබිණ. ඒවා මෙරටට ළඟා වෙනවිට මිල කොපමණ වේදැයි නිශ්චිතව කිව නොහැකි ය. ගෝලීය අර්බුදය ඉක්මනින් අවසන් නොවුණ හොත් පොහොර මිල තවත් ඉහළ යනු ඇත. එයින් ආහාර නිෂ්පාදනය අඩුවීමට බලපෑම් ඇති කරයි. එවැනි තත්ත්වයක දී සිදුවන්නේ ආහාර මිලදී ගැනීමට තරම් ප්‍රමාණවත් මුදල් ජනතාව සතු වුවත් අවශ්‍ය ප්‍රමාණයට ආහාර ලබා ගත නොහැකි වාතාවරණයක් උද්ගත වීම ය.
පෝෂණය නැති වීම නිවැරදි කළ නොහැකි වරදක්
ආහාරවල පෝෂණය ගැන ද සැලකිලිමත් විය යුතු ය. අඩු පෝෂණ ආහාර ගැනීම මගින් ප්‍රෝටීන් ඌනතාවක් ඇති වුව හොත් එහි සෘණාත්මක බලපෑම් දැකිය හැකි වන්නේ තවත් වසර කිහිපයකිනි. එය නිවැරදි කළ නොහැකි වරදක් බවට පත් වනු ඇත. එබැවින් මේ ගැන බැරෑරුම් ව සිතිය යුතු ය. ආහාර සුරක්ෂිතතාව යන සංකල්පයෙහි පෝෂණ ගුණය අන්තර්ගත වේ. ඒ ගැන අවධානය යොමු කරමින් ගොවි ජනතාවට අවැසි අමුද්‍රව්‍ය හා යෙදවුම් ලබා දීම වැදගත් වේ. කුඩා දරුවන්, ගර්භණී මව්වරුන් සහ කිරි දෙන මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතා ගැන ද සාවධාන විය යුතු ය. එහිදී කෘෂිකර්මාන්තයට සම්බන්ධ ආයතන මනා සම්බන්ධීකරණයකින් යුක්තව ක්‍රියාත්මක වීම අවැසි ය. ගොවි ජන සේවා මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන්නේ ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව යටතේ ය. එම මධ්‍යස්ථාන ඔස්සේ ගොවීන් වෙත අවශ්‍ය පොහොර ලබා දීම නිසියාකාරව ක්‍රියාත්මක නොවන්නේ නම් ආයතනික ව්‍යහුයේ සම්බන්ධීකරණයේ ප්‍රශ්නයක් ඇති බව ගම්‍ය වේ.
ගෝලීය අර්බුදය හමුවේ කෘෂිකාර්මික යෙදවුම් අපනයනය කරන රටවල් ඒවා සීමා කර තිබේ. 2025 දී මෙරටට ගෙන්වන ලද සමස්ත යූරියා ප්‍රමාණයෙන් සියයට 57 ක් ගෙන්වන ලද්දේ චීනයෙනි. එහෙත් චීනය මේ වෙද්දි පොහොර අපනයනය දැඩි ලෙස සීමා කර ඇත. ඒ, ඔවුන්ගේ ආහාර සුරක්ෂිතතාව සහතික කිරීමටත් පොහොර මිල ඉහළ යෑම වැළැක්වීමටත් ය. ඉන්දියාව මීට ඉහතදීත් තමන් නිපදවන ආහාර ද්‍රව්‍ය අපනයනය කිරීමේදී නොයෙකුත් සීමා ක්‍රියාවට නැංවූයේ ය. මේ සන්දර්භයේ ඉන්දියාවෙන් ඇතැම් ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ දී බරපතළ අපහසුතාවලට අපට මුහුණ දීමට සිදු වනු ඇත. මේ ආකාරයේ අවිනිශ්චිත ගෝලීය පරිසරයක් හමුවේ රටේ කෘෂිකර්මාන්තය හැකි පමණින් උපරිම මට්ටමට ගෙන ඒම වැදගත් වේ. රටේ සෑම බිම් අඟලකම වගා කළ යුතුය යන අදහසින් වනාන්තර පවා එළිපෙහෙළි කරමින් කරන ගොවිතැනක් එයින් අදහස් වන්නේ නැත. කොරෝනා වසංගතය කාලයේ ගෙවතු වගාව ප්‍රවර්ධනය කිරීමට ගත් අවිචාරාත්මක උත්සාහය අපට මතක ය.
ගෙවතු වගාවල සැබෑ අරමුණු
ගෙවතු වගාවක ප්‍රමුඛ අරමුණ වන්නේ ආහාර වේලේ පෝෂණ ගුණය වැඩි කළ හැකි තමන්ට වගා කළ හැකි දේවල් වගා කිරීම ය. එසේම එය සැමට එක සමානව කළ හැකි දෙයක් ද නොවේ. තමන්ගේ ගෙවත්තේ හෝ මහල් නිවාසවල ඉඩ ඇති පරිදි වගා කළ හැකි ය. වගා සංග්‍රාම විවිධ කාලවලදී ක්‍රියාත්මක කරනු ලැබී ය. බත් ප්‍රධාන ආහාරය නිසා වී වගාවේ නිෂ්පාදකතාව අඩු වුවහොත් එයින් රටට බලවත් පහරක් එල්ල වේ. එබැවින් එය ද සැලකිල්ලට ගනිමින් වගා සංග්‍රාමය මනා සැලසුමක් ඇතුව ක්‍රියාත්මක කළ යුතු ය. අපට ඇති විශාල වාසිය වන්නේ බිත්තර වී අප විසින් ම නිර්මාණය කර ගනු ලැබීම ය.
ඉන්දියානු සාගරයේ ද්වී ධ්‍රැව තත්ත්වයක් ඇති වෙයි ද?
එල්නිනෝ යනු වායුගෝලයේ සිදු වන ස්වාභාවික වෙනසකි. එයින් සිදු වන්නේ පැසිෆික් සාගරයේ නැගෙනහිර කලාපයේ නැතිනම් දකුණු ඇමෙරිකානු කලාපයේ පැසිෆික් සාගරයේ මතුපිට ජලයේ උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා වැඩිවීම ය. එවැනි එල්නිනෝ තත්ත්වයකදී දකුණු ඇමෙරිකානු කලාපයේ රටවලට තදබල වර්ෂාවක් ඇතිවීමට සහ ඕස්ට්‍රේලියාව සහ ඉන්දුනීසියාව ඇතුළත් කලාපවලට නියඟයක් ඇතිවීමට ඇති සම්භාවිතාව ඉහළ ය.
එල්නිනෝ වසර 500 ක කාලයක සිට ඇති වුවත් මෙවර උග්‍ර එල්නිනෝ තත්ත්වයක් උද්ගත විය හැකි බවට කාලගුණ අංශ අනාවැකි පළ කරයි. එහි බලපෑම පිළිබඳ කරන තක්සේරුවක දී එල්නිනෝ තත්ත්වය ගැන පමණක් අවධානය යොමු කරමින් පුරෝකථන ලබා දිය නොහැකි ය. 1999 දී සොයා ගෙන ඇති පරිදි බොහෝ අවස්ථාවලදී එල්නිනෝ තත්ත්වවලට සමගාමීව ඉන්දියානු සාගරයේ ද්වී ධ්‍රැව තත්ත්වයක් (Indian Ocean Dipole) මතු වේ. ඉන්දියානු සාගරයේ ද්වී ධ්‍රැව තත්ත්වයක දී සිදුවන්නේ පැසිෆික් සාගරයේ සිදුවන්නාක් මෙන් ඉන්දියානු සාගරයේ බටහිර ප්‍රදේශයට වන්නට සමකයට ආසන්නව සාගර මතු පිට උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහළ යෑම නිසා අධික වර්ෂාපතනයක් පතිත වීමට ඇති හැකියාව යි.
ඇහැළ පුස්ස තත්ත්වය ඉහළ යෑමේ අවදානමක්
හිටපු ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයකු වන ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ස්වාභාවික සම්පත් කළමනාකරණ ආයතනයේ සේවය කරන ආචාර්ය අරුණි අබේසේකර සහ මා විසින් මේ ආකාරයේ ද්වී ධ්‍රුව තත්ත්වයක් පිළිබඳව කරන ලද පර්‌යේෂණයක දී හෙළි වූයේ එල්නිනෝ තත්ත්වයක් ඇති වූ විට ඉන්දියානු සාගරයේ ද්වී ධ්‍රුව තත්ත්වය ධනාත්මක වීමට ඉහළ සම්භාවිතාවක් ඇති බව ය. සෑම වසරක ම මැයි මාසයේ සිට නිරතදිග මෝසම් සුළං ලැබේ. එම සුළං ජුනි මාසයේ උපරිමයට යන අතර ඉන්පසු ක්‍රමයෙන් අඩු වේ. එහෙත් එල්නිනෝ තත්ත්වයක් ඇති වූ විට එම සුළං ශීඝ්‍රයෙන් ක්ෂීණ වී යා හැකි ය. ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වියළි කාලගුණ තත්ත්වයක් උද්ගත විය හැකි යැයි කියන්නේ මේ සංසිද්ධිය නිසා ය.
වී වගා කරන ගොවි ජනතාව ඇහැළ පුස්ස නමින් යෙදුමක් වහරති. ඇහැළ යන්නෙන් ජූලි මාසය අදහස් වන අතර පුස්ස යනු හිස් බවට පර්යාය පදයකි. ජූලි සිට අගෝස්තු දක්වා කාලයේ අධික උෂ්ණත්වයක් පැවතීම හේතුවෙන් වී වගාවේ පරාග වියළී ගොස් ලැබෙන අස්වැන්න අඩු වේ. වී ඇට පෙනෙන්නට තිබුණ ද එහි ඇතුළත බොල් ය. අදාළ කාලයේ දී ගොවීන්ගෙන් ලැබෙන වී අස්වනුවල වී ඇට බොල් බවට මෝල් හිමියෝ ද චෝදනා කරති.
මෙම වසරේ එම තත්ත්වයේ ඉහළ යෑමක් අපේක්ෂා කළ හැකි ය. එනම්, ඇහැළ පුස්ස තත්ත්වය වඩා තීව්‍ර වීමට ඉඩ ඇති බව ය. නිරතදිග මෝසම ඉක්මනින් අවසන් වුව හොත් පස වියළීමට ලක් වේ. උෂ්ණත්වය වැඩි වූ විට ජලාශවල තිබෙන ජලය වාෂ්ප වීමට පටන් ගනී. මේ නිසා ජලය කළමනාකරණය මනා පරෙස්සමකින් කළ යුතු ය. ඒ සඳහා කෘෂිකර්මය, ජල විදුලය ආදී සෑම අංශයක් ම නියෝජනය කරන ආයතන සම්බන්ධීකරණයක් සහිතව කටයුතු කිරීම වැදගත් වේ. උද්ගත විය හැකි මේ තත්ත්ව ගැන මනා අවබෝධයෙන් යුතුව කටයුතු කර ගොවි ජනතාවට අවශ්‍ය වේලාවට පොහොර ආදී පහසුකම් සැපයුවහොත් අවදානම අවම කරගනිමින් ඉදිරි ගමනක් යා හැකි ය.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd