ජීවිතයට සරණක් ඇවැසි පිරිසක් නේවාසිකව සිටි සෙනෙහසේ කැදැල්ලක් අනපේක්ෂිත අයුරින් අළු ගොඩක් බවට පත්වු පුවත රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර ගියේ නිමේෂයකිනි.

කළුතර දිසාවේ අඟුරුවාතොට - බටගොඩ“සෙනෙහසේ කැදැල්ල” නිවාසයේ ඇති වූ මාරක ගින්නෙන් ජීවිත දහතුනක් නිවී ගිය අතර, තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

එම ඛේදවාචකයත් සමගම බොහෝ පිරිස්වල අවධානය යොමු වූයේ එහි නිවැසියන්ගේ ජීවිතවල සහ එහි පරිපාලනයේ වගකීම් භාරව සිටි ඉසුරු අනුෂ්ක අය වෙතය. සිද්ධියත් සමග සමාජය තුළ විවිධ අදහස්, විවේචන සහ කතාබහ ගොඩනැගෙමින් තිබේ.

කෙසේ වෙතත් ගින්නක් ගැන කතාකිරීම යනු ගිනිදැල් ගැන පමණක් කතාකිරීම නොවේ. එය එම ගිනිදැල් අතර අහිමි වූ ජීවිත, බලාපොරොත්තු, බැඳීම් සහ කඳුළු ගැන කතා කිරීමකි. සමාජ මාධ්‍යවලත්, වීදි මංසන්ධිවලත්, නීතිමය ක්‍රියාමාර්ගවලත් කතාබහට ලක්වූ මේ සිදුවීම පිටුපස තිබූ සත්‍ය කතාව කුමක් ද?

මේ පිළිබඳ වං හුං සොයා ගිය අප ප්‍රථමයෙන් කතාබහ කළේ එම නිවාසයේ වසරක් පමණ සේවය කළ හිටපු පාලිකාවක වන අනූ දිව්‍යාංජලී සමගය.

“මිනිස්සු දැන් දකින්නේ ගින්න විතරයි. ඒත් ඒ ගින්නට කලින් එතන ජීවත් වුණු මිනිස්සුන්ගේ කතා ගොඩක් තිබුණා...” යැයි ඇය සංවේදී හඬකින් පැවසුවාය.

ඇයගේ කතාව ආරම්භ වූයේ චෝදනා හෝ විවේචනවලින් නොව, එම නිවසේ ජීවත් වූ අසරණ මිනිසුන්ගේ මතකයන් ගෙනි. දරුවන් විසින් අත්හැර දමා ගිය මව්වරුන්, තමන්ගේම නම පවා අමතක වූ වයෝවෘද්ධයන්, ලෝකයෙන් ආදරයක් සොයමින් එහි පැමිණි විවිධ ජීවිත කතා එම බිත්ති අතර සැඟවී තිබූ බව ඇය සිහිපත් කළාය. ඒ අතරින් සමහරුන්ගේ අවසන් හුස්ම පවා ගිනිදැල් අතර නිවී ගිය බව සිහිවූ විට ඇයගේ දෑස් කඳුළින් තෙත් විය.

බටගොඩ සෙනෙහසේ කැදැල්ල පිළිබඳව අද රටම කතා කරයි. නමුත් එහි ඇතුළාන්තය දන්නේ ඉතා සුළු පිරිසකි. ගින්නෙන් පසු ඉතිරිව ඇත්තේ දැවී ගිය බිත්ති සහ නෛතික ලියැවිලි ගොනු පමණක් නොව, උත්තර නැති ප්‍රශ්න රැසකි.

“මම පවුලේ එකම දරුවා. මගේ අම්මට හිටියේ මම විතරයි. මම රැකියාව කරන අතරතුරේ අම්මව දෙන්නෙක් බලාගත්තා. දවසක් අම්මා වැටිලා උකුල් ඇටය බිඳුණා. ඊට පස්සේ අම්මව බලාගන්න අමාරුයි කියලා ඒ අය මට කිව්වා. ඒ වෙද්දී මම ලොකු අයියාගේ (ඉසුරුගේ) වීඩියෝ බලලා තිබුණා. දවසක් මම ලොකු අයියට කතා කරලා ඇත්තම විස්තරය කිව්වා. මගේ තත්ත්වය, අම්මගේ තත්ත්වය, මට තියෙන ප්‍රශ්න ඔක්කොම කිව්වා.අම්මවත් අරගෙන එන්න, ඒ ගමන් ඔයා කැමති නම් මෙතන පාලිකාව විදිහට රැකියාව කරන්නත් පුළුවන්” යැයි හෙතෙම ප්‍රකාශ කළ බව අනූ කියා සිටියාය.

එම වචන ඇයට එදා සහනයක් ගෙන ආ බව ඇය පවසයි. තම මවගේ රැකවරණය ගැන තිබූ කනස්සල්ලත්, රැකියාවක් පිළිබඳව තිබූ අවිනිශ්චිතභාවයත් එකවර ලිහිල් වූ බව ඇයගේ මතකයයි.
“ඒ යෝජනාවත් එක්ක මම ගොඩක් සතුටු වුණා. ඒ වෙද්දී අම්මයි මමයි හිටියේ රත්නපුරේ. දින කීපයකට පස්සේ මම රත්නපුරේ ඉඳලා අම්මවත් අරගෙන සෙනෙහසේ කැදැල්ලට ආවා.” ඇය කීවාය.

අනූ දිව්‍යංජලී සෙනෙහසේ කැදැල්ලට පැමිණෙන විට එහි නේවාසිකව සිටියේ පුද්ගලයන් 15ත් 16ත් අතර පිරිසක් බව ඇය සිහිපත් කළාය. ඒ සියලු දෙනා පාහේ කාන්තාවන් වූ අතර, ඔවුන් අතර වයෝවෘද්ධ මෙන්ම විවිධ රෝගාබාධවලින් පෙළුණු අයද සිටි බව ඇය පැවසුවාය.

“මම එනකොට එතැන 15ක් 16ක් වගේ පිරිසක් හිටියා. ඔක්කොම වගේ කාන්තාවෝ. සමහරු වයසක අය. තවත් සමහරු ලෙඩ රෝග නිසා අනිත් අයගේ උදව් ඕනෑ කරන අය.අම්මව ඇතුළත් කරද්දී පෝරමයක් පිරෙව්වා. ඒකෙ අම්මගේ විස්තර වගේම භාරකරු විදිහට මගේ විස්තරත් දාලා තිබුණා. නම, ලිපිනය, දුරකථන අංක වගේ හැම දෙයක්ම ගත්තා. සාමාන්‍ය නිවාසයක කරන විදිහටම තමයි ඒ වැඩේ සිද්ධ වුණේ.”  තවදුරටත් කීවාය.

ඇයගේ මතකයේ හැටියට එහි සිටි අනෙකුත් නේවාසිකයන් සම්බන්ධයෙන්ද එවැනිම තොරතුරු ගොනුගත කර තිබූ අතර, ඔවුන් භාර දුන් ඥාතීන් හෝ වගකීම් භාර පුද්ගලයන්ගේ තොරතුරුද සටහන් කරගෙන තිබුණි. එම නිසා නිවසේ සිටි බොහෝ දෙනා පිළිබඳව අවම වශයෙන් මූලික හඳුනාගැනීමේ තොරතුරු පවත්වාගෙන ගිය බව ඇයගේ අදහස විය.

කෙසේ වෙතත් එම ලේඛනගත තොරතුරු සහ නිවසේ දෛනික කටයුතු අතර සැබෑ ජීවිතය ගෙවුණේ ලිපිගොනු අතර නොව, විවිධ දුක්ඛ දෝමනස්සයන් පොදි බැඳ ගෙන එහි පැමිණි මිනිසුන් අතරය. ඔවුන් ගෙන් ඇතැමුන්ට දරුවන් සිටිය ද, රැකවරණයක් නොතිබුණි. තවත් සමහරුන්ට ඥාතීන් සිටිය ද, අවසන් කාලයේ රැකබලාගැනීමට කෙනකු නොසිටි බව අනූගේ අවබෝධයයි. ඒ නිසාම සෙනෙහසේ කැදැල්ල බොහෝ දෙනකුට නිවසක් පමණක් නොව, අහිමි වූ පවුලක් වෙනුවට ලැබුණු අවසන් රැකවරණය බවට පත්ව තිබුණි.

බටගොඩ මෙම සෙනෙහසේ කැදැල්ල ගැන කතිකාවට ලක් කෙරුණු මූලික කාරණාවක් වූයේ එය නිසි ලෙස ලියාපදිංචි නොවූ ආයතනයක්ය යන්න පිළිබඳව ය. ඒ ගැන අදාළ නිලධාරීන් ද අනාවරණය කරනු ලැබුවේ ඛේදවාචකය සිදුවීමෙන් පසුවය.

එහෙත් එහි දෛනික කටයුතු සමීපව දැක ඇති අයකු ලෙස, වසරකට ආසන්න කාලයක් එහි පාලිකාවක ලෙස කටයුතු කළ අනූ ඒ ගැන  මෙසේ කියා සිටියාය.

“මම සේවයට එක් වෙන විට මේ ආයතනය ලියාපදිංචි නොවූ වැඩිහිටි නිවාසයක් බව දැනගෙන හිටියේ නෑ. එතන වෑඩ කරද්දී අනිත් පාලිකාව ගෙන් මම ඒ ගැන ඇහුවා. නිවාසයක් දාලා ලියාපදිංචි වෙන්න අවුරුදු තුනක්වත් යනවා කියලයි එයා කිව්වේ. හැබැයි ලොකු අයියගේ තාත්තා වසර විසි ගානක් තිස්සේ පවත්වාගෙන ආපු නිවාසයයි මේ පවත්වා ගෙන යන්නේ කියලයි මම හිතාගෙන හිටියේ. ඒ නිසා ඒ ගැන මම වැඩිය දැනුවත් නෑ.” අනූ පැවසුවාය.

ඇය පවසන ආකාරයට, නිවාසයේ රැකවරණ කටයුතු සඳහා ඇයට අමතරව තවත් පාලිකාවක ලෙස චන්ද්‍රිකා නමැති කාන්තාවක් කටයුතු කළාය. එහෙත් තමාට එහි රැකියාව කිරීමට මූලිකව හේතු වූයේ වැටුප නොවන බව අනූ අවධාරණය කළාය.

“මම වැටුපක් බලාපොරොත්තු වුණේ නැහැ. මගේ මුලික අරමුණ වුණේ මගේ අම්මව සනීප කරගන්න එකයි. ඒත් එතනට ගියාට පස්සේ රැකියාවට වඩා මේ මිනිස්සුන්ට යමක් කරන එක වටිනවා කියලා මට හිතුණා. මනුස්ස ලෝකය ඇතුළේ මේ වගේ මිනිස්සු ජීවත් වෙනවද කියලා මට හිතුණා. තමන්ට තමන්ගේ දෙයක්වත් කරගන්න බැරි අය හිටියා. කතා කරන්න බැරි අය හිටියා. කියන දේ තේරෙන්නේ නැති අය හිටියා. සමහර මානසික ආබාධ තියෙන අයව පාලනය කරන්නත් බැහැ. ගෙවල්වලට බලාගන්න බැරුව තමයි ඒ අය ගෙනත් දාලා තිබුණේ.”  

ඇයගේ මතකයේ රැඳී ඇත්තේ එහි සිටි බොහෝ දෙනා මානසික ආබාධවලින් පීඩා විඳි පුද්ගලයන් බවයි. ඔවුන් ගෙන් සමහරුන්ට තම නම පවා මතක නොතිබූ අතර, තවත් සමහරුන්ට තමන් සිටින්නේ කොතැන ද යන්නවත් අවබෝධයක් නොතිබුණු බව ඇය කීවාය. එවැනි පුද්ගලයන්ගේ ආහාරපාන, පිරිසිදුකම, බෙහෙත් ලබාදීම සහ දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අනෙකුත් අයගේ රැකවරණය මත රඳා පැවතුණි.

මේ නිසා සෙනෙහසේ කැදැල්ල ඇයට හුදෙක් රැකියා ස්ථානයක් නොවීය.    ආදරය හා රැකවරණය අයැදිමින් සිටි මිනිසුන් වෙනුවෙන් සරණක් වීමේ අදිටනින් ඒකාත්මික වූ ලෝකයක් විය.
ඒ ලෝකය තුළ ඒ යක්ෂයාගේ නිමේෂය සිහියට නංවන්නේ, වේදනාවෙන් පිරි හඬිනි.  

මනුෂ්‍යත්වය පිළිබඳ බොහෝ දේ ඉගෙන ගත් සෙනෙහසේ කැදැල්ලට පැමිණි මුල් දිනවල දී අනූ එහි නේවාසිකයන් සමග වහාම සමීප සබඳතාවක් ගොඩනඟා ගැනීමට උත්සාහ කළේ නැත. ඒ වෙනුවට ඇය කළේ නිහඬව ඔවුන්ව නිරීක්ෂණය කිරීමය. ඔවුන්ගේ හැසිරීම්, අවශ්‍යතා, සතුටු වන දේවල්, බිය වන දේවල් සහ ඔවුන්ගේ නිහඬ වේදනා තේරුම්ගැනීමට ඇය උත්සාහ කළාය.

දිනෙන් දින ඔවුන් අතර ජීවත් වෙද්දී ඇයට වැටහුණේ, ශාරීරික හෝ මානසික ආබාධ කුමක් තිබුණත් ඒ සෑම හදවතක් තුළම එකම බලාපොරොත්තුවක් ජීවත් වන බවයි. ඒ ආදරය, කරුණාව, සෙනෙහස සහ පිළිගැනීම සඳහා වූ බලාපොරොත්තුවයි.

“මුලින්ම මම කාත් එක්කවත් ලොකුවට කතාබහ කළේ නැහැ. මම ඒ අය දිහා බලාගෙන හිටියා. එතකොට මට තේරුණා ඒ හැමෝටම ඕන වෙලා තිබුණේ ආදරය කියන දේ කියලා. කෙනෙක් ඇවිත් කතා කරනවට, හිනා වෙනවට, අත අල්ලනවට පවා ඒ අය ගොඩක් සතුටු වුණා.” අනූ වැඩිදුරටත් පැවසුවාය.

ඒ තේරුම් ගැනීමත් සමගම ඇය උත්සාහ කළේ පාලිකාවකගේ වගකීම ඉක්මවා ගොස්, එම මිනිසුන්ට මානුෂීය සෙනෙහසක් ලබා දීමටය. ඔවුන්ට ආහාර ලබාදීම, බෙහෙත් දීම හෝ දෛනික කටයුතු කිරීම පමණක් නොව, ඔවුන් සමග කතා කිරීම, සිනාසීම සහ ඔවුන්ට තනි නොවන බව දැනෙන්නට සැලැස්වීමද ඇයගේ දෛනික ජීවිතයේ කොටසක් වී තිබුණි.
එහෙත් ඒ ජීවිතය පහසු එකක් නොවූ බව ඇය කියා සිටියාය.

“පාලිකාවෝ විදිහට අපට සුවදායී නින්දක් තිබුණේ නැහැ. අපි හැමදාම උදේ පහමාරට නැගිට්ටා. ඒ මොහොතේ ඉඳන් නිවාසයේ හිටපු හැමෝවම නාවලා, මුහුණ සෝදලා, පිරිසිදු කරලා ලෑස්ති කළා.හැමදාම උදේ අට වෙද්දී අපි ඒ දරුවන්ට තේ දුන්නා. ඊට පස්සේ තමයි අනිත් වැඩ පටන් ගත්තේ.” යැයි ඇය සඳහන් කළාය.

ගින්නෙන් පසු සමාජ මාධ්‍යවල සහ ඇතැම් පාර්ශ්වවලින් එල්ල වූ එක් චෝදනාවක් වූයේ, නේවාසිකයන්ට සැලකිලි දක්වා ඇත්තේ කැමරා ඉදිරියේ දී පමණක් බවයි. එහෙත් අනූ එම චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

“කවදාවත් මිනිස්සු යන එන දානමාන දෙන දවස්වල දී විතරක් නොවෙයි අපි ඒ අයව පිරිසිදු කළේ. දිනපතාම අපි ඒ වැඩේ නියමාකාරව කළා. එය අපේ දින චරියාවේ කොටසක්. ලොකු අයියා වීඩියෝ කරද්දී විතරක් එයාලව ලස්සන කළා කියන එක බොරුවක්. සාමාන්‍ය ජීවිතෙත් ඒ අය සතුටින් හිටියා. ඒක කැමරාවට විතරක් නෙමෙයි. එතනට ආපු අය ඒක දන්නවා.ඒ අයට රඟපාන්න කියලා එහෙම පුරුදු කරලා තියන්න පුළුවන් අය නෙමෙයි. ඒ අය මානසික ආබාධ තියෙන අය.” ඇය ඒ අයුරින් දැඩිව කියා සිටියාය.

මෙම සිදුවීමෙන් පසු නිවාසය පිළිබඳව සමාජයේ තවත් බරපතළ චෝදනාවක් ලෙස මතු වූයේ එහි පිරිසිදුකම සහ සනීපාරක්ෂක තත්ත්වය පිළිබඳ කාරණාවය. එහෙත් ඒ සම්බන්ධයෙන් අප කළ විමසීමේදී, අනූ  පිළිතුරු දුන්නේ දැඩි වේදනාවකින් යුතුවය. ඇය පවසන්නේ එම චෝදනා පිටුපස සමාජයට නොපෙනෙන, නමුත් දෛනිකව මුහුණ දීමට සිදුවූ අතිශය අසීරු යථාර්ථයක් තිබූ බවය.

“ඇත්තම දේ ඇත්ත විදිහටම කියන්නම්. මේ අයගෙන් බොහෝ දෙනෙක් තමන්ගේම ඇඟේ මලමුත්‍ර කරගත්තා. ඒක නවත්තන්න පුළුවන් තත්ත්වයක් නෙවෙයි. සමහරුන්ට තනිවම නැගිටින්නවත් බැහැ. එක ආච්චි කෙනෙක් හිටියා, ඇවිදින්න බැහැ. හරි හිතුවක්කාරයි. බිමට බැහැලා පස්සෙන් පස්ස උලාගෙන යනවා. මෙල්ල කරගන්න හරි අමාරුයි. එයාව කාටවත් අල්ලන්න දෙන්නේත් නැහැ. මලමුත්‍ර කරද්දීත් කුණුහරුප කියනවා, හැමතැනම ඒවා ගානවා. එසේ තිබියදී පවා අපි ඉවසීමෙන් හැම කටයුත්තක්ම සිදු කළා.”  

“බහුතරයක් කොමඩ් එකෙන් පිටතට මලමුත්‍රා කළා. සමහරු වැසිකිළියට යන තැනම කළා. සමහරු බිත්තිවලටත් මුත්‍රා කළා. එයාලට ඒ දේවල් කරන්න තැනක්වත්, වෙලාවක්වත් තිබුණේ නැහැ. සමහරු බත් කන ගමන්මත් එහෙම තත්ත්වයට පත් වුණා. ඒවා දකිනකොට හරිම දුකයි,

අපි සමහර වෙලාවට පෑම්පස් අන්දවලා තියෙනවා. නමුත් ඒකෙන් ඇඟ තෙමෙනවා. සමහරුන්ට රෑෂ් ආවා. මානසික ආබාධ තියෙන අයට එහෙම රෑෂ් ආවම ඒක හරිම වේදනාවක්.”

ගින්නෙන් පසුව සමාජයේ වැඩිම කතාබහට ලක්වූ කාරණාවලින් තවත් එකක් වූයේ, නිවාසයේ සිටි පිරිස දම්වැල් හෝ ලණුවලින් බැඳ තබා තිබුණේය යන්නය. විශේෂයෙන්ම ගින්නෙන් බේරී පැනයාමට ඇතැම් නේවාසිකයන්ට නොහැකි වූයේ එසේ බැඳ තැබීම නිසා ද යන කරුණ ද කතාබහට ලක්විය.

ඒ  පිළිබඳව අප කළ විමසීමේදී අනූ  පිළිතුරු දුන්නේ සංවේදී ස්වරයකිනි.

“මම එහේ හිටපු කාලයේ දී නම් කවදාවත් කාවවත් දම්වැල් වලින් ගැට ගහලා තිබුණේ නැහැ. ලොකු අයියා කවදාවත් ඒ අයව දම්වැල්වලින් ගැට ගහන්න කියලා කිව්වේත් නැහැ. මම ඉන්න කාලයේදී එහෙම දම්වැල් තිබුණෙවත් නැහැ. යම්කිසි කෙනෙක්ව ගැට ගැහුවා නම් ඒ එයාව පාලනය කරගන්න බැරිම තැනයි. සමහර අවස්ථාවල ඒ අයගේ හැසිරීම හරි දරුණුයි. මම ඉන්න කාලයේදී අනන්තවත් ඒ අයගෙන් ගුටි කාලා තියෙනවා. ඒ වගේ වෙලාවට ඒ අයට පුදුම ශක්තියක් එනවා. මට හරිම දුකයි සේනාධී අද ජීවතුන් අතර නැති එක ගැන. සමහර වෙලාවට එයා හරිම දරුණුයි. මෙල්ල කරන්නම බැහැ. ඒත් සේනාධී කියන්නේ හරිම හුරතල්, අහිංසක දරුවෙක්. මට එයා කිව්වේ ‘චූටි අක්කේ කියලා. අමානුෂික විදිහට අපි කවදාවත් එයාලව ගැට ගහලා නැහැ. යම් වෙලාවක ගැට ගැහුවත් ඒක පැය ගණන්, වරු ගණන් නෙවෙයි. එයා සාමාන්‍ය තත්ත්වයට ආවාට පස්සේ අපි ලිහනවා.බොහෝ වෙලාවට ගැට ගැහුවේ රෙදි පටියකින්. මම ඉන්න කාලේදී නම් කවදාවත් දම්වැල්වලින් ගැට ගහලා තිබුණේ නැහැ.” ඈ අවධාරණය කළාය.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් චරිත කිහිපයක් සෙනෙහසේ කැදැල්ල තුළ ජීවත් වූහ. සුනීතා, අමාලි, සේනාධි, සමීර වැනි අය ඔවුන් අතරින් විශේෂ වූහ. වීඩියෝ දර්ශන හරහා ඔවුන්ව දුටු බොහෝ දෙනෙකුට ඒ චරිත ආදරණීය මතකයන් වුවද, වසරකට ආසන්න කාලයක් ඔවුන් සමග එකම වහලක් යට ජීවත් වූ අනූට ඔවුන් හුදෙක් වීඩියෝවක පෙනෙන චරිත නොව, තම ජීවිතයේම කොටසක් වූ මිනිසුන්ය.

“ඒ මතකයන් ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැහැ.සුනීතා කියන්නේ ඔය නිවාසයේ හිටපු අහිංසකම අහිංසක චරිතයය. නිවාසෙට ළමයෙක් ආවත්, වැඩිහිටියෙක් ආවත් එයා හෙව්වේ ආදරය, සෙනෙහසයි. කෙනෙක් ආව ගමන් බදාගෙන පපුවට ඔළුව තියාගෙන, මූණ දිහා බලලා ඉඹින්න එයා හරි ආසයි. එයා ආදරේ ප්‍රකාශ කළේ එහෙමයි.එයාලත් එක්ක ඉද්දි මමත් දරුවෙක් වුණා. ඔළුවේ උකුණෝ නැතත් සුනීතලා, අමාලිලා, සේනාධිලා එකතුවෙලා  උකුණෝ බලනවා. ඒ අය හිතුවේ ඒක ආදරේ කියලා. හොඳට කතා කර කර ඉඳලා මම හැරිලා යද්දී පිට හරහා දඩාං ගාලා ගහපු වාර අනන්තයි. ඒ වෙලාවට රිදෙනවා. ඒත් අනිත් පැත්ත හැරිලා එයා දිහා බලද්දී, ඔළුව ඇල කරලා හිනා වෙනවා. එතකොට ඒ වේදනාව ඔක්කොම අමතක වෙනවා.” .

එහෙත් සේනාධිගේ ජීවිතයේ ලස්සනම කොටස වූයේ ඔහුගේ පියා පිළිබඳව තිබූ ආදරයයි. ඔහු තම පියා හඳුන්වා ඇත්තේ "තාත්තා" ලෙස නොව- “දොරයා” ලෙසිනි.

“සේනාධි එයාගේ තාත්තට කිව්වේ ‘දොරයා කියලා. ‘දොරයා හෙට එනවා චූටි අක්කේ... කොත්තු ගේනවා... බිත්තර ගේනවා... කියලා එයා හැම වෙලේම කියනවා.” අනූ කඳුළු අතරින් සිහිපත් කළාය.

එහි ජීවත් වූ සෑම නේවාසිකයකුටම තමන්ටම ආවේණික වූ පුංචි ලෝකයක් තිබුණි. ඒ ලෝකය සතුටු කිරීමට විශාල දේවල් අවශ්‍ය වූයේ නැත. කෑමක රසයක්, පුංචි තෑග්ගක්, ආදරණීය වචනයක් හෝ කෙනෙකුගේ අවධානය පමණක් ඔවුන්ගේ මුළු දවසම ආලෝකවත් කිරීමට ප්‍රමාණවත් විය.

“සේනාධි හරි ආසයි කොත්තුවලට. කවුරුහරි ‘කොත්තු ගේනවා කිව්වොත් එයාට ඒක ලොකු සතුටක්. අමාලි ආසම කළේ වටලප්පන්වලට. වටලප්පන් දැක්කම එයාගේ මූණේ එන සතුට කියලා නිම කරන්න බැහ. සුනීතා ආසම කළේ පබළු මාලවලටයි, වළලුවලටයි, බෑන්ඩ්වලටයි. ඒවා තිබුණොත් එයාට කන්න ඕනෙත් නැහැ. ඒවා අතේ දාගෙන, බෙල්ලේ දාගෙන, බල බල ඉන්නවා. ඒ තරම් සතුටු වෙනවා. ඔය මොන දේ තිබුණත් ඒ දරුවන් වැඩියෙන්ම බලාපොරොත්තු වුණේ ආදරය. කෙනෙක් ළඟට ඇවිත් කතා කරනවාට, අත අල්ලනවාට, ඔළුව අතගානවාට, බදාගන්නවාට ඒ අය හරි ආසයි. සමහර වෙලාවට කෑමකටත් වඩා ඒ අයට වටින්නේ ඒ ආදරයය.” යැයි ඇය සංවේදීව පැවසුවාය.

අද බටගොඩ සෙනෙහසේ කැදැල්ල ගැන කතා කරන විට බොහෝ දෙනාගේ මතකයට නැගෙන්නේ ගින්න, චෝදනා, අධිකරණය සහ විවාදයන්ය. එහෙත් ඒ සියල්ලට වඩා එහි ජීවත් වූයේ ලේ මස් ඇති, සිනාසුණු, අඬපු, ආදරය ඉල්ලපු මිනිසුන් පිරිසකැයි යන්න කිසිවෙක් අමතක කළ යුතු නැත.

කොත්තුවක් එන තුරු දොර දිහා බලා සිටි සේනාධි, වටලප්පන් කෑල්ලකින් ලෝකයම හිමිවූවාක් මෙන් සතුටු වූ අමාලි, පබළු මාලයක් බෙල්ලේ දාගෙන දරුවෙකු මෙන් සිනාසුණු සුනීතා, සියලු දෙනා දැන් දිවිමඩලෙන් සමුගෙනය. ඔවුන්ගේ ජීවිතවල විශාල බලාපොරොත්තු තිබුණේ නැත. ඔවුන් ඉල්ලුවේ කෙනෙකුට කිසිදු වියදමකින් තොරව ලබා දිය හැකි දෑ ය. ඒ ආදරය, කරුණාව සහ මනුස්සකමයි. අප හදෙහි ශේෂ කරගත යුත්තේ එයයි.

දිශානි ජයමාලි කරුණාරත්න