නිරිත දිග මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග මේ දිනවල ඩෙංගු වෛරසය පැතිර යාමේ අවදානම ඉහළ ගොස් ඇති අතර, මේ වනවිට ලංකාවේ වැඩි වශයෙන් ම ඩෙංගු රෝගීන් වාර්තා වූ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයකි.

"රෝගීන්ගෙන් සියයට පනහක්ම පමණ වාර්තා වෙලා තිබෙන්නෙ බස්නාහිර පළාතෙන්. කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර, මාතර, ගාල්ල දිස්ත්‍රික්කවලින් තමයි රෝගීන් වාර්තා වෙන්නෙ."

2026 වසරේ මුල් මාස පහ තුළ සිදුවූ ඩෙංගු වෛරසය නිසා වූ මරණ අතරෙන් 4 ක්ම ළමා මරණ වේ. වැඩිම මරණ අනුපාතයක් පවතිනුයේ වැඩිහිටි ප්‍රජාව අතරය.

ඩෙංගු වෛරසය ඩෙංගු 1, 2, 3, 4 ආදී ලෙස කාණ්ඩ හතරකට බෙදා දැක්විය හැකිය. පෙරදී මේ අතරින් වැඩි වශයෙන් ව්‍යාප්ත වූයේ 3 වැනි කාණ්ඩයේ ඩෙංගු වෛරසය වන නමුත් මේ වනවිට වැඩි වශයෙන් වර්ධනය වනුයේ දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයයි. මේ හේතුව නිසාම ඩෙංගු වෛරසය පැතිර යාමේ අවදානම වැඩි වී ඇත්ද යන්න පිළිබඳව සැකයක් පවතින බව ඇය සඳහන් කළාය. 

මෙම දෙක කාණ්ඩයේ ඩෙංගු වෛරසය මින් පෙර අවස්ථාවේ ලංකාව තුළ වැඩි වශයෙන්ම පැවතියේ 2017 වසර තුළය. නමුත් ඉන් පසු එහි වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරනුයේ මේ 2026 වසර තුළය. වසර ගණනාවක්ම මෙම දෙක කාණ්ඩයේ ඩෙංගු වෛරසය ව්‍යාප්ත නොවීම නිසාම ඊට අදාළ ප්‍රතිශක්තිකරණ සකස් වන ප්‍රමාණය අඩුය. එබැවින් මෙම දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයට නිරාවරණය වීම නිසාම එය වැඩි ප්‍රමාණයකට වැලඳීමේ අවදානමක් පවතී. 

ඝර්ම කලාපීය රටක් වන බැවින් ශ්‍රී ලංකාව තුළ සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවන් බෝවීම නිරන්තරයෙන් සිදුවන්නකි. එසේම ඩෙංගු රෝගයද එක් එක් අවුරුදුවල යම් යම් ප්‍රමාණයන්ගෙන් පැවතීම ද හඳුනාගත හැකිය. මේ තත්ත්වය පාලනය වන අවුරුදු මෙන්ම ඉක්මවා යන අවුරුදු ද පවතී. මෙවැනි තත්ත්වයක් යටතේ මූලික වශයෙන් ඩෙංගු වෛරසය පිළිබඳ හොඳ අවබෝධයක් ජනතාව තුළ ඇති කිරීම සහ ඩෙංගු රෝගී තත්ත්වයක් ඇති වූ විට එය හඳුනාගැනීමට අවශ්‍ය මූලික අවබෝධය ජනතාවට ලබා දීමේ අවශ්‍යතාවක් ද පවතී. එබැවින් සාමාන්‍ය උණ රෝගී තත්ත්වයකින් ඩෙංගු රෝගී තත්ත්වයක් වෙන්කර හඳුනා ගැනීමේ ලක්ෂණ පිළිබඳව ද ඇය සඳහන් කළාය.

2026 වසරේ ගත වූ කාලයේ ඩෙංගු රෝගීන් දිවයිනෙන්ම තිස් හත්දහසකට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර, ඩෙංගු රෝගයට ගොදුරු වීමෙන් සිදු වූ පුද්ගල මරණ සංඛ්‍යාව දහ නවයකි. වැසි සහිත කාලගුණය නිසා තවදුරටත් ඉහළ යන ඩෙංගු වෛරසයේ අවදානම් තත්ත්වය පිළිබඳව ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය අදහස් දැක්වූවාය.

"මේ අවස්ථා දෙකේදිම උණ කියන්නෙ පොදු තත්ත්වයක්. නමුත් ඩෙංගුවලදි තද උණ, තද හිසරදය, ඇඟපත කැක්කුම සහ වේදනාව, මස්පිඬු වේදනාව, වමනය, ඔක්කාරය, බඩේ රිදුම් වැනි රෝග ලක්ෂණත් පෙන්නුම් කරනවා. ඒ කියන්නෙ සාමාන්‍ය උණ තත්ත්වයකට වඩා මේ රෝග ලක්ෂණ උත්සන්න බවක් පෙන්වනවා. තද උණ සමග මේ රෝග ලක්ෂණ වලින් දෙකක් හෝ තිබෙනවා නම් ඩෙංගු කියලා සැක කරන්න පුළුවන් අපේ වගේ රටක. ඝර්ම කලාපීය වගේම ඩෙංගු වෛරසය තිබෙන රටක් විදිහට අපිට ඒ විදියට සැක කරන්න පුළුවන් වෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට නම් පැය හතළිස් අටක් ඉන්න පුළුවන්. නමුත් ගර්භණී මව්වරු, කුඩා දරුවො , වයස්ගත පුද්ගලයන් සහ වෙනත් බෝ නොවන රෝග ඇති පුද්ගලයන්ට පළමුවැනි දවසෙම වෛද්‍යවරයෙක් හමුවෙලා තමන්ට තිබෙන උණ තත්ත්ව ඩෙංගු ද? නැත් ද? කියන එක පරීක්ෂා කිරීම තමයි අපි නිර්දේශ කරන්නෙ."

මෙවැනි විශේෂ අවධිවල සිටින උණ රෝගීන්ට 

ඩෙංගු වෛරසය වැළඳී ඇති බව සැක කළහොත් ඔවුන් පළමු පැය විසි හතර තුළදිම රෝහල්ගත කර ගැනීම සිදු කළ යුතු වේ.

උණ රෝගයෙන් පෙලෙන ලෙඩෙකුගේ එම උණ තිබෙන අවස්ථාවේ රුධිරයේ වෛරසය සක්‍රියව පවතින බවත්, එම අවස්ථාවේ ඩෙංගු වාහක මදුරුවන් මගින් දෂ්ට කිරීමක් සිදුවීමෙන් වෛරසය රෝගියා තුළ ජනනය වන බවත්, නියමිත දවස් ගණනක් තුළදී වෛරසය රෝගියා තුළ වැඩෙන බවත්, ඇය සඳහන් කළාය. එසේම මදුරුවා නැවත නිරෝගී පුද්ගලයෙකුට දෂ්ටනය කිරීම මගින් ඔහුට හෝ ඇයට ද රෝගය වැලඳීම සිදුවන අතර, මේ ඩෙංගු වෛරසයන් සියලු මදුරුවන් ගෙන් ව්‍යාප්ත නොවන බවත් - එය ව්‍යාප්ත වන්නේ ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් යන මදුරුවන් ගෙන් බවත් ඇය පෙන්වා දුන්නාය.

කෙසේ වෙතත් එක් වරක් ඩෙංගු වෛරසය වැලඳුණු රෝගියෙකුට නැවත වරක් ඩෙංගු රෝගය වැලඳීමේ අවදානමක් පවතී ද? යන්න පිළිබඳව විමසූ විට ඒ සඳහා වෛද්‍යවරිය විසින් ලබා දුන්නේ මෙවන් පිළිතුරකි. 

"වෛරස් කාණ්ඩ හතරක් තියෙන නිසා ඕනෑම පුද්ගලයෙකුට ඩෙංගු රෝගය හතර පාරක් හැදෙන්න පුළුවන්. කෙනෙකුට පළමුවන කාණ්ඩයෙන් ඩෙංගු වෛරසය හැදුණොත් ඊගාව කාණ්ඩවලින් නැවත වෛරසය හැදෙන්න පුළුවන්. නමුත් අපිට ඒ හතරම හැදුණ රෝගීන් බොහොමයක් හමුවෙලා නැහැ දැනට."

සාමාන්‍යයෙන් දෙවන වර හැදීමේදී ඩෙංගු රක්තපාත උණට යා හැකි නමුත් එවැනි තත්ත්වයක් හට ගන්නේද පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණය අනුව, ව්‍යාප්ත වෙන වෛරසය අනුව, රෝගියාගේ තත්ත්වය එනම් රෝගියා සතුව වෙනත් ලෙඩ රෝග තිබේද?යන සාධක මත වේ.

ඩෙංගු වෛරසය වැලඳුණු රෝගියෙකු හට රෝහල් මට්ටමෙන් ලබාදෙන ප්‍රතිකාර ද වෙයි.

"උණ අඩු කරගන්න මේකෙදි පැරසිටමෝල් විතරයි ගන්න කියන්නෙ. එතනින් එහාට රෝහලට ගියහම රුධිර පරීක්ෂාව සිදු කරලා එයා මොන අවස්ථාවේ ද ඒ කියන්නේ ඩෙංගු රෝගයද, ඩෙංගු රක්තපාත තත්ත්වයෙ ද ඉන්නෙ කියලා තීරණය කරලා රෝගියාට දෙන්න සුදුසු දියර වර්ග වෛද්‍යවරුන් තීරණය කරනවා. මෙතනදි ඩෙංගු රෝගයටම කියලා බෙහෙතක් නැති නිසා රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කිරීමක් තමයි සිදු කෙරෙන්නෙ."

එමෙන්ම ඩෙංගු රෝගය වැලඳුණු කෙනෙකුට භාවිත කිරීමට කියන දේශීය ක්‍රම පිළිබඳව විද්‍යාත්මක සත්‍යක් පවතීද? යන්න සහ ඒවා භාවිතය සුදුසු ද? යන්න විමසූ අතර, එහිදී ඇය විසින් පවසා සිටියේ ඒ ක්‍රම අනුගමනය කිරීමෙන් වැළකී සිටින ලෙසටයි. එසේම මෙම දේවල් භාවිතයෙන් ‍රෝගියාගේ තත්ත්වය නිසි පරිදි පරීක්ෂා කිරීමට අපහසුතා ඇතිවිය හැකි බවයි.

ඩෙංගු රෝගය වැළඳී සුව වූ අයෙක් නිවස වෙත එවූ විට මහන්සි වීම නොකළ යුතු අතර, විවේකී ව කාලය ගත කළ යුතුය. එසේම ඇතැම් ඩෙංගු රෝගයට ගොදුරු වුවද ඒ පිළිබඳව නොදන්නා අය සිටිය හැකිය. එනම් වෛරසය ශරීර ගත වුවද පෙන්නුම් කරනුයේ සුළු උණ තත්ත්වයක් වන රෝගින් සිටිය හැකි බවයි. එය සුළු උණ තත්ත්වයක් ලෙස ඇති වී අඩු වී ගියද එම රෝගියා ගෙන් වෛරසය බෝවීමේ ප්‍රවණතාවක් පවතී.

කෙසේ වෙතත් තමන් නිරෝගි පුද්ගලයෙක් නම්, සහ තමාට දවස් දෙකකට වඩා පවතින තද උණක් පවතී නම්, දෙවන දවස තුළදීම වෛද්‍යවරයෙක් හමුවී තමාට තිබෙන්නේ ඩෙංගු ද යන්න පරීක්ෂා කරගැනීම සිදු කළ යුතු වේ.

එසේම ඩෙංගු රෝගයෙන් ආරක්ෂා වීම සඳහා ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා විනාශ කිරීම කළ යුතු අතර, ඒ අනුව මදුරුවන් බෝ වන අවට පරිසරයේ ඇති පැහැදිලි ජලය ඇති සහ ගලා නොයන ජලය ඇති ස්ථාන සොයා බලා පිරිසිදු කිරීම රජයේ පමණක් නොව තම තමන්ගේ වගකීමක් ලෙස සිතා සිදු කළ යුතුය. එසේම නිවස තුළ ද පවතින මදුරුවන් බෝ විය හැකි ස්ථාන සොයා බලා පිරිසිදු කරගැනීම ද වැදගත් ය.

ඉමේෂි මන්දිරා ජයරත්න 

ප්‍රජා වෛද්‍ය විශේෂඥ
ප්‍රශිලා සමරවීර
ජාතික ඩෙංගු මර්දන ඒකක.