බිස්කට් සමාගමක වාර්ෂික සුහද හමුවක ප්‍රසංග නාමය මෙරට මෙන්ම ලොව පුරා දසත පැතිරෙන බිස්කට් නාමයක් වේ යැයි කිසිවකු නොසිතන්නට ඇත. එය දෙහිවල විලියම් කන්ෆෙක්ෂනරි නම් බිස්කට් කර්මාන්ත ශාලාවයි. මන්චී පුරාවෘත්තය සොයාගෙන යන විට දකුණේ අකුරැස්ස වෙත අප මතකය රැගෙන යයි. එම පුරාවෘත්තයට දැන් වසර අනූ හයකට වැඩි ඉතිහාසයක් තිබේ. ඒ 1902 වසරයි. අකුරැස්ස ගමේ යමක් කමක් තිබූ පවුලක් වූයේ ෆ්‍රෙඩී වික්‍රමසිංහ හා මෙරායා කැරොලින් අතපත්තු යුවළය. ඔවුන්ට කුලුඳුලේ ලැබුණ පිරිමි දරුවාට සයිමන් වික්‍රමසිංහ යන නම තබන ලදී. පියාගේ අරමුණ වූයේ සයිමන් නීතිඥයකු කිරීමය. පියාගේ සිහිනය ඉටු කරලීමේ අරමුණින් ගැටවර සයිමන් නීති විද්‍යාලයට ඇතුළු විය. අකුරැස්සෙන් පැමිණි සයිමන් තරුණයා පැලපදියම් වූයේ දෙහිවල ප්‍රදේශයේය. එහිදී ඔහු ඇඳින ගත් ධනවත් අතපත්තු ව්‍යාපාරික පවුල සයිමන්ගේ ඉරණම වෙනස් කරන්නට සමත් විය. අතපත්තු පවුලේ වැඩිමල් දියණිය වූයේ ඊනීඩ් අතපත්තුය. ඇය සමග පෙමින් බැඳුණ සයිමන් 1939 දී යුග දිවියට ඇතුළත් විය. දෙහිවල අතපත්තු පවුලේ මහා ධනස්කන්ධයක් ‘දෑවැද්ද’ ලෙස උරුම කර ගනිමිනි. 

සයිමන් ඊනීඩ් යුවලට උපන්නේ පුතුන්ම සිව් දෙනෙකි. මේ පවුලේ වැඩිමලා පාවුල් වික්‍රමසිංහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පළමු උපාධිධාරී කණ්ඩායමේ සාමාජිකයෙකි. දෙවැන්නා වූ රංජිත් වික්‍රමසිංහ ඉංජිනේරුවෙකු විය. තුන්වැන්නා වූයේ මිනේක වික්‍රමසිංහය. තම පියාගෙන් පසු විලියම් බිස්කට් සමාගම මන්චී බිස්කට් සමාගම ලෙස ලොව පුරා ප්‍රචලිත කළේ මිනේක වික්‍රමසිංහය. සයිමන් ඊනීඩ් කැදැල්ලේ බඩ පිස්සා වූයේ පසුගිය ජුනි හය වැනි දින දෙනෙත් පියාගත් රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහය. රම්‍ය වික්‍රමසිංහ උපන්නේ 1946 නොවැම්බර් 18 වැනිදාය. මිය යන විට රම්‍ය  80 වැනි වියේ පසු විය. තම පියා ආරම්භ කළ මන්චී ව්‍යාපාර සමූහයට නායකත්වය තම සොයුරු රම්‍ය සමග දුන් මිනේක 2015 ජුනි 24 වැනි දින මන්චී සභාපති ධුරයෙන් විශ්‍රාම ගියේ තම මලණුවන් වූ රම්‍ය වික්‍රමසිංහට මන්චී ව්‍යාපාර සමූහයේ සභාපති පුටුව හිමිකර දෙමිනි. එයින් පසු වසර 11ක් අඛණ්ඩව මන්චී ව්‍යාපාරය මෙහෙය වූ දැවැන්ත ජීවමාන බලවේගය වූයේ පසුගිය සතියේ අප අතරින් වියෝවූ රම්‍ය සනත් අමරවීර වික්‍රමසිංහයි.

විලියම් බිස්කට් සහ මන්චී බිස්කට් ආරම්භ ගැන ඉතිහාසය ගැන කියන විට බිස්කට් ඉතිහාසය හාරා ඇවිස්සුවේ නැතිනම් එයා අඩුපාඩුවකි.

බිස්කට් යන වචනය (Biscuit) ප්‍රංශ බසෙන් බිඳී ආවකි. ප්‍රංශ බසෙන් එහි අරුත දෙවරක් පුලුස්සන ලද්දා වූ යන්නයි. අතීතයේදී සමහර විස්කෝතු වර්ග හා පාන් කීප වරක්ම පිලිස්සීමට භාජනය කොට තිබේ. එසේ කොට කල්තබා ගැනීමටය. පළමුවෙන් බිස්කට් යන වචනය භාවිත කර ඇත්තේ මෙසේ දෙවරක් පුලුස්සා කල් තබාගත් පාන්වලටය. පසුව පාන් ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද විස්කෝතුවලට ද මෙය භාවිත කරන ලදි.

ලන්දේසි බසින් විස්කෝතු හඳුන්වනු ලබන්නේ කොක්පේ යන නමිනි. එය කේක්වලට ඔවුන් භාවිත කරන නමෙන් බිඳී ආවකි. විස්කෝතු හා කේක් සෑදීමට ගන්නා පිටි මිශ්‍රණය ඇති සමානකම් සලකා මේ නම යෙදෙන්නට ඇත. විස්කෝතු බොහොමයක් පුලුස්සන්නේ කේක් ආකාරයටම වුවද ඉතාමත් අඩු තෙතමනයක පවත්වා ගෙන යාම විස්කෝතු නිපදවීමේදී වැදගත් වේ.

ඉතිහාසයේ සඳහන් පරිදි පැණිරස විස්කෝතු පළමුවෙන් නිපදවනු ලැබුවේ 13 වැනි සිය වසේදී ප්‍රංශයේය. මේවා නිපදවා ඇත්තේ පාන් කැබැලි වයින්වල පෙඟවීමෙනි. කෙසේ වෙතත් විස්කෝතුවල ඉතිහාසය පාන් නිෂ්පාදනයේ ආරම්භය තරම් ඈතට දිව යන බව ඉතිහාසයේ සඳහන්ය.

පළමු පාන් ගෙඩිය නිපදවා ඇත්තේ මීට වසර 15,000 ක පමණ පෙර නියෝලිතික යුගයේදීය. මේ අතර මුල් යුගයේ ප්‍රංශයේ නිපදවන ලද පැණි  රස විස්කෝතු කෙතරම් දැඩි වීද යත් කැඩීමට නම් මෝල්ගස්වලින් ගැසිය යුතු විය. මෙවැනි දැඩි විස්කෝතු සකසන ලද්දේ පැරණි පාන්වලට සීනි දමා වයින්වල ඔබා දීර්ඝව වියළීමෙනි. වියළීමට ලක්වන කාලය වැඩිවන තරමට විස්කෝතුව ඝනකමෙන් වැඩිවීම මීට හේතුවයි.

මේ ඉතිහාසයේ කියවන විට සයිමන් වික්‍රමසිංහ නිපදවන ලද විලියම් විස්කෝතු මුල් කාලේ මෝල්ගස්වලින් ගැසිය යුතු තත්ත්වයක වූ බවට වරදවා ගත යුතු නැත. ඊටත් වඩා මැලිබන් කම්පැනියේ පිරිසක් සමග සැම්සන් වික්‍රමසිංහ විලියම් විස්කෝතු සමාගම ආරම්භ කළ බවට ඇති වැරදි ඉතිහාසයද මෝල්ගස් පහරකින් විනාශ කොට සත්‍ය තත්ත්වය මෙරට පොදු ජනතාවට නිරවුල් කරදීම ඓතිහාසික යුතුකමක් වී තිබේ. සැම්සන් වික්‍රමසිංහ මිලදී ගත් විලියම් බිස්කට් නාමය ආරම්භය දෙහිවල නොව කොලොන්නාවේය. සැම්සන් සේවකයන් දහයක් සමග William Confecitionery Ltd. ව්‍යාපාරය මිලදීගෙන දෙහිවල ආතර් පෙදෙසට ගෙන ආවේ 1939 දීය.

එදා සුද්දන්ගේ කෑමක් වූ විස්කෝතු නිෂ්පාදනය අමුතුම වැඩක් වී තිබිණ. බිස්කට් සෑදුවේ අතිනි. පිටි ගුළි අතින් අනා රෝල් කර හැඩයට ගිනි උදුනක පුලුස්සා සිසිල් කර සඳහා සයිමන් වික්‍රමසිංහලා බිස්කට් සැදූහ. රවුම් පියනක් සහිත ටින්වල අසුරු බිස්කට් දේශීය වෙළඳ​ෙපාළට පැමිණ ඇත.

වික්‍රමසිංහ පවුල: වම් පස කෙළවරේ සිටින්නේ රම්‍ය වික්‍රමසිංහයි

ඔය කියන සන්දියේ රටේ අග්‍රාමාත්‍යවරයා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ය. ආර්ථිකය වැරදි ලෙස හැසිරවීම නිසා එකල ආනයනය අභියෝගාත්මක විය. බිස්කට් ආනයනය තහනම් වී තිබිණ. 1954 දී විවෘත කරන ලද මැලිබන් ආයතනයට සයිමන් වික්‍රමසිංහගේ විලියම්ස් ආයතනයටත් දේශීය බිස්කට් ඉල්ලුම් සපුරාලීමට එම ආර්ථික ප්‍රතිපත්තිය ඉවහල් විය.  

වර්ෂ 1957 දී විලියම්ස් ආයතනය නව යන්ත්‍රරෝපකරණයන්ගෙන් යුතුව එවකට ලංකාවේ ආණ්ඩුකාර ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක විසින් විවෘත කරන ලදී. එවකට එහි බ්‍රිතාන්‍ය  ජාතිකයන් පවා සේවය කොට ඇත්තේ විලියම් බිස්කට්වල තත්ත්වය ආරක්ෂා කරගන්නටය.

විලියම් බිස්කට් ව්‍යාපාරය මෙරට දැවැන්ත දේශපාලන ඉතිහාසයක් ඇති ආයතනයක් විය. මේ හැම කටයුත්තකදීම සයිමන්ගේ ව්‍යාපාරයේ දැවැන්ත ක්‍රියාකාරිකයකු වූ මිනේක අයියාත් සමඟ අභියෝගවලට මුහුණ දුන් චරිතය වූයේ රම්‍ය වික්‍රමසිංහය.

හිටපු අගමැති විජයානන්ද දහනායක ප්‍රසිද්ධියට පත් වූයේ “බනිස් මාමා” ලෙසය ඒ පාසල් දරුවන්ට බනිස් ලබාදීම නිසාය. ඩඩ්ලි සේනානායක යුගයේ ඔහු විසින් පාසල් දරුවන්ට බනිස් ගෙඩියක් හා කිරි වීදුරුවක් ලබාදෙන ලදී. මේ අක්‍රමවත් ක්‍රමය සයිමන් වික්‍රමසිංහට දිරෙව්වේ නැත. ඊටත් වඩා පාසල් දරුවන්ට දුන් කිරි කල්තබාගැනීමට නොහැකි වූ නිසා පාසල් කාලය අවසන් වන විට ඒවා කුණු වී විසි කරන අන්දම රම්‍ය වික්‍රමසිංහ තම පියා වූ සයිමන් වික්‍රමසිංහට පැහැදිලි කර දුන්නේය. තම බාල පුතා වූ රම්‍යගේ කතාව අසා සිටි සයිමන් මේ බනිස් -කිරි සංයෝගයට වඩා අධිපෝෂණයෙන් යුතු විස්කෝතු දෙන්නට හැකි නම් එය සිසුනට ප්‍රයෝජනවත් වෙතියි සිතුවේය.

වහා පියවර ගත් ඔහු අධ්‍යාපන ඇමැතිවරයා මුණ ගැසී පාසල් ශිෂ්‍යයන්ට බනිස් හා කිරි වෙනුවට විස්කෝතු දෙමුදැයි ඇසුවේ ඒ යුගයේ බනිස්වලට අත්වී තිබූ කලදසාව ඇමැතිවරයාට විස්තර කරමිනි. නිසි ලෙස උණු නොකළ වතුරෙන් සෑදූ කිරිවලින් උදරාබාධ සෑදෙන්නට තිබූ ඉඩකඩත් ශිෂ්‍යයන් බනිස් ආහාරයට නොගෙන බෝල ගැසීම සඳහා යොද‌ාගන්නා බවත් සයිමන් විසින් පෙන්වා දෙන ලදි.

එවක අධ්‍යාපන අමාත්‍ය ඊරියගොල්ල මේ වන විටත් බනිස් කිරි සැපයීමේ වැඩ පිළිවෙළේ අසාර්ථකත්වය ගැන කල්පනා කරමින් සිටි අවධියකි. සයිමන්ගේ අදහසට අනුමැතිය ලැබිණ. ප්‍රශ්නය වූයේ ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබාගැනීමය. දුප්පත් රටවල සංවර්ධන කටයුතු සඳහා ආධාර දෙන කෙයාර් සංවිධානය මෙම වැඩ පිළිවෙළට සහාය දීමට ඉදිරිපත් විය.

මේ අතර විස්කෝතුවක ප්‍රෝටීන සියයට 18 ක් තිබිය යුතු යැයි කෙයාර් සංවිධානය පැනවූ නියෝගය අනුව වසර දෙකක කාලයක් ඒ ආකාරයේ විස්කෝතුවක් ගැන පර්‌යේෂණ කිරීමට විලියම් සමාගමට සිදු විය. සෝයාමීට් ලංකාවට පැමිණියේ 1977 විවෘත ආර්ථිකයෙන් පසුව යැයි අප සිතා සිටියත් මෙම ව්‍යාපෘතිය නිරීක්ෂණයේදී පෙනී යන්නේ කෙයාර් ආයතනය විලියම් බිස්කට් කොම්පැනියට මෙම බිස්කට් නිපදවීමට ප්‍රමිතියෙන් යුතු සෝයාමිට් සුවිශේෂ තෙල් වර්ගයක් ලබා දී ඇත්තේ 1965 දී බවය.

‘කෙයාර් ආධාර’

කෙයාර් සංවිධානය මෙම විස්කෝතු නිපදවීම සඳහා සෝයා පිටි හා තෙල් ලබා දුන්නේය. කෙයාර් ආයතනයේ නියමිත ප්‍රමිතියට අනුව නිපදවූ විස්කෝතු සාම්පලයක් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරුණු අතර රජයේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විස්කෝතු සැපයීමේ කොන්ත්‍රාත්තුව සයිමන්ට ලැබිණ.

විස්කෝතු විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට සිදුවීම නිසා පිටි කලවම් කිරීමේ ගැටලුවකට ද මුහුණ දෙන්නට සයිමන්ට සිදු විය. සයිමන් ඒ සඳහා ද උපක්‍රමයක් සොයා ගත්තේය. කොන්ක්‍රීට් කලවම් කරන මැෂිමකින් සයිමන්ගේ ඒ ගැටලුවට පිළිතුරු ලැබිණ.

ආණ්ඩුකාර ඔලිවර් ගුණතිලක අතින් එදා නව යන්ත්‍ර සහිත කර්මාන්ත ශාලාව ඇරඹුණු හැටි

එමෙන්ම දේශීය අමුද්‍රව්‍ය උපයෝගී කැර ගෙන මව්වරුන්ට හා ළදරුවන්ට විස්කෝත්තුවක් නිපදවිය හැකි දැයි සයිමන්ගෙන් විමසන ලදුව ඔහු ඒ අභියෝගය ද බාර ගත්තේය. ඒ සඳහා ද කෙයාර් සංවිධානයේ අනුග්‍රහය ලැබුණු අතර  එම විස්කෝතුව එතරම් ජනප්‍රිය වූයේ නැත. ඊට පිළියමක් යෙදූ සයිමන් විස්කෝතු කුඩු කර අධිපෝෂිත ආහාරයක් ලෙස නිපදවීය. ත්‍රිපෝෂ බිහිවූයේ මේ අන්දමටය.

මන්චි විස්කෝතු

කෙයාර් ආධාරයෙන් නිපදවන අලුත් විස්කෝතු සමාගමට යොදන නාමය කුමක්දැයි දස අතේ කල්පනා කරමින් සිටි සයිමන්ට සැණෙකින් නමක් සිතට නැඟුණේය. එකල විලියම්ස් ආයතනය වාර්ෂිකව පැවැත්වූ සුහද හමුවක් විය. එය හැඳින්වූයේ ‘මන්චි රාත්‍රිය‘නමිනි. තම අලුත් ව්‍යාපාරයට මන්චි යන නාමයට වඩා වෙනත් හොඳ නමක් නැතැයි තීරණය කළ සයිමන් මන්චි වෙළෙඳ නාමයෙන් විස්කෝතු වෙළෙඳපොළට නිකුත් කළේය. මේ පාසල්වලට බෙදු විස්කෝතු හැඳින්වූයේ ඇදිහැස විස්කෝතු ලෙසය. (ඇමරිකන් දීමනා හැමට සමව)  

මේ ඉතිහාසය රම්‍ය වික්‍රමසිංහ වරක් විග්‍රහ කොට ඉතිහාසය පැහැදිලි කොට ඇත්තේ මෙසේය.

“ඔය කාලයේ රටේ තිබුණු තත්ත්වයත් සැලකිල්ලට ගත් මගේ පියා තමයි මුලින්ම රජයටත්, ක්‍්රු (ඇදිහස) ආයතනයටත් යෝජනාවක් ගෙනාවේ. කිරිවලත්, බනිස්වලත් පෝෂණ ගුණය එකට කැටි වූ බිස්කට් වර්ගයක් පාසල් යන දරුවන්ට බෙදා දෙමු කියා. කොහොම කොහොමින් හරි, 1967 දී පමණ මේ යෝජනාවට රජයේ අනුමැතිය ලැබුණා. ඊට පස්සේ අපි කොළඹ පාසලකටත් කුලියාපිටියේ එක් පාසලකටත් මුලින්ම කිරි වීදුරුවකුත්, බනිස් ගෙඩියකුත් පෝෂණය කැටි වූ බිස්කට් වර්ගයක් නිෂ්පාදනය කොට බෙදා හරින්නට වුණා.

ඒත් මේ විදියට බිස්කට් බෙදා හැරීම මහා පරිමාණයෙන් කරගෙන යාමට මගේ පියාට පුළුවන් කමක් තිබුණේ නැහැ. එම නිසා අපි ඔක්කෝම එකතු වෙලා රජයට කිව්වා වැඩි වශයෙන් බිස්කට් නිපදවීම සඳහා අවශ්‍ය මැෂින් ගෙන්වාගැනීමට අවශ්‍ය බලපත්‍රයක් අපිට ලබාදෙන්න කියලා. ඒත් රජය ඊට කැමති වුණේ එක කොන්දේසියක් උඩයි. රජයේ මූලිකම කොන්දේසිය වුණේ බිස්කට් නිපදවීම සඳහා අවශ්‍ය මැෂින් ලබා දෙන්නේ, වසරක් ඇතුළත අපේ බිස්කට් පිටරටටත් යවනවා නම් පමණයි කියා. ඉතින් අපිත් රජයේ යෝජනාවට කැමති වුණා. ඔය විදියට අපි අපේ මුල්ම බිස්කට් තොගය වසරක් ඇතුළත සෞදි අරාබියට යවන්නට සමත් වුණා.”

මිනේක පිටුපස සිටි දැවැන්ත සෙවණැල්ල වූයේ රම්‍ය වික්‍රමසිංහය ලෝකය මන්චී ව්‍යාපාරය වැලඳ ගන්නේ CBL යන නමිනි. CBL සමූහ ව්‍යාපාරය පුරා ක්‍රියාත්මක වන පර්‌යේෂණ හා සංවර්ධන, තත්ත්ව පාලන, නිෂ්පාදන හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අධීක්ෂණය කරමින්, නිෂ්පාදන නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය කෙරෙහි සමූහයේ පවතින අඛණ්ඩ අවධානය මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

මිනේක වික්‍රමසිංහ හා රම්‍ය වික්‍රමසිංහ යන දෙදෙනාට ඉන්දියාවේ හා එංගලන්තයේ බේකරි නිෂ්පාදනය ගැන පාඨමාලා කරවීමට සයිමන් වික්‍රමසිංහ පියවර ගත්තේ මන්චී ව්‍යාපාරය එළඹෙන සියවස මුහුණ දෙන්නට වූ අභියෝගයට මුහුණ දෙන්නටය. රම්‍ය ආහාර කර්මාන්තය පිළිබඳ පුළුල් හා විවිධත්වයෙන් යුත් අත්දැකීම් සමුදායකින් හෙබි අයෙකු වූයේ එහෙයිනි. ඔහු එක්සත් රාජධානියේ බරෝ පොලිටෙක්නික් (වර්තමානයේ ලන්ඩන් සවුත් බෑන්ක් විශ්වවිද්‍යාලය) ආයතනයේ ආහාර තාක්ෂණය පිළිබඳ සුදුසුකම ලබා ගත්තේය.

සයිමන් වික්‍රමසිංහ දෙනෙත් පියා ගත්තේ මීට වසර 42 කට පෙර 1984 ජනවාරි 24 වැනිදාය. ඒ වන විට ඔහු විලියම් විස්කෝතුවෙන් වැඩ අල්ලා මන්චී බිස්කට් වෙළෙඳ සන්නාමයෙන් ලොව හොල්ලා හමාරය. 1997 දී මන්චි කොම්පැනිය එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව වෙත නිත්‍ය අපනයන ආරම්භ කළ අතර මේ වනවිට රටවල් 65 ක් දක්වා දක්වා සිය නිෂ්පාදන අපනයනය ව්‍යාප්ත කිරීමට මිනේක වික්‍රමසිංහගේ නායකත්වය ට හැකි විය.

මිනේක පිටුපස සිටි දැවැන්ත සෙවණැල්ල වූයේ රම්‍ය වික්‍රමසිංහය ලෝකය මන්චී ව්‍යාපාරය වැලඳ ගන්නේ CBL යන නමිනි. CBL සමූහ ව්‍යාපාරය පුරා ක්‍රියාත්මක වන පර්‌යේෂණ හා සංවර්ධන, තත්ත්ව පාලන, නිෂ්පාදන හා ප්‍රසම්පාදන ක්‍රියාවලීන් අධීක්ෂණය කරමින්, නිෂ්පාදන නවෝත්පාදනය සහ ගුණාත්මකභාවය කෙරෙහි සමූහයේ පවතින අඛණ්ඩ අවධානය මෙහෙයවනු ලැබුවේ ඔහු විසිනි.

Ceylon Biscuit Ltd. පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ මන්චී ව්‍යාපාරය දහසින් බැඳි පියලි තම පෞද්ගලික භාණ්ඩාගාරයට මුළුමනින්ම ගොඩ ගසා ගත්තේ නැත. රම්‍ය වික්‍රමසිංහ සභාපති ධුරයට පත්වන විටත් පැවැති සුබසාධන කටයුතු තවදුරටත් අතික්‍රමණය කිරීමට රම්‍ය වික්‍රමසිංහගේ නායකත්වය යටතේ මන්චී ව්‍යාපාරය සමත් විය. අනාගත තරුණ ව්‍යවසායකයන් පුබුදුවාලීමට මන්චී කොම්පැනිය ජීවය සැපයීම අරඹන ලද්දේ රම්‍ය වික්‍රමසිංහ CBL සභාපති ධුරයට පත් වූ අලුතය.

එහි ශ්‍රී ලංකා ළමා ව්‍යවසායකත්ව සංවිධානය විසින් ක්‍රියාත්මක කරන තරුණ ව්‍යවසායකත්ව වැඩසටහන ජුනියර් අචීව්මන්ට් (Junior Achievement) ගෝලීය වැඩ සටහනේ ලාංකීය නියෝජනය වූ අතර මෙම වැඩ සටහන “ජුනියර් අචීව්මන්ට් ගෝලීය වැඩ සටහනේ ”අධ්‍යාපන පටිපාටිය අනුගමනය කරමින් ක්‍රියාත්මක කෙරිණ. පන්නිපිටිය, රත්මලාන, රනාල සහ මහනුවර කුණ්ඩසාලේ ක්‍රියාත්මක CLB කර්මාන්තශාලාවන් ආසන්නයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක විය.

එදා රම්‍ය වික්‍රමසිංහයන් ඉංග්‍රීසි පුවත්පතකට මේ ගැන තම අදහස් දක්වා තිබුණේ මෙසේය.

මිනේක වික්‍රමසිංහ

“ඉදිරි අනාගතයේ දී ව්‍යවසායකයකු ලෙස නැගී සිටීමට අවැසි පන්නර සහ අත්දැකීම පාසල් ජීවිතයෙන්ම ලබා දීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ යටතේ පුද්ගලික අංශය කටයුතු කරන ආකාරයත් පුද්ගලික අංශය තුළ ඇති රැකියා අවස්ථා පිළිබඳවත් සිසු දරුදැරියන් තුළ යම් දැනුවත්භාවයක් ඇති කිරීමට හැකි වීමත් පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්වෙනවා. මෙබඳු වැඩසටහන් මගින් සිසු සිසුවියන් තුළ ව්‍යවසායකත්ව කුසලතා මෙන්ම පුද්ගලික අංශය බලාපොරොත්තු වන නිපුණතාව පිළිබඳව යම් අදහසක් ලැබෙන බැවින් ආත්ම ශක්තියෙන් යුතුව අනාගතයට මුහුණ දීමට අවැසි පන්නරය ඔවුන්ට ලැබෙනවා.

මගේ අයියා මිනේකත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙනකොට තාත්තා අපිට කිසිම විශේෂත්වයක් දැක්වූයේ නැහැ. කොම්පැනියේ අයිතිකාරයාගේ පුතා කියලා අපිට සුවපහසු ජීවිතයක් ආයතනයේදී හම්බ වුණේ නෑ.  මටත් අයියටත් වුණේ මහන්සිවෙලා වැඩ කරන්න.”   

එමෙන්ම මන්චී කියූ සැණින් මතකයට එන මන්චී ටිකිරි ශිෂ්‍යාධාර, මන්චී හපනා ශිෂ්‍යත්ව වැඩ මුළු, මන්චී ජාතික ශූරතා වොලිබෝල් තරගාවලිය, මෙන්ම 19 පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය සඳහාද රම්‍ය වික්‍රමසිංහ සභාපති යුගයේදීද නොමසුරුව ආධාර කරන ලදී. ඊටත් වඩා ලාංකික සිනමාව හා සම්බන්ධ කලාකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂණය උදෙසා සිනෙස්ටා පදනම සමග එක්ව ක්‍රියාත්මක කරන සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙළ මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් ලබාදෙන දායකත්වය මනාව තහවුරු කරන්නක්  විය. “මන්චී සමග රිදී රැයක්” ප්‍රසංගය පැවැත්වෙන්නේ මෙහි එක් පියවරක් වශයෙනුයි. මෙරට දේශීය කර්මාන්ත රැකගැනීම ගැන රම්‍ය වික්‍රමසිංහ දැඩි ස්ථාවරයක සිටි පුද්ගලයෙකි.

1997 දී මන්චි කොම්පැනිය එක්සත් ජනපදය, කැනඩාව, ඔස්ට්‍රෙලියාව හා ඉන්දියාව වෙත නිත්‍ය අපනයන ආරම්භ කළ අතර මේ වනවිට රටවල් 65 ක් දක්වා සිය නිෂ්පාදනා අපනයනය ව්‍යාප්ත කිරීමට මිනේක වික්‍රමසිංහගේ නායකත්වය ට හැකි විය.

“පවුලේ ව්‍යාපාරයක් ලෙස අරඹුණු මන්චි ව්‍යාපාරය දේශීය වෙළෙඳ පොළ ඉලක්ක ජයගෙන තිබෙනවා. අපට තිබෙන ප්‍රධාන බාධකය විවෘත වෙළෙඳ ආර්ථික රටාව තුළ විඳින්නට සිදුව ඇති මදි පුංචිකම් බව කියන්න ඕනෑ. දේශීය ව්‍යාපාරිකයකු විදේශ රටකදී කටයුතු කරන්න ඕනෑ ඒ රටවල දැඩි වෙළෙඳ නීති රීතීවලට යටත්වයි. නමුත් මෙරටට එන විදේශ ව්‍යාපාරිකයන්ට බලපාන නීති ලිහිල් රටේ ආර්ථික අහේනියෙන් මිදෙන්න දේශීය ව්‍යාපාරිකයා දිරි ගැන්වීමටත්, ඔවුන් සුරක්ෂිත කිරීමටත් මුල් තැන දිය යුතුයි.”

තම අයියා වූ මිනේක වික්‍රමසිංහ ගැන රම්‍ය වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් ලිපියක අවසානයට එක් කරන්නේ එය ඌණ පූර්ණයක් විය හැකි නිසාය.

“මන්චී ව්‍යාපාරය ලොව ව්‍යාපාර ජයගැනීමේ ව්‍යාපාරය ලෙස යාවත්කාලීන කිරීමේ ව්‍යාපාර වෙනස්කම් පිටුපස සිටි දැවැන්ත බලවේගය අයියා මිනේක අයියා. මන්චී ආයතනයේ වර්ධනයට පිටුවහලක් වුණේ ඔහුගේ ව්‍යාපාරික ඥානයයි.”

මෙපමණ බිස්කට් ප්‍රමාණයක් අපට නිෂ්පාදනය කරන්නට ලැබුණේත්, ඒවා රට රාජ්‍යවලට පිටත්කරන යවන්නට අපට පුළුවන්කම ලැබුණේත්, පාරිභෝගිකයන් අප කෙරේ තැබූ විශ්වාසය නිසයි. එම නිසා එම විශ්වාසය තව දුරටත් ආරක්‍ෂා කර ගනිමින් තත්ත්වයෙන්, රසයෙන්, හා ගුණයෙන් ඉතා ඉහළ බිස්කට් වර්ගයක් පහසු හා සහන මිලකට පාරිභෝගිකයන් අතරට පත් කිරීමටයි අප හැම වෙලාවෙම උත්සාහ කරන්නේ”

එදා එසේ කියූ රම්‍ය වික්‍රමසිංහ අතරින් සමුගන්නේ මෙරට දැවැන්තම ජාතික ව්‍යාපාරයක් ලොව පුරා ව්‍යාප්ත කළ මිනිසෙකු ලෙසය. මේ වන විට මන්චී රටවල් 65කට තම නිෂ්පාදන අලෙවි කරමින් සිටී.     

මහින්ද රණවීර