ස්වභාව ධර්මයේ එක් කොටසක් වන මනුෂ්‍ය වර්ගයා සිය ජීවිතය ඇතුළු සියලු නිශ්චල හා චංචල සියල්ල දෙවෙනියට, තුන්වෙනියට දමා ක්‍රියාකරමින් සිටින්නේ සිය වර්ගයා ගැනද නොතකමිනි. මිනිසා, තනිවම සිය පැවැත්ම පෙරට වඩා යහපත් කරගෙන සිටින අවස්ථාවකදී තම පැවැත්ම වෙනුවෙන් සිය බලපුළුවන්කාරකම පෙන්වා සිටින්නෝය. ගස්වැල්, ගංගා ආදිය විනාශ කරමින් සිටි මිනිසා දැන් එළිපිටම සතුන්ටද අත තබා ඇති බව පෙනේ.   


අනාගතයේදී අනවශ්‍ය මිනිසුන් මරාදමා බලපුළුවන්කාර මිනිසුන් පමණක් ජීවත් වන ලෝකයක් පවා තිබිය හැක. වැදගත් වන්නේ මේවා ජයග්‍රහණයන් ලෙස හඳුන්වා දෙමින් තිබීමය. මෙම ක්‍රියාකාරකම්වලින් මිනිසා පෙරට වඩා පැවැත්ම තහවුරු කරගන්නා බව සිතුවද සමස්තයක් ලෙස බැලුවහොත් සිදුවන්නේ සියතින්ම සිය ගෙල සිඳ ගැනීමය.   
මේවා ගැන නැවත නැවතත් වත්මන් සමාජයේ කියැවෙන්නට පටන් ගෙන ඇත්තේ චීනයේ වූහාන් නගරය මූලික කරගෙන ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය නිසා ඉකුත් 11 වැනිදා වනවිට ජීවිත 1000ක් බිලි ගෙන 42000 කට වැඩි පිරිසක් එම වෛරසයට ආසාදිත වීම හේතුකොට ගෙනය. චීන විරෝධී බටහිර මාධ්‍ය පෙන්වා දෙන්නේ එය චීනය විසින් සිය මානවයාට එරෙහිව යොදා ගත් ජීව අවියක් ලෙසය. නමුත් මේ මොහොත වනවිට කොරෝනා වෛරසය චීනයට පමණක් නොව සමස්ත මානව සංහතියට එරෙහිව නැගී එමින් සිටින්නේය. එවැනි අවස්ථාවකදී මේ වෛරසය මෙවර මතුවූයේ චීනයෙන් වන නිසාම නයෙකුගේ මස් කෑම නිසාම මෙය හටගත් බවට මතුවන කතාවට එපිටින් විමසා බැලිය යුතුය.   


ජෛව අවි යනු වෛරස්, බැක්ටීරියා, දිලීර හෝ වෙනත් විෂ වර්ග වැනි ක්ෂුද්‍ර ජීවීන් වන අතර ඒවා මිනිසුන්, සතුන් හෝ ශාකවල රෝග හා මරණයට හිතාමතාම නිපදවා මුදා හරිනු ලැබේ. ඇන්ත්‍රැක්ස්, බොටුලිනම් ටොක්සින් සහ වසංගතය වැනි ජීව විද්‍යාත්මක කාරකයන්ට මහජන සෞඛ්‍යයට අභියෝගයක් ඇති කළ හැකි අතර, කෙටි කාලයක් තුළ විශාල සංඛ්‍යාවක් මරණයට පත් විය හැකිය.   


ජෛව ත්‍රස්ත ප්‍රහාර මගින් වසංගතයක් ද ඇති විය හැකි වේ. ජෛව අවි යනු මහා විනාශකාරී ආයුධ ලෙස හඳුන්වන විශාල ආයුධ කාණ්ඩයක උප කුලකයක් වන අතර එයට රසායනික, න්‍යෂ්ටික හා විකිරණශීලී ආයුධ ද ඇතුළත් ය.   
මනුෂ්‍යයා විසින් යුද්ධය සිදු කරමින් සිටින ආකාර විවිධ ස්වරූප ගනිමින් තිබේ. මහ පොළොවෙන් අහුලාගත් ගල්වලින් ගසාගත් මිනිසුන්ගේ මේ වනවිට දුනු ඊතලවලින් විදගත් මිනිසුන් දක්වාද, සයිබර් යුද්ධ දක්වාද, යුද්ධයේ විවිධ ස්වරූප වර්ධනය වී තිබේ. ඒ අතරින් ජීව විද්‍යාත්මක යුද්ධද (Biological Warfare) ලෝක ඉතිහාසයේ ඉතා ඈත අතීතයේ සිට පැවතී ඇති බවට උදාහරණ පවතී.   
ජෛව විද්‍යාත්මක යුද්ධයකදී වෛරස්, බැක්ටීරියා, දිලීර හෝ වෙනත් විෂ සහිත ක්ෂුද්‍ර ජීවීන් යොදා ගනිමින් මිනිසුන්, සතුන් හෝ ශාකවල රෝග හා මරණය හිතාමතා ඇතිකිරීම දැක ගැනීමට ලැබේ. ක්‍රිස්තු පූර්ව 1500 තරම් ඈත යුගයකදී පවා මෙවැනි ජීව විද්‍යාත්මක අවි මිනිසුන් විසින් භාවිත කර ඇති බවට තොරතුරු පවතී. ඈත අතීතයේදී සතුරන්ට එරෙහිව හාඋණ භාවිත කර ඇති බවට මානව විද්‍යාඥයන් මේ වනවිට සාක්ෂි සොයාගෙන තිබේ.   
අද වනවිට ඇන්ත්‍රෑක්ස්, බොටුලිනම් (Botulinum) වැනි ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීමේ සිද්ධි කිහිපයක් වාර්තා වී තිබේ. ජෛව අවි යනු මහා විනාශකාරී ආයුධ ලෙස හඳුන්වන ආයුධ කාණ්ඩයක උපකුලකයක් වන අතර, රසායනික, න්‍යෂ්ටික හා විකිරණශීලී ආයුධ මෙන්ම බරපතළ හානි මේ මගින් ගෙන දිය හැකිය. සතුරාට එරෙහිව උපාය මාර්ගික වාසියක් ලබා ගැනීම සඳහා ජීව විද්‍යාත්මක ආයුධ විවිධාකාරයෙන් ඉතා සූක්ෂ්ම ලෙස යොදා ගැනීම සිදුවන අතර, මෙම අවි මාරාන්තික හෝ මාරාන්තික නොවන ආකාරයෙන් භාවිත කිරීමට පුළුවන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටී.   


ඇතැම් අවස්ථාවලදී තනි පුද්ගලයෙකු ඉලක්ක කර ගනිමින් ජීව විද්‍යාත්මක අවි ප්‍රහාර එල්ල වන අතර, තවත් අවස්ථාවකදී පුද්ගලයන් පිරිසක් හෝ සමස්ත ජනගහනයක් පවා ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව තිබේ. ඒවා සංවර්ධනය කිරීම, අත්පත් කර ගැනීම, තොග ගබඩා කිරීම හෝ යෙදවීම රහසිගතව සිදු කරන්නේ නම්, එය ජෛව ත්‍රස්තවාදය ලෙස සැලකිය හැකිය.   
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ජෛව අවි සම්මුතිය හා රසායනික අවි සම්මුතිය වශයෙන් අණපනත් දෙකක් ක්‍රියාත්මක වේ. සාම්ප්‍රදායික ජාත්‍යන්තර මානුෂීය නීතිය මෙන්ම විවිධ ජාත්‍යන්තර ගිවිසුම් යටතේ ජීව විද්‍යාත්මක ආයුධ භාවිතය තහනම් වේ. සන්නද්ධ ගැටුමකදී ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීම යුද අපරාධයක් වශයෙන් සලකනු ලැබේ. එහෙත් අවාසනාවකට ජීව විද්‍යාත්මක අවි භාවිත කිරීම් බොහෝ විට සිදුවනුයේ රහස් ඔත්තුකරුවන් හරහා ඉතා සියුම් ලෙසිනි.   
ඉතිහාසයේ ඇතැම් යුද්ධයන් පැවැති අවස්ථාවලදී ඉතා කෲර ආකාරයෙන් ජීව අවි භාවිත කර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදයේ ජීවත් වූ ස්වදේශික ජනතාවන්ට එරෙහිව 1763 වසරේදී බ්‍රිතාන්‍ය හමුදාව විසින් වසූරිය පතුරුවා හැරීම අවියක් ලෙස භාවිත කර තිබේ. මේ හේතුවෙන් ස්වදේශික ජනකොටස් මිහිමතින් සම්පූර්ණයෙන් වඳ වී ගිය බැව් කියැවේ.   


පළමු ලෝක යුද්ධයේදීද ජර්මනියද මෙවැනි ජෛව අවි භාවිත කර ඇති අතර, ඇමෙරිකා එක්සත් ජනපදය 1940 දශකයේදී ජීව අවි සම්බන්ධයෙන් පර්‌යේෂණ සිදුකිරීම සඳහා වෙනම රසායනාගාරයක් පවත්වා ගෙන ගිය බවටද සාක්ෂි පවතින බැව් සඳහන් වේ. වසූරිය වෛරසය 1980 දී සෝවියට් දේශය විශාල ලෙස නිපදවා ජීව අවියක් ලෙස අනාගතයේ භාවිත කිරීමට ශීතකරණවල අසුරා තැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානය 1987 දී වසූරිය ලෝකයෙන් තුරන්කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ ද තවමත් මෙම වෛරසය ජෛව නාශක අවියක් ලෙස භාවිත කිරීමට භූ දේශපාලනික වුවමනාව මත ඇතැම් රටවල එය ආරක්ෂිතව ගබඩා කර ඇත.   
ජෛව විද්‍යාත්මක අවි, රසායනික අවි, විකිරණ අවි සහ පරමාණු අවි සමූල ඝාතක අවි යැයි නම් කළ හැක. මින් බොහොමයක් ජීවය පමණක් නොව පරිසරය ද වනසා දමයි. ජෛව අවි, රෝග ව්‍යාධි වසංගතයක් මෙන් දේශසීමාවලින් තොරව ක්ෂණිකව පැතිර යයි. ජෛව විද්‍යාත්මක යුද්ධය වෛරස යුද්ධයක් ලෙස ද හැඳින්වෙයි. විෂ බැක්ටීරියා, මරණීය වෛරස හා පුස් වර්ග යොදා ගැනීම මෙහි විශේෂත්වයයි. එමගින් මානවයා ඇතුළු ශාක හා ජීව විශේෂ විනාශ කළ හැකිය.   
ජීව අවි ලෙස අැන්ත්‍රෑක්ස් (Anthrax) බොටුලිසම් (Botulism) සහ වරියෝලා (Variola) සමූල ඝාතන හෝ විනාශකාරී ක්‍රියා සඳහා හමුදා තාක්ෂණය විසින් යොදාගන්නා වග පර්‌යේෂණ මගින් සොයාගෙන ඇත. හන්තා වෛරසය (Hanta Virus) බුනියාවෛරිඩේ (Bunyaviridae) පවුලට අයත් මරණීය අනුපාතය 50% ක් ඇති ලොව පුරා ඉතා බහුලව භාවිත ජීව අවියකි.   


බොටුලිනියම් බැක්ටීරියාව (Botulinum Bacteria) වායු විසිරුම් මගින් භාවිත, ජලය සහ ආහාර මත විසුරුවාහරින ජීව අවියකි. වරියෝලා (Variola) වසංගතයක් මෙන් අවසාධනය වන වසූරිය (Smallpox) රෝගාබාධය පතුරවයි. ඉබෝලා (Ebola) වෛරසය මරණීය අනුපාතය ඉතා ඉහළ අගයක් ගන්නා ජීව අවියකි. යෙර්සිනීයා පෙස්ටිස් බැක්ටීරියම් (Yersinia Pestis Bacterium) නිව්මෝනියා වසංගතය පතුරුවන ඉතා පැරණි ජීව නාශක යුද අවියකි. මාර්බර්ග් (Marburg) වෛරසය තවත් ජීව නාශක අවියකි.   
බැසිලියුස් අන්ත්‍රෑක්ස් (Bacillus Anthracis Bacteria) ජෛව නාශක යුද අවියක් ලෙස ඉතා බහුල ව භාවිත කරන අතර පරිසරයේ දිගු කලත් රැඳී පවතින මාරාන්තික බැක්ටීරියාවක් යැයි ද ජාතික ආරක්ෂාවට අවදානමක් යැයි ද අමෙරිකානු රෝගාබාධ පාලන ආරක්ෂක මධ්‍යස්ථානය මගින් නම් කර ඇත. කුඩු වශයෙන් ජලයේ හෝ ආහාර සමග මිශ්‍ර කළ හැකි සුවඳක් රහිත, රසයක් නැති, එය හඳුනාගත නො හැකි බැක්ටීරියාවකි.   


2001 එක්සත් ජනපදයේ තැපැල් ලිපියක් මත තවරා යැවීමෙන් 22 දෙනකු ආසාධනය වූ අතර පස්දෙනෙක් මිය ගියහ. බොටුලිනියුම් (Botulinum Toxin) විෂ රසායනය ජලය සමග හෝ ආහාර සමග මිශ්‍ර කළ හැකි ශ්වසනය මගින් ආග්‍රහනය වීමෙන් මිලියනයක පමණ ජනතාවක් ඝාතනය කරන අති භයානක ජෛව අවියකි. ජපානය දෙවන ලෝක යුද්ධයේදී මැන්චූරියාව ආක්‍රමණයේ දී මෙම රසායනය භාවිත කළේය.   
මාංශපේෂීන් සහ ස්නායු පද්ධතිය අඩපණ කරයි. මෙම බැක්ටීරියාව වනාන්තර, පොකුණු පත්ලේ අවශාධිත මත ස්වභාවික ව සොයාගත හැක. වරියෝලා (Variola Major) වසූරිය පතුරවන වෛරසයකි. අමෙරිකානු සුදු පාලකයන් ස්වදේශික ජනයා විනාශ කිරීමට යොදාගත් වග තහවුරු වී ඇත.   
1980 දී සෝවියට් දේශය විශාල ලෙස නිපදවා ජීව අවියක් ලෙස අනාගතයේ භාවිත කිරීමට ශීතකරණවල අසුරා තැබීය. ලෝක සෞඛ්‍ය සංවිධානය 1987 දී වසූරිය ලෝකයෙන් තුරන්කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ ද තවමත් මෙම වෛරසය ජෛව නාශක අවියක් ලෙස භාවිත කිරීමට භූ දේශපාලනික වුවමනාව මත ඇතැම් රාජ්‍යවල ආරක්ෂිතව ගබඩාකර ඇත. ෆ්‍රැන්සිසෙල්ලා ටුලාරෙන්සිස් (ටුලරෙමියා) (Francisella Tularensis) (Tularemia) පතුරවාහැරීම ඉතා පහසු අනතුරුදායක මරණීය බැක්ටීරියා ජීව අවියකි.   
සම තුවාල වීම, උණ, කැස්ස, වමනය සහ පාචනය මෙම බැක්ටීරියාව ශරීර ගතවීමේ රෝග ලක්ෂණයි. දෙවන ලෝක සංග්‍රාමයේ දී සෝවියට් රතු හමුදා ජර්මානු නාසි හමුදාවට එරෙහිව මෙම බැක්ටීරියාව යොදාගත්තේය. ඉබෝලා වෛරසය (Ebola Virus) 1976 දී කොන්ගෝ ජනරජයෙන් ප්‍රථම වරට හඳුනාගත්තේය. පලතුරු වවුලාගෙන් ව්‍යාප්තවූයේ යැයි සැකකරන මෙම වෛරසය ආසාධනය වීමෙන් මරණ අනුපාතය සියයට 50ක් දක්වා ඉහළ යා හැකිය. මානවයාට එරෙහිව යොදාගත හැකි ජෛව විද්‍යාත්මක සමූල ඝාතක අවියකි.   
ලෝකය පුරා 20 වන සියවසේ 1918 වසරේ පැතිර ගිය වසංගතය ස්පාඤ්ඤ උණ (Spanish Flu) යනුවෙන් හැඳින්වේ. ආසන්න වශයෙන් මිලියන 500 ක් ආසාධනයට ලක් වූ අතර මිලියන 50ක් ජීවිතක්ෂයට පත් වූහ. දරුණු උණ වසංගතයක් නැගෙනහිර ආසියාවේ 1957 සහ 1968 වසරවල පැතිර ගියේය. චීනයෙන් ආරම්භ වී සිංගපපූරුව, හොංකොං සහ එක්සත් ජනපදය දක්වා පැතිර ගියේය. මරණ සංඛ්‍යාව මිලියන දෙකකි. 1968 - 69 හොංකොං හි උපත ලැබ, හොංකොං උණ වසංගතය මිලියනයක් මරණයට පත්කරමින් ආසියාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය සහ ඇමෙරිකාව දක්වා ව්‍යාප්ත විය. ඉබෝලා වසංගතය 1976 ආරම්භ වී නැවත 2014 සියෙරාලියොන්, ලයිබීරියා, ගිනියා සහ බටහිර අප්‍රිකාවේ පැතිර ගිය අතර, වාර්තා වූ මරණ සංඛ්‍යාව 11.000 කි.   


ආහාර වෙළෙඳ පොළ වෙත ඇමෙරිකානු රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමුවූයේ 1969 වසරේ දී ය. එවකට අමෙරිකාවේ ජනාධිපතිවරයා වූ රිචඩ් නික්සන් ලෝක ජනගහනයේ අධික වර්ධනය ගෝලීය ස්ථාවරත්වයට හා සාමයට තර්ජනයක් යැයි අනතුරු ඇඟවූයේය. 1970 දශකයේ අමෙරිකානු රාජ්‍ය ආයතන හා විශ්වවිද්‍යාල එක්ව ලෝක ජනගහනය වැඩිවීම එක්සත් ජනපදයේ ආරක්ෂාවට තර්ජනයක් වීම ගැන විවිධ පර්‌යේෂණ ආරම්භ කළේය. ඒ සඳහා ලෝක ජනගහන වර්ධනය හා එක්සත් ජනපද අනාගතය ගැන සොයා බැලීමට කොමිසමක් පත් කළේය.   
එක්සත් ජනපද රජයද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මධ්‍යම විමර්ශන ආයතනය, පෙන්ටගනයේ යුද උපදේශකයන්, USAID ආයතනය මෙම කොමිසමේ සාමාජිකයෝ වූහ. මෙම කොමිසම ජනගහනය සීමාකිරීම ගැන පමණක් නොව, ආහාර අර්බුදය ඛනිජ තෙල් සම්පත් පාලනය ගැන දුප්පත් රටවලට අනතුරු ඇඟවූහ. කොමිසම විසින් ප්‍රකාශයට පත් කළ පර්‌යේෂණ වාර්තාව සාගතය, නියඟය, රෝගාබාධ හා යුද තත්ත්ව ජනගහන පාලනය සඳහා උපායමාර්ග ලෙස හැඳින්වීය.   
ජෛව රසායනිකත්වය පිළිබඳ අර්ථ නිරූපණය, ජෛව විද්‍යාත්මක ඉතිහාසය සහ තවත් විමසා බැලීමේදී සතුරාට වඩා උපාය මාර්ගික හෝ උපයාශීලී වාසියක් ලබා ගැනීම සඳහා ජීව විද්‍යාත්මක ආයුධ විවිධාකාරයෙන් යොදා ගත හැකිය. සමහර රසායනික අවි මෙන්ම ජෛව විද්‍යාත්මක අවිද මාරාන්තික හෝ මාරාන්තික නොවන අතර තනි පුද්ගලයෙකුට, පුද්ගලයින් පිරිසකට හෝ සමස්ත ජනගහනයකට පවා ඉලක්ක ගත විය හැක. ඒවා සංවර්ධනය කිරීම, අත්පත් කරගැනීම, තොග ගබඩාකිරීම හෝ යෙදවීම ජාතික රාජ්‍යයන් හෝ ජාතික නොවන කණ්ඩායම් විසින් ද සිදු කළ හැකිය. දෙවැන්න නම් ජාතික රාජ්‍යයක් එය රහසිගතව භාවිත කරන්නේ නම් එය ජෛව ත්‍රස්තවාදය ලෙසද සැලකිය හැකිය.   
ජාත්‍යන්තර මානුෂීය නීිතිය මෙන්ම විවිධ ජාත්‍යන්තර ගිවිසුම් යටතේ ජීව විද්‍යාත්මක ආයුධ භාවිතය තහනම්ය. මහ පරිමාණ නිෂ්පාදනය, තොග ගබඩා කිරීම සහ ජීව විද්‍යාත්මක ආයුධ භාවිතය ඇතුළු ජීව විද්‍යාත්මක යුද්ධ 1972 වසරේදී සම්මත කෙරුණු “ජීව විද්‍යාත්මක අවි සම්මුති” විසින් තහනම් කරන ලදී. 2013 වසරේ අප්‍රේල් මාසය වන විට රටවල් 170 ක් විසින් අනුමත කළ මෙම ගිවිසුම පිටුපස ඇති තර්කය නම්, සිවිල් වැසියන්ට විශාල හානියක් සිදු විය හැකි යැයි සිතිය හැකි ජෛව ආර්ථික ප්‍රහාරයක් වැළැක්වීම සහ ආර්ථික හා සමාජීය යටිතල ව්‍යුහයට දැඩි බාධාවක් ඇති කිරීමයි.   


න්‍යෂ්ටික, රසායනික හෝ සම්ප්‍රදායික ආයුධවලට වඩා බොහෝ දුරට විනාශයේ හා ජීවිත හානිය වැඩි කිරීමට ජෛව අවි ආයුධ ඉඩ සලසයි. යුද හමුදා භාවිතය සඳහා උපායශීලී අවියක් ලෙස ජීව විද්‍යාත්මක අවි භාවිත කරන අතරම එය භාවිතයේදී ඇතිවන ගැටලුවක් වන්නේ, එහි බලපෑමක් වීමට දින කිහිපයක් ගතවීමය.   
සමහර ජීව විද්‍යාත්මක කාරකයන්ට (වසූරිය, නියුමෝනියා වසංගත) වායුගෝලීය ශ්වසන ජල බිඳිති හරහා පුද්ගලයා ගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය කිරීමේ හැකියා ඇත. ජෛව රසායනිකත්වය යනු දේශපාලන හෝ වෙනත් හේතුවක් නිසා සිවිල් ජනතාවට හානි කිරීම හා ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා විෂ රසායනික ද්‍රව්‍යයක් නිකුත් කිරීමයි. එක්සත් ජනපද මධ්‍යස්ථානයේ රෝග පාලනය, ප්‍රහාරයක් සඳහා යොදාගත හැකි වෛරස්, බැක්ටීරියා සහ විෂ වර්ග වර්ග කරනු ලැබ ඇත.
මේ අතර ඉකුත් දෙසැම්බර් 09 වැනිදා ජිනීවාහි දී අවසන් කරන ලද ජෛව විද්‍යාත්මක අවි පිළිබඳ සම්මුතිය සඳහා වූ පාර්ශ්ව රාජ්‍යයන් හි රැස්වීමේ සිව් දින සැසිවාරයේ දී, 2020 දී පැවැත්වීමට නියමිත පාර්ශ්ව රාජ්‍ය රැස්වීමේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට ලබාදීම ඒකමතිකව අනුමත කළ බව විදේශ සබඳතා අමාත්‍යාංශය අවධාරණය කළේය. ජිනීවා හි සිටින, එක්සත් ජාතීන් සඳහා ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත තානාපතිවරයා 2020 පාර්ශ්ව රාජ්‍යවල රැස්වීමෙහි සභාපති ධුරය භාරගනු ලබන්නේ එම ධුරයෙන් ඉවත්ව ගිය ප්‍රංශ තානාපති යාන් හ්වාන්ග් මහතා වෙතිනි.   


ලබන වසර වන විට මෙම සම්මුතිය බලාත්මක වී වසර 45ක් සපිරෙන හෙයින් ද, 2021 නව වැනි සමාලෝචන සමුළුව සඳහා වූ විශේෂඥ රැස්වීම් හා පෙර සූදානම් රැස්වීම් මාලාවක් 2020 වසර මුළුල්ලේම පාර්ශ්ව රාජ්‍ය විසින් කැඳවනු ලැබෙන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී. මේ නිසාවෙන් විශ්වීයකරණය සහ ජාතික වශයෙන් මෙම සම්මුතිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කරමින් එහි අරමුණු පූර්ණ වශයෙන් සාක්ෂාත් කර ගැනීමට ජාත්‍යන්තර සහයෝගීතාව හා සහාය ශක්තිමත් කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ සභාපතිත්වය ඉතා සුවිශේෂී වන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.   


ජෛව විද්‍යාත්මක අවි සම්මුතිය ලෙස ජනප්‍රිය වී ඇති, බැක්ටීරියා විද්‍යාත්මක (ජෛව විද්‍යාත්මක) සහ විෂ අවි අලුතින් සොයාගැනීම, නිෂ්පාදනය කිරීම හා ගබඩා කිරීම තහනම් කිරීම සහ ඒවා විනාශකිරීම පිළිබඳ සම්මුතිය මඟින්, ජෛව විද්‍යාත්මක හා විෂ අවිතහනම් කෙරෙන අතර, එය සමූල ඝාතක අවි ගුණනය කිරීමට එරෙහිව කටයුතු කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව දරන ප්‍රයත්නවල දී සහ වේගයෙන් භයානක තත්ත්වයක් කරා ගමන් කරමින් පවතින ගෝලීය පරිසරයක් තුළ ජාතික ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා පාර්ශ්ව රාජ්‍ය දරන ප්‍රයත්නවල දී ඉතා වැදගත් අංගයක් බව විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.   


ජීවිතය පදනම් වී ඇත්තේ, බොහෝ සෙයින් හැඟීම් සමගය. බුද්ධිය එකතු වුවද හැඟීම් මත වන ක්‍රියාකාරකම් ඔස්සේ ජීවිතය ගලායන බව විශ්වාස කළ හැකිය. මේ හැඟීම් සැබෑවට නොපෙනෙන පරිදි කෘත්‍රීම දිසාවකට වෙනස්වෙමින් පැවතීම සැඟවිය හැක්කක් නොවේ. භෞතික විද්‍යාව, ජීව විද්‍යාව වැනි ස්වභාවික විද්‍යාවන්ද, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, සමාජ විද්‍යා වැනි සමාජීය විද්‍යාවන්ද අවශ්‍ය වන්නා සේම ඊට එහා ගිය හෝ ඊට හසු නොවන ලෝකය, ස්වභාව ධර්මය, ජීවිතය තේරුම් ගැනීමක්ද අත්‍යවශ්‍ය වන්නේය.   
මිනිසා සීමාරහිත නොවන බව එහිදී හැඟී යා හැක. මිනිසා වඩා පහසු ජීවිතයක් උදෙසා ක්‍රියා කිරීම වරදක් වන්නේ නැත. එහෙත් සිතිය යුත්තේ මිනිසා මෙතෙක් ක්‍රියාකර ඇති ආකාරයෙන් පෙරට වඩා හොඳ ජීවිතයක් මිනිසාට උදා වී ඇද්ද යන්නය.   


ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිල වෙබ් අඩවිය, බිස්නස් ඉන්සයිඩර් වෙබ් අඩවිය සහ විකිපීඩියා ඇසුරෙනි.

 

 

සටහන
තිළිණි ද සිල්වා