• වතුර මිල වැඩි නිසා ජනතාව Reverse Osmosis ජලය භාවිතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධාන අනතුරු අඟවයි.   
  • SLS නැති වතුර SLS බෝතලේ දමා පාරිභෝගිකයන් සූරා කන වතුර ජාවාරම්කාරයෝ   
  • රු. 50 සිට 120 දක්වා විකුණන වතුර බෝතලයක් කඩේට ද‌ාන්නේ රු. 14කට බව ඔබ දන්නවා ද?   

 

 

කිරි විකුණාගත නොහැකිව කිරි බවුසර්වලින් නාන ගොවීන් පිරිසක් අපට පසුගිය යුගයේ රූපවාහිනී ඔස්​ෙස් දැකගත හැකිවිය. ඔවුන්ගේ චෝදනාව වූයේ නිෂ්පාදන වියදමවත් පියවාගත නොහැකිව තමන්ට දියර කිරි අලෙවි කරගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවකි.   


එම කිරි ගොවීන් තම විරෝධතාවයේදී කියා සිටියේ තමන්ට කිරි ලීටරයක් රු. 50/-කටවත් විකුණාගත නොහැකි බවකි. එහෙත් මෙහි අප සැලකිල්ලට ගත යුතු තත්ත්වය කුමක් ද? අධික වියදමක් දරා රු. 50කට කිරි ලීටරයක් විකුණාගත නොහැකි වූ විටෙක පවා ලංකාවේ වතුර ලීටරයක් රුපියල් සියය ඉක්මවා අලෙවි කළ හැකි නොවේ ද?   


වතුර බෝතල මෙරට වෙළෙඳපොළට ආගමනය සිදුවන්නේ 1977 විවෘත ආර්ථිකයත් සමගය. කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා සුපර් මාර්කැට්ටුවට මෙම වතුර බෝතල් ගෙනවිත් ඇත්තේ අැන්ග්ලෝ එ්ෂියන් නමැති සුපර් මාකට්ටුවකටය. එහෙත් ඊට පෙර ද තානාපති කාර්යාල සහ විදේශිකයන් අවිධිමත් ලෙස වතුර බෝතල් මෙරටට ගෙනා බව සඳහන් නොකළහොත් එය අඩුපාඩුවකි.   


වාණිජ මට්ටමෙන් අලෙවි කෙරුණු වතුර බෝතල් මෙරටට ආනයනය කොට තිබුණේ ක්වාලාලාම්පූර් නුවර සිටය. කිසිදු පිරිසිදු කිරීමකින් තොරව පානයට ගත හැකි හිම බිඳක් වැනි ලංකාවේ ජල බිඳකත්, හතර වටින් නාගරීකරණයෙන් දූෂිත වූ ජලය පිරිපහදු කොට ඇසුරුම් කරන ක්වාලාලාම්පුරයේ (Kwalalampur) වතුර බිඳකත් වෙනස පාඨක ඔබට අමුතුවෙන් වටහා දියයුතු නොවේ.   


වතුර - ජලය ආදී කුමන අන්දමින් හැඳින්වුව ද අතදරුවන් ‘ජෝ’ වැනි සුරතල් අන්දමින් ඇමතුව ද වතුර අපිට නැතිවම බැරිය. මිනිසුන් නිරෝගී කරන්නට වතුරට ඇත්තේ පුදුම බලයකි. බොහෝ වියපත් දෙමාපියන් තම අන්තිම කැමති පත්‍රය ලියද්දී අන්තිම මොහොතේ ‘වතුර බිඳක්වත්’ දීමට ඉන්නේ උඹ විතරයි පුතේ යයි කීමට වතුර අපගේ ජීවිතයට කෙතරම් අත්‍යවශ්‍යදැයි හොඳටම සාක්ෂියකි.   


වතුරට විකල්පයක් සොබාදහම නිපදවා නැත. එහෙත් ගුවන්යානයකදී වැසිකිළි පිරිසිදු කිරීමට මෙන්ම කර්මාන්ත පිරිසිදු කිරීමට Vacuumed Air හෝ Compressed Air භාවිත කරනු අපට දැකගත හැකිය. එහෙත් සමාන්‍ය ජන ජීවිතයේදී වතුර නිවසට කොම්ප්‍රෙෂරයකින් හුළං ගසා ගන්නට අප කවුරුත් පියවර ගන්නේ නැත.   


වතුර බෝතලය නොහොත් Water Bottle එක සාමාන්‍ය කඩපිලට එන්නේ අසූව දශකයේදී එය දේශීය නිෂ්පාදනය ආරම්භ විමත් සමගය. වතුර බෝතල කඩවලට ද‌ාන්න ගිය ‘සෙල්ස් රෙප්’ කෙනකු හතළිස් වසරකට ආසන්න තම අතීත සිදුවිම් අපට පවසා සිටියේ මෙසේය.   


“වතුර බෝතල් විකුණන්න තියෙනව කිව්වම සමහර කඩකාරයෝ හිනා වුණා. නිකං බොන වතුර ටිකත් විකුණන් කන්න ද ඇහුවා. ගොඩක් කඩවල වතුර බෝතල් විකුණන්න භාර ගත්තෙත් නැති වූ නිසා විකුණුනාට පස්සේ සල්ලි ගෙවන පොරොන්දුවට කඩවලට වතුර බෝතල් දැම්මා. අද නම් කඩේක රාක්කවලින් බාගයක් විතර ගොඩ ගහල තියෙන්නේ වතුර බෝතල්.   


අද වතුර බෝතල් කිරීම දේශීය නිෂ්පාදකයන් 150කට අධික පිරිසක් සිටින දැවැන්ත ව්‍යාපාරයක් බවට පත්ව ඇත. මේ බොහෝ වතුර ඇසුරුම් කරන්නන් ප්‍රකෝටිපතියන් කරන්නට ‘වතුර’ සමත්ව ඇත. වතුර බෝතල් ඇසුරුම් කරන්නන්ගේ සාමාජිකයන් ගණන 121 කි.”   


මෙසේ කරුණු පෙළගැස්වීමේදී අවසානයේ අප කීමට කරුණු පෙළ ගස්වන්නේ ‘පිපාසයට ජල බිඳක්’ සාධාරණ මිලකට ගත නොහැකිව අගතියට පත් පොදු ජනතාවගේ අවනඩුවයි.   


මෙරට වතුර ඇසුරුම් කරන කර්මාන්තශාලා අතරින් 6ක් පමණ දැවැන්ත කර්මාන්තශාලාය. තවමත් දේශීය නිෂ්පාදකයන් අත පවතින මෙම ව්‍යාපාරයට දැන් බහුජාතික සමාගම් ද අත පොවා ඇත. පසුගිය සතිය තම දැවැන්ත ජාත්‍යන්තර වෙළෙඳ නාමය යටතේ ‘වතුර බෝතල්’ වෙළෙඳපොළට පිවිසි සමාගමක් දැන් දේශීය වතුර ඇසුරුම්කරුවන් ආක්‍රමණය කරමින් සිටී.   


එම බහුජාතික සමාගම වතුර බෝතල් කේස් 1කට තවත් එකක් නොමිලේ දීම නිසා දැන් දේශීය වතුර කර්මාන්තය පත්ව ඇත්තේ දැඩි අවදානමකටය. මෙම වතුර බෝතලයේ SLS ලාංඡනය ඇත්තේ ඇසුරුම් කරන බෝතලයට පමණකි.   


වතුර කෙතරම් අත්‍යවශ්‍ය පාරිභෝගික අයිතමයක් වුවත් එය අලෙවි කළ හැකි උපරිම මිලක් වෙළෙඳපොළේ නැත. වෙළෙඳපොළ පාරිභෝගිකයා වැඩිපුරම ජනප්‍රිය මිලිලීටර් 500 වතුර බෝතලයයි. එම වතුර බෝතලයේ කඩේ රු. 50, 60, 90, 120 ආදී විවිධ මිල ගණන් දක්නට හැකිය. එහෙත් එම මිලි ලීටර් 500 වතුර බෝතලයක් වෙළෙඳපොළට නිකුත් කරන්නේ රු. 14 වැනි අඩු මිලකට බව අසරණ පාරිභෝගිකයෝ නොදනිති.   
විවිධ නිෂ්පාදකයන් රු. 70ත් 140ත් අතර හිතුමනාපේ විකුණන වතුර ලීටරයේ බෝතලයක තොග මිල රු. 20/- කි. බොහෝ වතුර නිෂ්පාදකයන් මිලිලීටර් 1500 බෝතල් නිෂ්පාදනයට අත නොගසන්නේ ඇයි දැයි ප්‍රශ්නයකි. වෙළෙඳපොළේ ඇති එම බෝතල් ද පාරිභෝගිකයන් ගසාකමින් හිතුමනාපේ විකුණනු දක්නට ඇත.   


මෙම වතුර බෝතල් සඳහා උපරිම මිලක් සාකච්ඡා කළ ද පරිභෝගික අධිකාරිය සමග පැවති සාකච්ඡා තවමත් ඵල දරා නැත. වතුර ඇසුරුම් කරන ආයතන මෙහිදී යෝජනා කොට ඇත්තේ මිලිලීටර් 500ක වතුර බෝතලයක් රු. 30/-ට ද වතුර ලීටරයක් රු. 50/-ට ද ලීටර් එකහමාර වතුර බෝතලයක් රු. 60/-ට ද මිල නියම කළ යුතු බවය.   


පාරිභෝගික අධිකාරියට මෙම පාලන මිල නීතිගත කරන්නට හරහට සිට ඇත්තේ වතුර බෝතල් නිෂ්පාදනය කරන දැවැන්ත කර්මාන්තශාලා තුන හතරකි. ඔවුන්ගේ වෙළෙඳ නාමයන් නමින්ම ජනතාව ඉල්ලන නිසා ඔවුන් ලබන්නේ අධික ලාභයකි. ...... වතුර බෝතලේ කටට මුද්‍රා තබන ස්ටිකරය පාරිභෝගික අධිකාරිය මිල යෝජනා කොට තිබුණේ රු. 2කටය. එහෙත් වතුර නිෂ්පාදකයන්ගේ සමිතිය ඊට එරෙහිව නඩුමගට පිවිසී ඇති බව අපට දැනගන්නට ලැබුණි.   


වෙළෙඳපොළේ ඇති සිගරට්ටුවක් විකිණීමෙන් සිල්ලර වෙළෙන්දකුට ලැබෙන ලාභය රුපියලකටත් අඩුය. සබන් කෑල්ලක් විකිණීමෙන් ලැබිය හැක්කේ රු. 2ටත් වඩා අඩු ලාභයකි. රු. 100ක රීලෝඩ් එකකින් ලැබෙන්නේ රු. 3ක සොච්චම් කොමිස් මුදලකි. එහෙත් සාමාන්‍ය පෙට්ටි කඩයක වතුර බෝතලයක් විකිණීමෙන් ලද හැකි ලාභය 100%කටත් වැඩිය. බෝතලය කූල් කළහොත් පාරිභෝගිකයාට අබ සරණය.   
වතුර බෝතලයේ මේ ගසාකෑමෙන් සිදුවූයේ කුමක් ද? ජනතාව වතුර වෙනුවට වඩා විවිධ රසායනික කෘත්‍රීම බීමවලට පෙළඹීමය. පිටකොටුව වැනි ප්‍රදේශවල බෝතල්වලට අපිරිසිදු ජලය පිරවීමෙන් පාරිභෝගිකයන් එළිපිට ගසාකෑමය.   


වතුර ඇසුරුමට නෛතිකව බලපත්‍ර ගතයුතු පරිසර අධිකාරිය, ජල සම්පාදන මණ්ඩලය, ශ්‍රී ලංකා ප්‍රමිති අායතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික අධිකාරිය සහ ඇසුරුම් බෝතල්වල SLS සහතිකය පිටකොටුවේ එළිපිට දියසෙවල ඇති වතුර අසුරන්නන්ට බලපාන බවක් දක්නට නොලැබේ.   


මිනිසකු දිනකට පානය කළ යුතු වතුර ලීටර් ප්‍රමාණය ලීටර් 3ක් බව වෛද්‍ය මතයයි. මේ මහා පරිමාණ ජල ප්‍රෝඩාව නිසා අන්තිමට පාරිභෝගිකයින් වතුරෙන් ඈත්වන අතර වතුර පානය කරන්නන්ගේ සාක්කුව හිස්වන්නේ බලන් හිදිද්දීය.   


මේ වතුර ජාවාරම නිසාම දැන් වතුර වෙළෙඳපොළට පිවිස ඇත්තේ කිසිදු ප්‍රතිශක්තිකරණයක් නැති මල ජලය Death Water නමින් හැඳින්වෙන Reverse Osmosis ජලයයි. මෙහි ජලයේ සියලු ඛනිජලවන ඉවත් කොට ඇත. මේ ජලය පානය ගැන දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයට අනතුරු අඟවා ඇත.   


මෙම ජල පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් භාවිතයට ගැනෙන්නේ කිවුල් ජලය පිරිපහදු කිරීමටය. ඒවා යොදා ගැනෙන්නේ සේදීම් කටයුතු සහ කාර්මික කටයුතු සඳහාය. සාමාන්‍යයෙන් පිරිසිදු කළ ජලයේ ඇති කිසිදු ගුණාංගයක් මෙම ජලයේ නැත. පිපාසය සංසිදෙන්නේ අවම වශයෙනි.   


ලංකාවේ වතුර බෝතල් නිෂ්පාදනය කරන්නන්ගේ කර්මාන්ත ශාලා පිරික්සීමේදී ‘ඇති හැකිකම’ මත නිෂ්පාදන නිර්දේශ ක්‍රියාත්මක වන බැව් පෙනේ. කුඩා නිෂ්පාදකයින් නම් පී.එච්.අයි. මහත්තයා තම වාහනයකින් නිෂ්පාදනාගාරයට හෝ ජල උල්පත ඇති තැනට ගෙනගොස් නිර්දේශය ලබාගත යුතුව තිබේ. එහෙත් දැවැන්ත වතුර නිෂ්පාදකයින්ට ඕනෑම තැනකින් හෝ කුනු වළකින් වතුර රැගෙනවිත් පිරිපහදු කිරීමේ හැකියාවක් ඇත. කැලණි ගඟේ ​ඉහළින් කාර්මික අපද්‍රව්‍ය එක් වී ගලා එන වතුර නැවත පිරිපහදු කරන්නටද උත්සාහ කිරීම හතර බීරි කතාවක් නොවේද?   


මොන මොන කතා කිව්වත් අවසානයේ බීමට වතුර බිඳත් නැතුව අසරණව ඇත්තේ මෙරට බාල වියේ සිට වැඩිහිටියන් දක්වා පොදු ජනතාවය. මසකට ඉවතලන ප්ලාස්ටික් බෝතල් ප්‍රමාණය මිලියන තිහකට අධිකය. විකල්ප පරිසර හිතකාමී ජල ඇසුරුම් ගැන අපට ඇත්තේ බලාපොරොත්තුවක් පමණකි.   


වතුර බෝතලයේ මිල උපරිම මිලකට යටත් නොකළහොත් මෙරට සෞඛ්‍ය සම්පන්න ජනතාවට එල්ල වන්නේ මරු පහරකි. ඊටත් වඩා වතුර බෝතලයේ මිල පාලනයකට ගෙන ඒම රජයකට කිසිදු වියදමකින් තොරව මැදිහත් විය හැකි කරුණකි.   


මීතොටමුල්ල කුණු කන්ද පුපුරන තුරු සිටියා මෙන් වතුර බෝතල් නිෂ්පාදනය බහුජාතික සමාගම් බූවල්ලා ආක්‍රමණය කරන්න තුරු ආණ්ඩුවේ ඇමැතිවරු කොමිස් කුට්ටි දෙස බලමින් කල් මැරිය යුතු නැත්තේ ඒ නිසාමය.

 

 

 

 

 

වජිර ලියනගේ