කොහාගේ කොහෝ නාදයත් සමඟ පැමිණෙන සුන්දර බක්මාසය නුවරඑළිය නගරයට සශ්‍රිකත්වය ලබාදෙන්නකි. මන්දයත් නේකවර්ණ වූ පුෂ්පයන්ගෙන් හා නොයෙකුත් සුන්දර ස්ථානයන්ගෙන් පරිපූර්ණ වූ සොබා දහමේ අපූරු නිමැවුමක් වන නුවරඑළිය සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බැවිනි.


දෙස් විදෙස් සංචාරකයන් බොහොමයක් තනිව හෝ කණ්ඩායම් වශයෙන් හෝ පැමිණ දින ගණනාවක් ලැගුම්ගන්නා මේ කාලය සංචාරක හෝටල් හිමියන්ට හා නිවෙස් කුලියට දෙන්නන්ට ආදායම් උපදවා දෙයි.


එහිදී මිල මුදල් ගෙවා විනෝදය හා සතුට ලබාගැනීමට එන සංචාරකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව කටයුතු කිරීම සංචාරක ව්‍යාපාරයේ නිරත සියලු දෙනා අවධානයට ගත යුත්තකි.


මන්දයත් පසුගිය වසරවල සංචාරක නවාතැන්වලදීම අවසන් සුසුම් හෙළන ලද පුද්ගලයන් පිළිබඳ සිද්ධි ඇති වූ බැවිනි.


ඒ පිළිබඳව සොයා බැලීමේදී ප්‍රමිතිගත නොවන නවාතැන් හා සීතල සමනය කිරීම සඳහා භාවිතයට ගත් බාබකිව් මැෂින් පිළිබඳව වෘත්තාන්තය කාගේත් අවධානයට ගත යුතු කරුණකි.


එම නිසාම සතුට සොයා පුංචි එංගලන්තයට පැමිණෙන ඔබ ඔබගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා බාබකිව් මැෂිමේ සැඟවුණ මාරයා පිළිබඳව දැනුම්වත් විය යුතුය. ඒ පිළිබඳව තොරතුරු ගෙන ඒමට ජාතික විෂ තොරතුරු ඒකකයේ ප්‍රධාන වෛද්‍ය වරුණ ගුණතිලක මහතා සම්බන්ධ කර ගත්තෙමු.


ජාතික විෂ තොරතුරු ඒකකයේ ප්‍රධානී වෛද්‍ය විශේෂඥ වරුණ ගුණතිලක.


හැම වසරකම නුවරඑළියේ අප්‍රේල් මාසයේ වසන්ත සැණකෙළිය සැමරෙනවා. ලංකාවේ බොහෝ ප්‍රදේශවල සිට සංචාරකයින් නුවරඑළියට පැමිණෙනවා. ඔවුන් නවාතැන් ගන්නේ එහි ඇති ගෙස්ට් හවුස්, රෙස්ට් හවුස්වල. පුංචි එංගලන්තය කියලා හඳුන්වන නුවරඑළියේ උෂ්ණත්වය සමහර කාලවල පහත වැටෙනවා. උදේට සහ රාත්‍රියට ඇතිවෙන්නේ අධික සීතලක්. නුවරඑළියෙන් බැහැර ප්‍රදේශවල සිට එන සංචාරකයන්ට එම සීතල ඔරොත්තු දෙන්නේ නෑ. නුවරඑළියේ තිබෙන සමහර හෝටල්වල කාමර උෂ්ණ කිරීමේ උපකරණ තිබෙනවා. ඒත් සමහර හෝටල්වල එම පහසුකම් නෑ. එවැනි වාතාවරණයක දී කාමර උෂ්ණ කිරීම සඳහා විවිධ උපක්‍රම භාවිතා කිරීම සිදුකරනවා.


පසුගිය කාලයේ එසේ භාවිත කළ එක් උපක්‍රමයක් වූයේ බාබකිව් මැෂින්. මෙම මැෂිම භාවිතයට ගන්නේ මස් පුළුස්සා සකස්කර ගැනීම සඳහා. එය ගෙවල් ඇතුළේ පාවිච්චි කරන දෙයක් නෙමෙයි. බාහිර පරිසරයේදී පාවිච්චි කරන දෙයක්. ඒත් එම බාහිර පරිසරයේදී පාවිච්චි කරන බාබකිව් මැෂිම කාමර උණුසුම සඳහා භාවිත කිරීමෙන් මරණ රාශියක් පසුගිය වසරවලදී සිදුවී තිබෙනවා. එය භාවිතයේ ඇති අවදානම නොදන්නාකම නිසා සිදුවූ දෙයක්. පුද්ගල දැනුවත්භාවයෙන් එය වළක්වාගන්න පුළුවන්.


බාබකිව් ග්‍රිල් එකේදී දහනය සඳහා දර, ගල් අඟුරු වැනි දෑ උපයෝගී කරගන්නවා. කාමරයක එය සක්‍රීය කර ජනෙල් දොරවල් වසා නිදාගත්තම කාබන් මොනොක්සයිඞ් වායුවේ බලපෑමට ලක්වෙනවා. හේතුව දහනය තුළින් එම වායුව මුදාහැරීම. අපි හුස්ම ගන්නේ ඔක්සිජන් වායුව. කාබන් මොනොක්සයිඞ් කියන්නේ ස්වසන අපහසුතා ඇතිකරන වායුවක්. එයට පුළුවන්කම තිබෙනවා හිමෝග්ලොබින් එක්ක බැඳෙන්න. එහි ප්‍රතිඵලය වෙන්නේ ඔක්සිජන් වෙනුවට කාබන් මොනොක්සයිඞ් රුධිරය පුරා පරිවහණය වීම. එම විෂ වායුව ආඝ්‍රාණය නිසා මිනිසුන් මරණයට පත්වීමේ ප්‍රවණතාව වැඩිවෙනවා. 


එමනිසා බාබකිව් මැෂිම කාමර උණුසුම්කරණයට භාවිත කිරීම නුසුදුසු දෙයක්.


විශේෂයෙන්ම උත්සව සමයේ නුවරඑළියට එන සංචාරකයන් නවාතැන් ගැනීමට හෝටල් තෝරා ගැනීමේදී සෞඛ්‍යට හිතකර පහසුකම් ඇති හෝටල් තෝරාගැනීම පිළිබඳව දැනුම්වත් වෙන්න ඕනෑ. ඒ වගේම හෝටල් අයිතිකාරයනුත් පුද්ගල ආරක්ෂාව සැපයීමට බැඳී සිටින්න ඕනෑ.


විශේෂයෙන්ම බාබකිව් මැෂිම නිවෙස් තුළ දහනය නොකළ යුතු අතර එළිමහනේ දහනය කළ යුතු බව මතක තබා ගත යුතුයි.
ඒ වගේම බාබකිව්වලින් පිසගන්නා ආහාර ආරක්ෂා සහිත බව වෛද්‍ය විද්‍යාත්මකව පිළිගන්නේ නෑ. ඉන් සිදුකරන්නේ මස් පිළිස්සීමක්. ඒ මගින් මස්වල ව්‍යුහය වෙනස් වී රසායනික ප්‍රතික්‍රියා ඇතිවෙනවා. ඒවා පිළිකා කාරක විය හැකියි. ඒ පිළිබඳවත් බාබකිව් භාවිත කරන අය දැනුවත් විය යුතුයි.


තවත් වැදගත් කරුණක් ලෙස කාබන් මොනොක්සයිඞ් ශරීරගත වූවෙකුට දෙන ප්‍රථමාධාර පෙන්වාදෙන්න පුළුවන්. විශේෂයෙන්ම ජනෙල් දොරවල් හැර පිරිසිදු ඔක්සිජන් ලැබීමට සැලැස්විය යුතු අතර වහාම රෝහල්ගත කිරීම කළ යුතුයි.


විශේෂයෙන්ම මෙවැනි අනතුරුවලට මත්පැන් පානය කළ අය බඳුන්වෙනවා. හේතුව අධික මත්ගතිය නිසා ඔවුන් ඉහත කී තත්ත්වයකදී සිහි මුර්ජාවීම. එවැන්නන් කාමරයක බාබකිව් මැෂිමක් භාවිත කිරීමට කටයුතු නොකළ යුතු බව අවධාරණයට ගත යුතුයි. දර සහ ගල්අඟුරු දහනයෙන් පිටවන කාබන් මොනොක්සයිඞ්වලට ජීවිතයක් බිලිගත හැකි බව දැනගත යුතුයි.


පිටරටවල නම් හෝටල්වල ස්මෝක් සෙන්සර්ස් භාවිතයට ගන්නවා. ලංකාවේ ඇතැම් හෝටල්වල එවැනි දියුණු ක්‍රමවේදයන් නෑ. එවැනි ක්‍රමවේදයන් තිබෙනවානම් කාමරයක දුමක් නැගෙනවිට ආරක්ෂක කුටියට දැනුම් දීම සිදුවෙනවා. ඉන් සේවාදායකයන්ගේ ආරක්ෂාව සැලසෙනවා. ප්‍රමිතිගත හෝටල් පරිපාලනය අත්‍යවශ්‍ය ඒකයි.


මේ පිළිබඳව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන අතර නුවරඑළියේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය මගින්ද දැනුවත් කිරීම සිදුවෙනවා.
සටහන : කුමාරි හේරත්