ලෝකයේ සෑම රටකටම පාහේ පිළිගත් මුදල් ඒකකයක් ඇත. අපට රුපියල්ය. ඇමරිකාවට ඇමරිකානු ඩොලර්ය. යුරෝපා රටවලට යූරෝය. එංගලන්තයට ස්ටර්ලින් පවුම්ය. ජපානයට යෙන්ය. චීනයට යුවාන්ය. මේ ආදී වශයෙන් සියලුම රටවල් තම තමන්ගේ රට තුළ සිදුවන ගනුදෙනු සඳහාත් ඉන් පිටත සිදුවන අන්තර්ජාතික ගනුදෙනු සඳහාත් මෙම පිළිගත් මුදල් ඒකක භාවිත කරති.   


අන්තර්ජාතික ගනුදෙනුවලදී ඇමරිකානු ඩොලරය පිළිගත් මුදල් ඒකකයක් ලෙස සලකනු ලබන අතර ඩොලරයට සාපේක්ෂව එම එක් එක් මුදල් ඒකකවල අගය තීරණය කරනු ලබයි.   


රටේ මුදල් ඒකකය වන රුපියලේ අගය පිළිබඳ වඩා වැඩි අවධානයක් යොමු කරන්නේද ඒ නිසාය. රුපියලේ අගය රටේ ආර්ථිකය, සංවර්ධනය, ආදී සියල්ලක්ම තීරණය කරනු ලබයි. ඒ නිසා රජය, ව්‍යාපාරිකයන් ඇතුළු සියලු දෙනා මේ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වනු ලබති.   


භාණ්ඩ මිල කෙරෙහි ලෝක වෙළෙඳ පොළේ මිල, රජය අය කරනු ලබන බදු සෘජුව බලපානු ලබයි. එමෙන්ම ඩොලරයේ අගය ඉහළ පහළ යාමද භාණ්ඩ මිල කෙරෙහි සෘජු බලපෑම් එල්ල කරනු ලබයි.   


මුදලේ අගය යනු රටේ ස්ථාවරත්වය පෙන්වන ප‍්‍රධාන සාධකයකි. මේ නිසා රුපියල සඳහා ස්ථාවර අගයක් පවත්වාගෙන යාම රටේ ආර්ථිකයට, සංවර්ධනයට මෙන්ම රටේ අනාගතයටද සුබදායකය.   


රුපියල අව ප‍්‍රමාණය වීම හේතුවෙන් මෙරට ආයෝජනය කිරීමට පවා විදේශ ආයෝජකයෝ මැළිකමක් දක්වති. රටේ ආර්ථිකයට ඉන් සිදුවන බලපෑමද සුළු පටු නොවේ.   


ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දෛනිකව රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන්, තම ව්‍යාපාර සිදුකරගෙන යාමට පවා නොහැකි බවට පත්ව ඇතැයි ව්‍යාපාරිකයන් මැසිවිලි නඟති. ඉන් වාසි ලබන ව්‍යාපාරිකයෝ ඇතුළු පිරිසක්ද සිටිති.   


අනික් පසින් රජයක් ලෙස අප ලබා ගන්නා ණය වාරික සහ පොලිය ගෙවීමේදී පවා ඩොලරයේ අගය ඉහළ යාම හේතුවෙන් අමතර මුදලක් ගෙවීමට සිදුවේ. රටේ ආර්ථිකයට මෙයද තදින් බලපායි.   


විදේශ රටවල අධ්‍යාපනය ලබන පිරිස් පවා රුපියල අවප‍්‍රමාණය වීම හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව සිටිති. ඔවුන්ගේ අධ්‍යාපන ගාස්තු මෙම තත්ත්වය හේතුවෙන් දිනෙන් දින ඉහළ යයි. ඇතැම් පිරිස් එය දරා ගැනීමට නොහැකිව අධ්‍යාපනය අතහැර දමා යළි මෙරටට පැමිණෙති.   


රුපියල අවප‍්‍රමාණය වීම වාහන මිල ගණන් සම්බන්ධයෙන් මේ වන විට සෘජුවම බල පා ඇත. කුඩා මෝටර් රථයේ සිට සුඛෝපභෝගී මෝටර් රථය දක්වා මෙම තත්ත්වය බලපා ඇති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසීය.   


එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා පවතින බදු මිල රජය විසින් අඩු කළද මේ හේතුවෙන් ජනතාවට එම වාසිය ලබා ගැනීමට නොහැකි වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.   
 “එන්ජින් ධාරිතාව 1000ට අඩු වාහන සඳහා පවතින බදු මිල රජය විසින් අඩු කළත් එහි වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ. ඇතැම් වාහන මේ වන විට පෙර පැවති මිලට සමාන මිලකටත් ඇතැම් වාහන එම මිලටත් අධික ප‍්‍රමාණයකටත් මේ වන විට මිල වැඩිවෙමින් තියෙනවා.   


මේ වන විටත් සුසුකි වැගන් ආර් ඇතුළු රජයේ බදු සහන ලැබූ වාහනවල මිල ගණන් පෙර පැවති මිලට හෝ ඊටත් අධික ලෙස ඉහළ ගොස් තිබෙනවා.   


ඒ අනුව ස්ටි‍්‍රං ගේ‍්‍ර වර්ගයේ සුසුකි වැගන් අර් මෝටර් රථයක් ලක්ෂ 33ක සිට ලක්ෂ 35ක් දක්වා මිල වැඩි වෙලා. සෙසු වාහනවල මිල ගණන්ද මෙයට සාපේක්ෂව ඉහළ ගොස් තියෙනවා.   


ඇමරිකානු ඩොලරයට අමතරව ජපන් යෙන්, ස්ටර්ලින් පවුම් ආදී මුදල් ඒකකවල අගය ඉහළ යාම මෙම තත්ත්වයට හේතුවයි. අද වන විට වාහන මිල පාලනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙනවා.   
විනිමය අනුපාතය ඉහළ යාම හේතුවෙන් ඉදිරියේදී වාහන මිල තවත් වැඩි විය හැකියි. ඒ නිසා ජනතාවට කරන්න තියෙන්නේ, හැකි ඉක්මනින් වාහන මිළදී ගැනීමටයි” යනුවෙන්ද ඔහු පැවසීය.   


ඩොලරය ඉහළ යාම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෝ විවිධ අදහස් පළ කරති. කෙසේ වෙතත් මෙහි අවසන් ප‍්‍රතිඵලය භුක්ති විඳීමට සිදුවන්නේද මේ රටේ සාමාන්‍ය මහජනතාවටය.   


හාල්, පරිප්පු, අල, ලූනු වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට පවා මෙම තත්ත්වය සෘජුව බලපායි.   


ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව දෛනිකව රුපියල අවප‍්‍රමාණය වීම පිළිබඳව කොළඹ වෙළෙඳ සංගමයේ සභාපති සුන්දරම් පලනියන්ඩි මහතා පළ කළේ මෙවැනි අදහසකි.   


 “අල, පරිප්පු, මුං ඇට හැම දෙයක්ම අපි රටින් ගෙන්වනවා. ඩොලරය අඩු වුණොත් අපි මිල අඩු කරනවා. ඩොලරය වැඩි වුණොත් අපි මිල වැඩි කරනවා. ගණං වැඩි වුණා කියලා කවුරුත් කෑගහන්නේ නැහැ. ඒ නිසා අපේ වෙළෙන්දන්ට මෙහි බලපෑමක් නැහැ.’’   


“අපි විවිධ රටවලින් භාණ්ඩ ගෙන්වනවා. මිලදී ගන්න මුදලට තමයි එහි අගය තීරණය කරන්නේ. ඒ නිසා ඩොලරයේ අගය පිළිබඳ අප එතරම් තැකීමක් කරන්නේ නැහැ” යනුවෙන්ද ඔහු පැවසීය.   
රුපියලේ අගය සහ මේ පිළිබඳ ගත යුතු ක‍්‍රියා මාර්ග සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ හා වාණිජ විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කෙනඩි ගුණවර්ධන මහතා පළ කළේ මෙවැනි අදහසකි.   
“ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල වශයෙන් පහත වැටෙමින් තිබෙනවා. අද ඩොලරය රුපියල් 157ක් 158ක් වැනි මුදලක් වෙනවා. මෙම තත්ත්වයේ දෙපැත්තක් තියෙනවා.   
මෙයින් සිදුවන අවාසිදායක තත්ත්වය තමයි පිටරටින් ගෙන්වන භාණ්ඩවලට වැඩි ඩොලර් ප‍්‍රමාණයක් ගෙවන්න අපිට සිද්ධ වෙනවා. ආනයනය කරන භාණ්ඩවල මිල වැඩි වෙන්න වැඩි වෙන්න රට තුළ උද්ධමනයක් ඇතිවෙනවා.   


අපේ රටේ සේවය කරන විදේශිකයන්ටත් මින් පාඩුවක් සිදුවෙනවා. අපි දෙන මුදල්වලින් ඒ අයට ඒ අයගේ රටවලට ගියහම වැඩි වාසියක් ගන්න ලැබෙන්නේ නැහැ. අනික් පැත්තෙන් රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිද්ධ වෙනවා. මේ වගේ ගැටලු විශාල ප‍්‍රමාණයක් මේ මගින් පැන නගිනවා.   


රුපියල අවප‍්‍රමාණය වීමෙන් විශේෂයෙන්ම අපේ අපනයනවලට එක්තරා වාසියකුත් සිදුවෙනවා. එයාලට අඩු මිලකට අපේ ඇඳුම් විශාල ප‍්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් වනවා. අපේ නිෂ්පාදනය වැඩි දේවල් ඉක්මනින් අලෙවි කරගැනීමට හැකියාව ලැබෙනවා. එතන අපිට වාසියක් තියෙනවා.   


අනික් පැත්තෙන් අපිට හුඟක් ආදායම ගෙනෙන අපේ විදේශ ශ‍්‍රමිකයන් ඩොලර් උපයාගෙන ලංකාවට ආවහම, ඒ ඩොලර් ලංකාවේ මාරුකරහම ඒ අයට විශාල මුදලක් ලැබෙනවා. ඒ වගේ කුඩා වාසි ප‍්‍රමාණයක් මින් සිදුවනවා.   


අපේ විදේශ සංචිත හොඳටම අඩුවීම රුපියල අවප‍්‍රමාණය වීමට බලපා ඇති ප‍්‍රධානතම හේතුවක්. අපි රටක් විදියට මේ වන විටත් විශාල ලෙස ණය අරගෙන තියෙනවා. හැම රජයක්ම විශාල ණය ප‍්‍රමාණයක් අරගෙන තමයි, මේ රට ගෙනියන්නේ. දැන් ණයවලට ලබාදීලා තියෙන සහන කාල සියල්ලක්ම ගෙවිලා. දැන් අපි ණය ගෙවන්න ඕන.   


එම ණය ගෙවන්න වෙන්නේ ඩොලර්වලින්. එහිදි අපට දැන් තියෙන ඩොලර් සංචිතය එන්න එන්න අඩු වෙනවා. එහිදී අපි ඩොලර් හොයන්න ඕන. අපනයන ආදායමෙන් ඩොලර් ලැබෙන ප‍්‍රමාණය අඩු වුණහම ඩොලර් නැති නිසා අපිට ආයෙත් ණය ගන්න සිද්ධ වෙනවා. 

 
ඒ ණය ගෙවන්න තවත් ණයක් ගන්න ඕන. එම ණය ප‍්‍රමාද වුණොත් අපිට ඩොලර් නැහැ. එතකොට ඩොලර්වලට විශාල ඉල්ලුමක් ඇති වෙනවා. එතකොට මිල තව තවත් ඉහළ යනවා. එවිට රට අස්ථාවර තත්ත්වයට පත්වෙනවා.   


මෙම තත්ත්වයට කාම්බෝජය සහ වියට්නාමය මුහුණ දුන්නා. ඔවුනුත් විදේශ ණය අරන් ණය ගෙවා ගන්න බැරුව උද්ධමනය වැඩි වෙලා ඩොලර් සංචිතය සෘන වෙන තත්ත්වයට පත්වුණා.   


වහාම ඒ අය කළේ සියලුම රාජ්‍ය සේවකයන්ට ඩොලර්වලින් වැටුප් ගෙවුවා. රටේ බඩු මිල ඔක්කොම ඩොලර්වලට හැරෙව්වා. ටැක්සිකාරයට දෙන්නේත් ඇමරිකානු ඩොලර්. ඩොලර්වලින් ගනුදෙනු කරන්න රටේ සෑම පුරවැසියෙක්ම දන්නවා.   


ඒ අය ඒක උපක‍්‍රමයක් විදියට කළේ ඩොලර් සංචිත ඉහළ නැංවීමට. තාවකාලිකව ඒ අයට මේකෙන් වාසියක් වුණා. උද්ධමනය පාලනය වුණා. ඩොලර් සංචිත ප‍්‍රමාණයක් එකතු වුණා. දැන් කාම්බෝජය සියයට 15ක පමණ ආර්ථික වේගයක් අත්කරගෙන තියෙනවා. ඔවුන් වේගයෙන් ආර්ථිකය ඉදිරියට ගෙනියනවා.   


මම හිතනවා, අපේ රටෙත් ඉස්සරහට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම් වෙළෙඳ පොළේ බඩු මිල ආදී සියලූම දේවල් ඩොලර්වලට හැරවෙන තත්ත්වයක් දැක ගන්න පුළුවන්. මේ පවතින තත්ත්වයට ඩොලර් ලබා ගත හැකි එක ක‍්‍රමයක් තමයි ඒක. මේ වගේ ක‍්‍රමවේදයන් පිළිබඳවත් රජය අවධානය යොමු කළ යුතුයි යනුවෙන්ද ඔහු පැවසීය.   


රුපියල අවප‍්‍රමාණය වීම වළක්වා ගනිමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟා ගැනීම කෙරෙහි පැවති කිසිදු රජයක් අවධානය යොමු කළේ නැත. වත්මන් රජයද ඒ පිළිබඳ කිසිදු තැකීමක් කරන අයුරු දැක ගන්නට නැත. ශක්තිමත් රටක් ගොඩනැගීම සඳහා පාලකයන් විද්වතුන් හා එක්ව ඒ සදහා නිසි ක‍්‍රමවේදයක් සකස් කළ යුතුව ඇත.

 

 

 

 සටහන
නිමල කොඩිතුවක්කු