ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලින් එකක් වන්නේ එක්සත් ජාතික පක්ෂයයි. එය මෙරට නිදහස ලබා ගතවී ඇති වසර හැත්තෑ දෙකක කාල පරාසයෙන් වසර තිස් පහක කාලයක් ජනතා වරමින් බලය ලබා රට පාලනය කර ඇත. ඒ සා බලගතු පක්ෂයක ජනාධිපති අපේක්ෂකයාවීම කෙනෙකුට ජීවිතයේ ලැබෙන අතිශය සම්මානනීය භාග්‍යයකි.


1978 දී දෙවැනි ජනරජ ව්‍යවස්ථාව ක්‍රියාත්මකවීම මගින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වාදීමෙන් පසු එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස තරග බිමට පිවිස ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු පුද්ගල සංඛ්‍යාවකි.


ඔවුන් ජේ.ආර්. ජයවර්ධන මහතා, ආර්. ප්‍රේමදාස මහතා, ශ්‍රීමා දිසානායක මහත්මිය සහ රනිල් වික්‍රමසිංහ මහතා වශයෙනි. ජේ.ආර්. ජයවර්ධන සහ ආර්. ප්‍රේමදාස යන මහතුන් දෙදෙනා ජීවන ගමනෙන් සමුගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ මහතා වර්තමාන ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය දරයි. එම පක්ෂයේ එකම ජනපති අපේක්ෂිකාව වූ ශ්‍රීමා දිසානායක මැතිනිය ද නොබෝදා පරලෝ සැපත් වූවාය. ඒ සා ප්‍රබල දේශපාලන චරිතයක් වූ එතුමිය ගැන සටහනක් තැබීමට මේ ඉතාම කාලෝචිත මොහොතකි.


ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය විමසන්නෙකුට අවබෝධවන ප්‍රධාන කරුණක් වන්නේ, ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන පරම්පරා කීපයක් පිළිබඳවය. ඒ අතර සේනානායක, බණ්ඩාරනායක, කොරෙයා ආදී පවුල් කීපයක දරුවෝ දේශපාලන ක්ෂේත්‍රයේ ඉහළ තැන් අරා වැජඹුණහ. ශ්‍රීමා දිසානායක මහත්මිය ඇතුළත්වන දිසානායක පරපුරේ සාමාජිකයෝ පරම්පරා තුනක් තිස්සේ මැති සබය ප්‍රභාමත් කරමින් එය නියෝජනය කළහ.


ගාමිණී දිසානායක මහතාගේ බිරිඳ වශයෙන් මෙම පවුලට විවාහයෙන් සම්බන්ධ වන ශ්‍රීමා පාර්ලිමේන්තුව නියෝජනය නොකළාය. එසේ ද වූවත් රජයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ බිරිඳ වශයෙන් පාලන තන්ත්‍රයේ තිරයෙන් පිටුපස සිටිමින් ඇය විශාල වගකීමක් දැරුවාය.


වර්තමාන රජයේ ද ප්‍රබල ඇමැතිවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායකවරයාගේ සහ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ද මව ලෙස ද ඇය සුවිශේෂී වේ. එම පුතුන් දෙදෙනා වර්තමානයේ දරන ඉහළ තත්ත්වයට පැමිණීමට මව සලසා දුන් අනුග්‍රහය ඊට හේතුවන්නට ඇත.


1970 මහා මැතිවරණය පෙනෙනතෙක් මානයට පැමිණෙමින් තිබුණි. එක්සත් ජාතික පක්ෂ නුවරඑළිය ශාඛා නියෝජිතයෝ එවකට එම පක්ෂයේ නායක ඩබ්ලි සේනානායක මහත්මා වරින් වර හමුවෙමින් තම ආසනයේ සංවිධායක හා හිටපු මන්ත්‍රී ඩොනල්ඩ් ජේ. රණවීර මහතා ඉදිරිපත් නොකරන ලෙසත් වෙනත් ක්‍රියාශීලී පුද්ගලයෙකු ඉදිරිපත් කරන මෙන්ද ඉල්ලා සිටියහ.


මෙම තත්ත්වය මත ඩඩ්ලි සේනානායක මහතා ද වෙනත් අපේක්ෂකයෙකු ගැන අවධානයෙන් සිටි අතර ඔහුට මෙම තරුණ අධිනීතිඥවරයා ගැන මිතුරන් මගින් දැනගන්නට ලැබී තිබුණි. පක්ෂය වශයෙන් වෙනස් වුවද තම සමකාලීනයෙකු වූ දේශපාලනයෙන් ඉවත්ව විශ්‍රාම සුවයෙන් සිටි ඇන්ඩෘ දිසානායක මහතාට දුරකථනයෙන් ඇමතූ ඩඩ්ලි සේනානායක මහතා ගාමිණී දිසානායක තරුණයාට නුවරඑළිය ආසනය තරග කිරීමේ අවස්ථාව ලබාදීමට තමා තීරණය කර ඇති නිසා තමා හමුවීමට පුතා කොළඹට එවන ලෙස දන්වා සිටියේය.


බලාපොරොත්තුවෙන් නොසිටියා වුවත් අතට පත් වාසනාවට පයින් ගැසීමට ගාමිණී දිසානායක තරුණ අධිනීතිඥවරයා අදහස් නොකළේය. ඒ වනවිට ඩඩ්ලි ලංකාවේ අගමැතිවරයාය. අගමැතිවරයාගේ ඇරයුම පිළිගත් ඔහු ආසනය සංවිධානය කිරීමේ කටයුතු ආරම්භ කළේය. එ.ජා. පක්ෂයට ඉතා අවාසි සහගත වකවානුවක් වූ එම අවස්ථාවේදී ඉතා ක්‍රියාශීලීව තරුණ පෙළ දිරිගන්වමින් කටයුතු කිරීමට ගාමිණී සමත් විය.


මේ වන විට ඔහු විවාහ වී ගතව තිබුණේ වසරක් පමණ වූ කෙටි කාලයකි. ලේනදූව ලොකුගේ වජිරා ශ්‍රීමතී ලොකුගේ මෙනෙවිය ගාමිණී දිසානායක නම් වූ ප්‍රතාපවත් දේශපාලන චරිතය සමග එක්වූවේ ඒ ආකාරයටය. දේශීය ආදායම් කොමසාරිස් (එවකට නියෝජ්‍ය) කොමසාරිස් ඇල්. පියසේන මහතාගේ දයාබර දියණිය වූ ඇය මනා උගත්කමක් සහ බුද්ධිමත් බවක් සහිත තරුණියක වූවාය. ඇය ද අධිනීතිඥවරියක වූවාය. නීති විද්‍යාලයේදී ඇති කරගත් දැන හැදුනුම්කම් මත මිතුරු දමක් ඇති කරගත් ඔවුහු පසුව පෙම්වතුන් බවට පත් වූහ.


‘‘සෑම සාර්ථක මිනිසෙකු පසුපසම ගැහැනියක් සිටී’’ යනුවෙන් කියමනක් තිබේ. වජිරා ශ්‍රීමතී ලොකුගේ ගාමිණී දිසානායකයන්ගේ සාර්ථකත්වය ගොඩනැංවීම උදෙසා ඉටු කළ කාර්යභාරය සුවිශේෂී වන්නේ එම අර්ථයෙනි.


විවාහයෙන් පසු ශ්‍රීමතී දිසානායක බවට පත් වූ ඇය දිවා රාත්‍රී නොබලා ගාමිණී වෙනුවෙන් වෙහෙසුණාය. අවාසි සහගත තත්ත්වයක් තිබිය දී වුවද නොපසුබටව ගාමිණීගේ මැතිවරණ ක්‍රියාවලියෙන් අඩක්ම තම උර මතට ගත් ශ්‍රීමා නුවරඑළියේ කඳු නගිමින් පල්ලම් බසිමින් ඉතා දුෂ්‍කර ව්‍යායාමයක යෙදුණාය. මෙසේ නිවසක් පාසා යමින් ඡන්ද දායකයන් දැනුම්වත් කරමින් කරන ලද මෙහෙය ඔහුගේ ජයග්‍රහණයට මහත් සේ බලපෑවා නිසැකය. එයට හේතුව වන්නේ ආණ්ඩු බලය අත්කරගෙන සිටි එක්සත් ජාතික පක්ෂය එම මැතිවරණයේදී දිනා ගත්තේ ආසන දහ හතක් පමණක්වීමය.


එම රජයේ ප්‍රබල ඇමැතිවරු එකොළොස් දෙනෙක් තමන්ගේ ආසනවලින් පරාජයට පත්වූහ. එහෙත් දේශපාලන පොර පිටියට ආධුනිකයෙකු වූ තරුණ ගාමිණී දිසානායක වැඩි ඡන්ද දෙදහස් හත්සිය හැත්තෑ හතක් ලබා තිබීම ඇදහිය නොහැකි කරුණක් වූවේය.

 

 


මෙසේ පාර්ලිමේන්තුවට පැමිණි ගාමිණී එවර එක්සත් ජාතික පක්ෂ කණ්ඩායමේ සිටි ළාබාලතම මන්ත්‍රීවරයා වූවේය. දත් තිස් දෙක මැද තිබෙන දිව මෙන්, එදා විපක්ෂය ආණ්ඩුවේ තුනෙන් දෙකේ බලය හමුවේ අසරණ විය. ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්ගේ බාධාකිරීම් නිසා සබා ගැබේ කතාවක් කිරීම ඉතා අසීරු විය. එහෙත් නොබියව ධෛර්යයෙන් යුතුව කටයුතු කරන මන්ත්‍රීවරුන් සිටීම විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මහතාට ශක්තියක් විය.


පාර්ලිමේන්තුව තුළ මෙන්ම පිටත ද විපක්ෂයට මුහුණ දීමට සිදු වූයේ බලවත් අභියෝගයකටය. මෙම සියලු බාධක මධ්‍යයේ තරුණ ගාමිණී පෙරමුණේම විය. දැදිගම අතුරු මැතිවරණය අවස්ථාවේදී මැරවරයින්ගේ පහරදීමකට ලක්ව හිසෙන් ලේ වැගිරෙමින් ගාමිණී දිසානායක මහතා වරකාපොළ පොලිසියේ සිටිනු මෙම ලියුම්කරු දුටුවේ වෙනත් කාර්යයකට එම ස්ථානයට ගිය විටදීය. ඔහුගේ මෝටර් රථය ද කඩා බිඳ දමා තිබිය දී එහි ගෙනවුත් තිබුණි. මෙවැනි තාඩන පීඩන මැද වුවත් පරාජයේ පතුලටම ගිලී සිටි එක්සත් ජාතික පක්ෂය නව ජවයකින් යුතුව ජයග්‍රහණයේ මාවතට යොමු කරවීමට ගාමිණී විශාල කැපකිරීමක් කළේය.


එක් පුද්ගලයෙකුගේ පමණක් කැප කිරීම නිසා සිදු වූවක් නොවූවත් 1977 අති විශාල ජයග්‍රහණය උදෙසා ගාමිණී දිසානායකයන් දැරූ අප්‍රතිහත ධෛර්යය සුළුපටු නොවේ. එය දීර්ඝ කතාවකි.


ජේ.ආර්. ජයවර්ධන මහතාගේ නායකත්වයෙන් 1977දී පිහිටුවන ලද නව රජයේ ප්‍රමුඛ තැනක් ගාමිණී දිසානායකයන්ට ද හිමිවිය. වාරිමාර්ග මහාමාර්ග සහ මහවැලි අමාත්‍යංශය පිරිනැමුණේ ඔහුටය. එය හුදු ඇමැතිකමක් පමණක් නොවීය. විශාල කාර්යභාරයක් මෙන්ම අභියෝගයක් ද වූවේය.


තිස් වසරකින් අවසන් කිරීමට නියමිතව තිබුණු මහවැලි මහ සැලැස්ම පස්වසරකින් නිමාකිරීමට අගමැති ජේ.ආර්. ජයවර්ධන මහතාට අවශ්‍ය විය. මහා සාගරය පරදන විශාල ජලාශ පහකින් සමන්විත මෙම බහු කාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය සිංහල රාජධානි අවධියෙන් පසු බිහි වූ සුවිශාලම ව්‍යාපෘතිය විය. මෙම විශාල කාර්යභාරය සපුරා ඉටුකිරීමට ගාමිණී දිසානායකයෝ සමත් වූහ.


සුළු සුළු වැඩ කොටස් ඉතිරිව තිබුණා විය හැකි නමුදු වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරු ඔය යන පංච මහා ජලාශ ගොඩනගා ලක්ෂ ගණන් පවුල් මෙම කලාපවල පදිංචි කිරීමට එම සැලැස්ම යටතේ සිදු විය. ධාතුසේන රජතුමා කලාවැව ඉදි කළේය. මහා පරාක්‍රමබාහු රජතුමා පරාක්‍රම සමුද්‍රය තැනුවේය. මහසෙන් රජතුමා මින්නේරිය තැනුවේය. ඉතිහාසයේ එසේ සඳහන් වේ. එහෙත් ගාමිණී වැව් පහක්ම හැදුවේය. දෙහිඅත්තකණ්ඩිය, ලිහිණියාගම, ගිරාඳුරුකෝට්ටේ යන නගර බිහිවූයේ අලි කොටි, වග වලස් ආදී වන සතුන්ගේ රජ දහන් තුළය. ලිහිණියාගම සිට අඩි අසූවක් පළල පාරක් නිමවීමට ගියේ මාස කීපයක් බව මෙම ලියුම්කරු සියැසින්ම දුටුවේය.


ජේ.ආර්. ජයවර්ධන මහතා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු බලයට පත්වූවේ ආර්. ප්‍රේමදාස මහතාය. පැණිවරකා ගහට හෙණ වැදුණාක් මෙන් මිතුරෝ විරසක වූහ. රජය තුළ තමන් කොන්වෙන බවක් ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුළත්මුදලි වැනි නායකයන්ට වැටහුණි. දිගු කලක් පවත්වාගෙන යන රජයක මෙවැනි මතභේද ඇතිවීම ස්වභාවික සිද්ධියකි. එහෙත් මෙම අවස්ථාවේදී මෙහි සටහන් නොකළයුතු බොහෝ දේ සිදුවිය. ජනාධිපති ප්‍රේමදාස මහතාට එරෙහි දෝෂාභියෝගය එහි ප්‍රතිඵලයකි. එයින් මෙරට එතෙක් පැවැති දේශපාලන ගමන් මග උඩු යටිකුරු වූවේය.


1993 මැයි පළමුවැනිදා ප්‍රේමදාස මහතා ඝාතනයට ලක්විය. ඔහුගෙන් තොර එජාපයේ ගාමිණීට කටයුතු කිරීමට අපහසුවක් නොවීය. ඔහු ආපසු මහගෙදරට ගියේය. විජේතුංග මහතා නැවත ජනාධිපතිවරණයට තරග කිරීමට අදහස් නොකළේය. අපේක්ෂකත්වය හිමිවූවේ ගාමිණී දිසානායක මහතාටය. ඔහු බෑ නොකියා එය භාරගත්තේ කවුරුන් හෝ එය කළ යුතු නිසා විය යුතුය. තමන් විසින්ම ඉදිරියට ගෙනා, දිළෙන තාරකාව බවට පත් කළ චන්ද්‍රිකා සමගම තරග කිරීමට සිදුවීම දෛවයේ සරදමකැයි ගාමිණී දිසානායක මහතාට සිතෙන්නට ඇතිවා නිසැකය.


මෙම මැතිවරණ සටනේ නියුතුව සිටියදී 1994 ඔක්තෝබර් මස 24 වැනිදා තොටළඟ පැවැති ප්‍රචාරක රැස්වීමට ගියේ තම ඡන්ද ගොඩට උතුරු කොළඹ ජනතාවගෙන් තවත් වැඩිපුර ඡන්ද ටිකක් එකතු කර ගැනීමටය. ගාමිණීගේ ඉලක්කය වූවේ ජනාධිපති පදවිය ලබාගැනීමයි. ඔහු වරක් සිය මුනුපුරා නළවද්දී කියා ඇත්තේ ‘‘මම මෙයා ජනාධිපති මන්දිරයේ තියා ගන්නවා’’ යනුවෙනි. එහෙත් දෛවය මහ පුදුමාකාර දෙයකි.


නොසිතූ නොපැතූ මොහොතක සියල්ල වෙනස්ව යා හැකිය. තොටළඟ රැස්වීමට කොටි බෝම්බ පිපිරීමක් සිදු කළහ. එයින් ප්‍රබල දේශපාලනඥයන් රැසක් සමග ජනාධිපති ධුර අපේක්ෂක ගාමිණී දිසානායක මහතා ද මරණයට ගොදුරු විය.


මැතිවරණ නීතියට අනුව නව අපේක්ෂකයෙකු පත්කිරීමට අවස්ථාව උදාවිය. තරගකරුවෙකු නැත. මේසා අතීතයක් ඇති බලගතු පක්ෂකට ජනාධිපති අපේක්ෂකයෙකු නැති වුවහොත් එහි අභිමානයට හානියකි. ශ්‍රීමා දිසානායක මහත්මිය සිය සැමියාගේ නාමයෙන් සහ පාක්ෂිකයා වෙනුවෙන් එම අභියෝගය භාර ගත්තාය. එයම වීරකමකි.
ඇය කළේ ජීවිතය වෙනුවට මරණය තෝරා ගැනීමකි. නැතහොත් අට මහා නරකයට පැනීමකි. වෙනත් වචනවලින් කිවහොත් එය ඉල්ලාගෙන කෑමකි. එදා කොටි ත්‍රස්තවාදයේ උච්චතම කාලයකි. එහෙත් මරණයට බිය නැති මෙම අයෝමය කාන්තාව අභියෝගය හමුවේ බිය නොවූවාය. ජයග්‍රහණය නොව ඉදිරිපත්වීම ශ්‍රේෂ්‍ඨ බව ක්‍රීඩා ලෝකයේ පිළිගැනීමයි. වෙනත් කාන්තාවක් නම් තවමත් මහපොළව බදාගෙන සැමියා වෙනුවෙන් වැලපෙන මොහොතක වෙනදා අපේක්ෂකත්වය ඉල්ලා සිය ගණනින් පොරකන, නිවුණු බතේ කැට පොඩි කරන්නන් බහුල සමාජයක ‘‘රැකෙතොත් රැකෙම්වා, මියෙතොත් මියෙම්වා’’ යන අදිටනින් යුතුව ඇය එම බර උර මතට ගත්තාය.


එම සටන ජයගත නොහැකි බව කවුරුත් දැන සිටියේය. සටන දියත් විය. අපේක්ෂිත පරාජය ඇයට හිමි විය. මහියංගණය ආසනය හැර සමස්ත ලංකාවම චන්ද්‍රිකා ජයග්‍රහණය කළාය. ජනාධිපති ධුරය ඇය හිමිකර ගත්තාය. එහෙත් තරගයේ වීරයා වූවේ ශ්‍රීමාය.


ඇයගේ පියා දේශීය ආදායම් කොමසාරිස් ධුරය හෙබවූ (පසුව) ලේනදූව ලොකුගේ පියසේන මහතා බව පෙර සඳහන් කළෙමි. මව වූවේ ෆ්ලොරන්ස් සුවිනීතා ගෝමස් මහත්මියයි. 1943.01.07 දින ඇය උපත ලැබුවාය. වජිරා ශ්‍රීමතී නමින් හැඳින්වුණු මෙම දැරිය මනා අධ්‍යාපනයක් ලැබුවාය. අවසානයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයෙන් අධිනීතිඥ විභාගය සමත් වූ ඇය එහි ගෞරව සාමාර්ථයක් හිමි කර ගත්තාය.


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එක්වීමෙන් රාජ්‍ය සේවයේ වෘත්තීය ජීවිතය ඇරඹූ අධිනීතිඥ වජිරා ශ්‍රීමති ලොකුගේ මෙනවිය ගාමිණී දිසානායක මහතා සමග විවාපත්වීමෙන් පසු ඔහුගේ දේශපාලනයට සහායවීම පිණිස 1970දී රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වූවාය. එයින් පසු ලිවර් බ්‍රදර්ස් සමාගමේ සේවයට එක්වූ ඇය එහි උසස් රැකියාවක් ලැබුවාය. එහෙත් 1977දී ගාමිණී දිසානායකයන් මහවැලි සංවර්ධන අමාත්‍යවරයා බවට පත්වූ පසු එම බරපතළ කාර්යභාරයට සහාය වීම සඳහා තම රැකියාව පරිත්‍යාග කළාය.
පසුගිය සතියේ අභාවප්‍රාප්තවූවේ මෙවැනි උදාර කාන්තාවකි. වත්මන් රජයේ ප්‍රබල ඇමැතිවරයෙකු වූ නවින් දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂයේ ද ජාතික සංවිධායකවරයාය. නායකත්වයට ඉතාම ආසන්නය. එමෙන්ම ඔහුගේ බාල සොහොයුරු මයන්ත දිසානායක මහතා එම පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයෙකි.


මෙම දරු දෙදෙනාගේ දේශපාලන අනාගතය හැඩ ගැස්වීම සඳහා ද මෙම උදාර මාතාව සුවිශේෂීව ලබාදුන් මඟපෙන්වීම බලපාන්නට ඇතිවා නිසැකය. මෙම සියලු කරුණු නිසා එතුමියගේ කීර්තිමත් නාමය බොහෝ කලක් මෙරට ජනතා සිත් සතන් තුළ රදා පවතිනු ඇත.

 

 

සෝමසිරි වික්‍රමසිංහ