නව වසරක් එළැඹෙද්දී එහි සුබ අසුබ බව දැනගන්නට බොහෝ අය ජ්‍යොතිශාස්ත්‍රයෙන් කරුණු විමසති. තවත් සමහරු කියන්නේ නොවැම්බර් මුල සතිය වෙද්දී ඉදිරි වසරේ අපේ ඉරණම කෙසේ ලියැවේ ද යන්න පාර්ලිමේන්තුවට ගෙන එන අය වැය යෝජනාවලියේ ලියැවී ඇති බවයි.  


ඉරණම ලියැවී හමාරද? සැබැවින්ම මෙවර අය වැයෙන් අපට ලැබුණු සහන මොනවාද? යනාදිය සම්බන්ධයෙන් අපි ද විමසුමක යෙදුනෙමු.  


අයවැයෙන් ලද සහන මොනවාද? අය වැය යෝජනා අපට එල්ල කරන සාධනීය හා නිෂේධනීය බලපැම් මොනවාද? යන්න සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ දැක්වූ අදහස් පහත ගොනු වේ.  


 රටක රජයේ මුදල් ආදායම්, වියදම් ආදිය ඇතුළත් ලේඛනය යනුවෙන් අය වැය යෝජනාවලිය අපට සරලව හැඳින්විය හැකියි. එබදු යෝජනාවලියකින් ර​ෙට් ආර්ථිකය සම්බන්ධ කෙටි කාලීන හා දිගු කාලීන යෝජනා ඇතුළත් වෙනවා. එමගින් ආර්ථික කටයුතු දිරි ගැන්වීමක් ආර්ථික කටයුතු වේගවත් කිරීමත් යනාදිය අරමුණු කෙරෙනවා.   
අයවැයෙන් ජනතාවට ලැබෙන සහන ගැන කතා කිරීමේ දී අප බොහෝ විට ජනතාව සලකා බලන්නේ කෙටි කාලීනව ලැබෙන සහන පිළිබඳවයි. නමුත් දිගු කාලීනව හා මැදිකාලීනවත් ජනතාවට අයවැයකින් සහන ලැබෙනවා. එවැනි යෝජනා මගින් ආදායම් තත්ත්වයන් වර්ධනය වීම, රැකියා අවස්ථා සුලබ වීම, ආදායමට සාපේක්ෂව භාණ්ඩ මිල දැරිය හැකි මිලකට ලබා ගැනීමේ හැකියාවක් ආදියත් එ් මගින් ඉටුවෙනවා.  


 අයවැයෙන් ලැබෙන කෙටි කාලීන සහන පිළිබඳව සඳහන් කළොත් අල, ලූනු, හාල්මැස්සන්, පරිප්පු, කරවල, පාම් තෙල් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හයක මිල අඩු කිරීම සිදු කළා. එම මිල අඩුකිරීම් සිදුවූයේ අය වැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙරදී වුවත් අය වැය තුළත් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර තිබුණා. එම මිල අඩුකිරීම් එපරිද්දෙන්ම ජනතාවට ලැබෙනවා නම් එය යම් වූ ආකාරයකවත් සහනයක් වීමේ ඉඩකඩ තිබෙනවා. සමහර විට එම සහනය රුපියල් දෙසියක තුන්සියයක ඉතිරියක් වන්නට පුළුවන්. අල, ලූනු ආදිය නම් කිලෝ එකකටත් වඩා මිලදී ගන්නවා. නමුත් කරවල වැනි ද්‍රව්‍ය කිලෝ එකක්වත් මිලදී ගන්නා අය එතරම් නැහැ. මේ හේතුව නිසා මිල අඩු කිරීම්වල සියයට සියයක්ම වාසිය ජනතාවට ලැබෙන්නේ නැහැ. නමුත් ඇතැම් අවස්ථාවලදී වෙළෙඳසල් මගින් අලෙවි කරන මිල අඩු අල වර්ග මිල අඩු කළ හාල්මැස්සෝ වර්ග ගුණාත්මක බව සම්පූර්ණ නැති අවස්ථාත් තිබෙනවා. එවැනි අවස්ථාවක පාරිභෝගිකයාට හොඳ තත්ත්වයේ ආහාර නැවතත් සුපුරුදු මිල වැඩි තත්ත්වයේ ඒවා ලෙසම මිලදී ගැනීමට සිදුවෙනවා. රජය ලබා දෙන සහන වෙළෙඳ පොළට ගිය පසු පාරිභෝගිකයාට ඒ අයුරින්ම ලබාගත හැකිද? යන්න ගැටලුකාරියි. ඒ වගේම මෙහි අප නොදකින තත්ත්වයක් පවා තිබෙනවා. බදුල්ලේ අල ගොවීන් යාපනයේ ලූනු ගොවීන් වැනි අයට මෙම මිල අඩු කළ භාණ්ඩ ද්‍රව්‍ය අලෙවි කරද්දී ඒ අයගේ ආදායම විශාල ලෙස පහළ වැටීමක් සිදු වෙනවා. ඒ අයගේ නිෂ්පාදනවල මිල පහළ යෑමෙන් ඔවුන්ට පැහැදිලි අවාසියක් සිදුවෙනවා. ඒ අනුව එහෙන් අරන් මෙහෙන් දුන්නා වැනි ක්‍රියාවලියක් සිදුවීමක් මෙහිදී දකින්නට පුළුවන්.  


 රජය මෙවර අයවැයේදී සෞඛ්‍ය පහසුකම් නංවාලීමට ගෙන ඇති තීරණය ඉතා සාධනීය ප්‍රවේශයක් ලෙස දැකිය හැකි වෙනවා. දැනට තිබෙන තත්ත්වයට වඩා රජයේ රෝහල් වලින් සැපයෙන සේවය ඉහළ නැංවිය යුතුයි. උණ, ප්‍රතිශ්‍යාව වැනි සුළු රෝග තත්ත්වයක දී පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් ප්‍රතිකාර ගත්තත් තවමත් අපේ රටේ අතිශය බහුතරයක් පිළිකාව, දියවැඩියාව, හෘද රෝග වැනි අසීරු රෝගි තත්ත්වයක දී පිහිටට සොයා යන්නේ රජයේ ​රෝහලකටයි. නේවාසිකව ප්‍රතිකාර ලබා ගැනීම සැත්කම් ආදියට පහසුකම් සපයා ගැනීමට ප්‍රමාණවත් තරම් රෝහල් පහසුකම් වර්ධනය කිරීමට රජයට හැකියාව ලැබුණොත් එය ජනතාවගේ පාර්ශ්වයටය සහනයක් වෙනවා.  
 අඩු ආදායම්ලාභී නාගරිකයන්ට නිවාස ඉදිකරදීම වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් සැලසීම විශේෂයෙන් යුද්ධයෙන් විනාශයට පත්වූවන්​ෙග් ජීවත්වීම සඳහා නව නිවාස ඉදිකිරීම යනාදිය මෙවර අයවැයෙන් ඉටුවන සහනයක් ලෙස දැක්විය හැකියි. මෙයින් ඉටුවන්නේ එක් එක් ජන කොටස් කිහිපයක නිවාස අපේක්ෂාව වුණත් කැලණි ගඟ ආසන්නයේ වෙසෙන ජනතාව​ෙග් නිවාස ගැටලුව විසඳීමට මැදිහත්වීම යනාදිය සුබසාධන දී සැලකුවහොත් ඒවා ඉතා උසස් මට්ටමේ තීරණයක් ලෙස සැලකිය හැකියි.  


මෙහිදී තවත් විශේෂ කරුණක් පෙන්වා දිය හැකියි. රටේ තරුණ ප්‍රජාව අතර සිටින සාමාන්‍ය පෙළ විභාගය හා උසස් පෙළ විභාගය අතර හිරවුණු තරුණ පිරිස්වලට ව්‍යවසායකත්ව පුහුණුව ලබාදීම සඳහා පෙළඹවීමට පුහුණුවීම්වලට අදාළව මුදල් ආධාර සැපයීමට කටයුතු කිරීම ද මෙහිදී විශේෂයෙන් පෙන්වා දිය හැකිය.  


රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අදාළව ක්‍රියාත්මක කිරීමට නියමිත දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රමය ද ඉතා හොඳ යෝජනාවක් වෙනවා. අපේ රටේ බහුතර කාන්තාවන්ට රැකියාවකට යෑමට නිවෙසින් බැහැර වීම නොහැකි වීමේ ගැටලුවක් බවට පත්ව තිබෙන දූ දරුවන් දිවා කාලයේ ආරක්ෂිතව රඳවා තබා ගැනීමට හැකි තැනක් නොවීමයි. පවුලක මව, පියා දෙදෙනාම ආර්ථික ක්‍රියාවලියට දායකවනවා නම් ආර්ථිකය යම්තාක් මට්ටමකින් ශක්තිමත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙවැනි යෝජනා හරිහැටි ක්‍රියාත්මක වෙනවා නම් ආර්ථික ගටලු විසඳා ගැනීමට එයත් විශාල රුකුලක් වන බව දැක්විය හැකියි.  

 

 

අඩු ආදායම්ලාභී නාගරිකයන්ට නිවාස ඉදිකරදීම වතුකරයේ ජනතාව වෙනුවෙන් නිවාස පහසුකම් සැලසීම විශේෂයෙන් යුද්ධයෙන් විනාශයට පත්වූවන්​ෙග් ජීවත්වීම සඳහා නව නිවාස ඉදිකිරීම යනාදිය මෙවර අයවැයෙන් ඉටුවන සහනයක් ලෙස දැක්විය හැකියි. මෙයින් ඉටුවන්නේ එක් එක් ජන කොටස් කිහිපයක නිවාස අපේක්ෂාව වුණත් කැලණි ගඟ ආසන්නයේ වෙසෙන ජනතාව​ෙග් නිවාස ගැටලුව විසඳීමට මැදිහත්වීම යනාදිය සුබසාධන දී සැලකුවහොත් ඉතා ඒවා උසස් මට්ටමේ තීරණයක් ලෙස සැලකිය හැකියි.  

 


 මෙවර අය වැය මගින් විශ්‍රාමිකයන් සඳහා අග්‍රහාර රක්ෂණාවරණයක් සැකසීමට ගෙන ඇති යෝජනාවට ඉතා හොඳ යෝජනාවක් ලෙස දැක්විය හැකියි. අය වැය යෝජනාවලියේ සෘජුවම සැපයෙන කෙටි කාලීන සහන වශයෙන් දැක්විය හැකි වන්නේ අප ඉහත සඳහන් කළ කරුනුයි.  


මෙවර අයවැයේ කෙටි කාලීන සහනවලට වඩා දිගු කාලීන සහන පිළිබඳ වැඩි අවධානයකින් පසුවීමක් ඇති බව දැක්විය හැකියි. පවතින ආර්ථික තත්ත්වය මත ජනතාවට අවශ්‍ය තරම් සහන සැපයීමේ නොහැකියාවක් රජයට පවතින බව පෙනී යනවා. අලුතින්ම බදු පැනවීමක් මෙවර අයවැයේ දී සිදුවී නැහැ. ණය ලබා ගැනීමේ දී පැනවෙන බද්දක් යනුවෙන් එක් බද්දක් පිළිබඳව සඳහන් කර තිබුණත් එවැන්නකින් බැංකු පොලිය අඩුකර හෝ යම් ආකාරයක සහනශීලි ක්‍රමයකට එම බදු අය කිරීමේ පීඩාව ජනතාව​ෙග් කර පිටට නොඒමට වගබලා ගනු ඇතැයි අප සිතනවා. ඒ හැරුණු කොට වැට් බදු සංශෝධනය වෙනත් අලුත් බද්දක් හඳුන්වා දීමක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් රජය දැනට ඇස්තමේන්තු ගත කොට ඇති ආදායම ලබා ගැනීමට නොහැකි වුවහොත් එළැඹෙන වසර මැද කාල සීමාවක් වන විට වැට් බද්ද වෙනස් යම් බද්දක් වැඩි වීමේ ඉඩකඩ වැඩි බව මෙහිදී පෙන්වා දිය යුතු වෙනවා. රජය තම ආර්ථික ශක්තිමත් භාවය අපේක්ෂා කරන්නේ සෘජු බදු අය කරගැනීම ඔස්සේයි. එබදු අවස්ථාවක අපේක්ෂිත බදු ප්‍රමාණය නොලැබුණොත් විකල්ප ක්‍රමයක් යට​ෙත් රාජ්‍ය ආදායම් තර කරගැනීම රජයට සිදුවෙනවා.  

 

 

බදු එකතු කිරීම කියන ක්‍රියාවලියක් ඉතාම සංකීර්ණ වූ එකක්. ඒ නිසා අපේක්ෂිත බදු ආදායම නොලැබුණොත් නැවතත් වැට් බද්ද වැඩිකිරීම හෝ ජාතිය ගොඩනැගීමේ බද්ද වැඩි කිරීම වැනි විකල්පයක් සොයා ගැනීමට රජයට සිදුවෙනවා.  


මෙවර අයවැයේදී රජය තම අවධානය යොමු විය යුතුම අංශ කිහිපයක් මඟ හැර තිබෙන බව ​අපට පෙනී යනවා. පොදු ප්‍රවාහනය දියුණු කිරීමට පියවරක් නොගැනීම ඒ අතර ප්‍රධානතම නිෂේධනීය ලක්ෂණයක් ලෙස දැක්විය හැකියි. සාමාන්‍ය මෝටර් රථයක මිල රුපියල් ලක්ෂයකින් ලක්ෂ එකහමාරකින් අඩු වුණාට එයින් පොදු මහජනතාවට සෘජු බලපෑමක් වීම දක්නට ලැබෙන්නේ නැහැ. ඊට අමතරව මෙහිදී පැහැදිලි කරගත යුතු කරුණු කිහිපයක් තිබෙන රජය මේ ආකාරයට ගෙන එන යෝජනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉටු නොවීම ගැටලුකාරී තත්ත්වයක්. අය වැය ලේඛනයේ විවිධ සුරංගනා කතා තිබුණට ඒවා හරිහැටි ඉටුවෙනවාද? යන්න පිළිබඳ අපි විමසිල්ලෙන් සිටිය යුතු වෙනවා.  


උප්පැන්න, මරණ විවාහ සහතික නිකුත් කිරීම් පුරවැසි හැඳුනුම්පත් බලපත්‍ර ආදිය ලබා දීමේ දී ඒ රාජ්‍ය ආයතන ලබාදෙන සේවා සඳහා අය කෙරෙන මුදල සියයට පහළොවකින් වැඩිවීම මෙවර අයවැයේදී දක්නට ලැබෙන ලක්ෂණයක්. ඒ සම්බන්ධයෙන් ද අපි මෙහිදී විමසුමක් කළෙමු. එහිදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා මෙසේ අදහස් දැක්වීය. රාජ්‍ය ආයතනවලින් සැපයෙන සේවා සඳහා එවැනි මුදල් අය කිරීම් සිදුකිරීම ලෝකේ බොහෝ රටවල් අනුමත නොකරන ඉතා පහළ ගුණාත්මක බවකින් යුතු තත්ත්වයක්. රටක පුරවැසියෝ රජයට බදු ගෙවද්දී නැවත අලුතින් මුදලක් ගෙවිය යුතු වන්නේ නැහැ. රජය අපිට පාරක් හදලා දෙනවා නම් අපි ඒ පාරේ යන්න නැවත අලුතින් මුදලක් ගෙවිය යුතුද? නැහැ. එය එසේ නොවිය යුත්තේ එම මාර්ගය සැකසීමට මුදල් සපයා දෙනු ලබන්නේද අප විසින්ම වීමයි. මෙහිදී අපට දැකිය හැකි කරුණක් වන්නේ බදු නොවන ගාස්තු ලෙස යම් යම් මාර්ග ඔස්සේ රජයට ආදායම් සොයා ගැනීමට උත්සාහ දැරීමක් බව පෙනී යනවා. ඉඩම් ඔප්පුවක් ලියන අවස්ථාවක එයින් සියයට හතරක් රජයට ගෙවිය යුතු වෙනවා. සියයට හතරක් වැනි මුදලක් අය කෙරෙනවා කියන්නේ ඉතා විශාල මුදලක් රජයට ගෙවීමට එබඳු අවස්ථාවක පුරවැසියෙක්ට සිදුවෙනවා. රජය සේවා සැපයීමට අදාළව පුරවැසියා බදු ගෙවිය යුතුය. යන්න රාජ්‍ය යන සංකල්පය බිහිවීමේ මූලිකම ගිවිසුමක් වෙනවා. අද වන විට එකී තත්ත්වයත් අහෝසි වෙමින් ජනතා සුබසාධනය නැමැති කරුණ හුදෙක් වචනයක් පමණක් බවට සීමා වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා අප සමඟ වැඩිදුරටත් සඳහන් කළේය.  

 

 

 

 

 

 

 

 කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ

 

 

 සටහන  
සමන්තිකා මාධවි