(වීනිතා එම් ගමගේ)

විරුද්ධවාදීන් කථා කරන්නේ රටේ ආරක්ෂාව ගැන වුවත් ඔවුන්ට ආරක්ෂාව ගැන කථා කරන්න තරම් අත්දැකීම් නැති බවත් යුද උපායයන් සැලසුම් කරන්නේ හමුදාපතිවරු තිදෙනා මිස සම්ප‍්‍රදායානුකූලවත් ආරක්ෂක ලේකම් යුද සැලසුම් සකස් නොකරන බවත් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

වොක්ෂෝල් වීදියේ සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ කාර්යාලයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා එසේ පැවසීය. එහිදී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් මෙසේද කීවේය.

පාලකයා තීරණය කළාම යුද්ධය කරනවා ද නැද්ද කියා කොහොමද යුද්ධ කරන්නේ, කොහෙද යුද්ධය කරන්නේ කියා තීරණය කරන්නේ ත‍්‍රිවිධ හමුදාපතිවරුයි. එහෙම නැතිව ලේකම් යුද්ධ කරනවා නම් ඊට හොඳයි සතුරාට ජය ලියල දෙන එක.

ප‍්‍රභාකරන් පළමු බිල්ල ලෙස දොරේ අප්පාට වෙඩි තියද්දී 1975 මම සෙබළුන් 25 කට අණ දෙන ලූතිනන් කෙනෙක්. ඊට වසර තිස් දෙකකට පසුව යුද්ධය අවසන් වනතුරුත් යුද බිය මැද ලූතිනන් සිට ජනරාල් දක්වා මම සිටියේ යුද බිමේ. මම ඒ මුළු කාලයම ප්‍රභාකරන් එක්ක යුද්ධ කළා.

එල්ටීටීඊය වර්ධනය වුණේ අපේ ක‍්‍රියාකාරකම් දෙස බලමින්. අපේ හමුදාවන් වර්ධනය වුණෙත් ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් හැසිරීම් බලමින්. ඒ අනුව අපි ඔවුනට ප්‍රතිචාර දැකවූවා. අපි ඒ කි‍්‍රයාකාරකම්වල සිටියා.

ගෝඨාභය අද ලූතිනන් කර්නල් කෙනෙක් ලබන විශ‍්‍රාම වැටුපක් ගන්නවා. එයා විශ‍්‍රාම ගියේ ලූතිනන් කර්නල් කෙනෙක් හැටියට. ඔහු ඇමෙරිකා ගියා.

මටත් තියෙනවා ග‍්‍රීන් කාඩ් එකක්. හැබැයි මම කවදාවත් එහෙ ගිහින් ජීවත් වෙන්න හිතුවේ නැහැ. දරුවන්ට ඉගෙන ගන්න විතරයි ඒක පාවිච්චි කළේ. අපි රට ගැන හමුදාව ගැන හිතුවා. බල ඇණි අණ දෙන්නන් හැටියට මමත් ගෝඨාත් එකට ගියා යාපනය අල්ලා ගැනීමේ සටනට. සටනට පසු සටනේ සිදුවූ දේවල් හැටියට එවකට ආරක්ෂක අමාත්‍ය රන්ජන් විජේරත්න තීරණය කළා ගෝඨාභය රාජපක්ෂ යුද අධිකරණයක් ඉදිරියට ගෙනයන්න. එතකොට ඔහු මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීතුමාත් එක්ක ගිහින් රන්ජන් හමුවෙලා යුද අධිකරණය හමුවට යන එක වළක්වා ගත්තා.

ඉන් පසු අස්වෙලා ඇමෙරිකා ගියා. ඒක කියන්න ලැජ්ජා නිසා කියනවා පෞද්ගලික හේතු මත අස්වුණා කියා. ඉන්පසු තිබූ මහා පරිමාණ මෙහෙයුම්වල අපි සිටියා. මට යුද බිමේ දී දෙවතාවක් වෙඩි වැදී තිබෙනවා. තුන් වෙනි වතාව බෝම්බ ප‍්‍රහාරය. රට වෙනුවෙන් අපි එහෙම මව්බිම අපේ ලෙයින් තෙත් කළා.  ගෝඨාභය සමෘද්ධිය සොයා ඇමෙරිකාවට ගිහින් නිවාඩුවකටවත් නෑවිත් එහි අවුරුදු 15 ක් ඉඳලා අයියා ජනාධිපති වුණාම ලංකාවට ආවා.

ඔහු යළිත් රටට එනකොට මම හමුදාපති. ඔහු ඇවිත් ආරක්ෂක ලේකම් වුණා. යුද්ධය වෙනුවෙන් අපි කැපකිරීම් කළා.

මට මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වුණේ 2006 අපේ‍්‍රල් 25. එතකොට පැවතුණේ සටන් විරාමයක්. ඒකෙන් ප්‍රයෝජන අරන් තමයි මේ ප‍්‍රහාරය එල්ල කළේ. සාමාන්‍යයෙන් සටන්විරාම තියෙද්දී බුද්ධි මෙහෙයුම් ප‍්‍රහාර නවත්තනවා.පොට්ටු අම්මාන් , ඒවා කරගෙන ගියා. 

ඒ තත්ත්වය මත තමයි මට ප‍්‍රහාර එල්ල කළේ. නැතිව හමුදාවේ දුර්වල කමක් නිසා නොවෙයි. සමහරු මේ දවස්වල මීටින්වල කියනවා ජෙනරල් ෆොන්සේකා කොහොම ද යුද්ධ කරන්නේ එයාගෙ ආරක්ෂාව වත් තහවුරු කර ගන්න බැරිව කියලා. සටන් විරාමයක් කියන්නේ ජෙනරල්ලගේ ආරක්ෂාව තහවුරු කරගන්න උනන්දු වෙන කාලයක් නොවෙයි.

මාවිල්ආරු වහද්දී මම සිංගප්පූරු ජාතික රෝහලේ හිටියේ. මම වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට ගිහින් හිටියේ.

මාස තුනක් හිටියා. මගේ බඩවැල් තුවාල වෙලා තිබුණ නිසා මට ආහාර ගන්නවත් දුන්නේ නැහැ. විශාල තුවාල තිබුණා. දවසකට වතුර ග්‍රෑම් 100 ක් විතරයි මට හම්බ වුණේ. ඉතිරි ඒවා බටවලින් මයි ඇඟට දැම්මේ.

නමුත් මාවිල් ආරුව වහද්දී මට ඒක ආරංචි වෙනකොට මගේ තුවාල හොඳ වෙලා බඬේ තුවාලෙ විතරක් තිබුණා. 23 තුන මාවිල් ආරු වැහුවා කියලා ආරංචි වුණාම මම ඉස්පිරිතාලේ ලංකාවේ දොස්තර කෙනෙකුට කතා කරලා අවශ්‍ය බෙහෙත් අරන් 24 වැනිදා ලංකාවට එන්න  ඕන කිව්වාම ඒ අය අවසර දුන්නා. මම 25 ලංකාවට ආවා.

මම ලංකාවට එන්න ගුවන් යානයට ගියේ රෝද පුටුවකින්. ලංකාවේදී බැහැල හෙලිකොප්ටර් එකට ඇවිදගෙන ගියේ දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලගෙන. මාස තුනක් නොකා ඉන්න එක අමාරු දෙයක්. කිලෝ 89 ක් තිබුණු මගේ බර කිලෝ 72  කට බැහැල තිබුණා. එච්චර දුර්වල මම 25 රාත‍්‍රී ගෝඨාභයට කෝල් එකක් දුන්නම කිව්වා ප‍්‍රශ්නයක් තියෙනවා සරත් මොකක් හරි කරන්න කියලා.

ඔහු කිව්වා මාවිල් ආරු වහල තියෙන්නේ, ජෙනරල් මල්ලවආරච්චි කිව්වා කීවා ප‍්‍රහාර එල්ල කරන්න සෙබළු මදිය කියා. පස්සේ මම ත‍්‍රිකුණාමලයට කතා කරල ඇහුවම ඒ අය කිව්වා කල්ලාරු හිටි ස්වේච්ඡා භටයෝ 100 ක් විතර මාවිල් ආරුවට යැව්වා කියලා. ඔවුන් එහි බිම දිගාවෙලා ඉන්නවා කිව්වා. මාවිල් ආරු එතනින් කිලෝ මීටර් හයක් හතක් ඈතින් තියෙන්නේ.

මම පසුදා ගෝඨාභයට කතාකරලා කිව්වා අපි ප‍්‍රහාර එල්ල කරනවා. ඒ බව ජනාධිපති දැනුවත් කරන්න කියලා. ඒ 26 දා. මම යුනිෆෝම් ඇන්දා. මාව හෙලිකොප්ටරේට අරන් ගියේ එක් කෙනෙක් අල්ලගෙන හැරමිටියකින්. මම කල්ලාරුවලට යද්දී  විමල් වීරවංශයි රතන හාමුදුරුවොයි කල්ලාරුවල ඉන්නවා. ඔවුන් කෑගහන්නේ මාවිල්ආරු ඇල්ලූවා වගේ. ඒත් අල්ලලා නැහැ.

මම යාපනයෙන් ගෙන්නුවා කොමාන්ඩෝ රෙජිමේන්තුව හා විශේෂ කාර්ය බළකායේ කණ්ඩායම් දෙකක්. අපි මාවිල් ආරුවට පහර දෙන්න පටන් ගත්තා. අපි සති දෙකක් අවසානයේ මාවිල් ආරු ඇල්ලූවා. එතකොට මම අවසන් සටනට බැස්සේ මාවිල් ආරුවත් එක්ක.

එතනින් ලැබුණ ආශිර්වාදයක් වගේ ත‍්‍රස්තවාදීන් සාම්පූර් පැත්තට පහර දෙන්න පටන් ගත්තා. අපි මාවිල් ආරු අල්ලල සුමානයක් යද්දී සාම්පූර් පැත්තත් ඇල්ලූවා.

අපි දන්නවා දේශපාලකයන්ගේ හැටි. සාම්පූර් ඇල්ලූවාම මේ මේසෙ විතර කේක් ගෙඩියක් මහින්ද රාජපක්ෂ ගෙනාවා. ගෙනැල්ලා ඒකත් මට කියල කැප්පෙව්වා. තමුන්නාන්සේලාට මතක ඇති සතුටට කඳුලූ බේරි බේරි ගොත ගගහ අපි සාම්පූර් සාම්පූර් සා....සා... සා.... සාමපූර් ඇල්ලූවා කියලා.

ඊට පස්සේ මම දැනගත්තා මේක කළාට පසු මේ අයට යුද්ධය අමතක වෙනවා කියලා. මම වාකරේට පහර දෙන්න පටන් ගත්තා. එතකොට ත‍්‍රස්තවාදින් අපට පහර දෙනවා. කොක්ක දාගත්තම ආණ්ඩුවට බැහැ නවත්තන්න. වාකරේ අල්ලල අවසන් වෙද්දී මඩකලපුවේ උතුරු දෙසට පහර දෙන්න ගත්තා. ඉන් පසු තොප්පිගල පැත්ත මේ වගේ 2006 ජුලි 25 සිට 2007 ජුලි වෙද්දී නැගෙනහිර අල්ලල ඉවර කළා. ඒ අතරම 2007 මාර්තුවල මම සේනාංකයක් දැම්මා වව්නියාවට. වව්නියාවේ සිට මන්නාරම දෙසට යන්න. මේවා කරද්දී ගෝඨාභය වත් කිසිකෙනෙක් වත් දන්නේ නැහැ.

අඩු ගානෙ මගේ යටතේ හිටි සේනාංකාධිපතිවරු වත් දන්නේ නැහැ සුමානෙකින් එහා මොනවාද වෙන්නේ කියලා. සුමානයක් විතරයි ඔවුන්ට කියන්නේ. කිලිනොච්චි අල්ලල ඉවර වෙලා පුදුකුඩි ඉරිප්පු පැත්තට හැරෙද්දීවත් කවුරුවත් දැනගෙන හිටියේ නැහැ මගේ ඉල්ලක්කය මුලතිව් කියලා. මම ආරක්ෂක කවුන්සලේවත් කිව්වේ නැහැ. කිව්වා නම් වෙන්නේ පත්තරේ දාල පොත් ගහලත් තියේවි. යුද්ධය කිසි දෙයක් ලිඛිතව තිබ්බේ නැහැ. තිබ්බා නම් අවුල් කරනවා.

මම අවුරුද්දයි මාස තුනක් කිසිම නියෝගයක් ලිව්වේ නැහැ. කිසිම මෙහෙයුමකට නමක් දැම්මේ නැහැ. දන්නවානේ අතීතය. කෑම්ප් එකකින් එළියට යද්දී නමක් දානවා.

ඒ කාලේ ඇතුළත මම සතියකට වරක් නැගෙනහිරට, සුමාන දෙකකට වරක් යාපනයට, ඒ වගේම සුමාන තුනකට වරක් යාලටත් යනවා. එහෙත් පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණා. ගෝඨාභය මාත් එක්ක එක වතාවක් විතරක්  පුළුකුණාවට ගිහින් තිබුණා. නැගෙනහිරට එච්චරයි. එක වතාවක් වව්නියාවට ගියා.

එතකොට අපි උතුරේ යුද්ධය පටන් අරන්. එකම වතාවක් යාපනයට යන්න  ගියා. යන්න කලින් කියනවා නේ හතර වටේටම චන්ඩි වැඩක් කරන්න යනවා කියා.  ඉතින් එදා යන්න කලින් එල්ටීටීඊ එක පලාලිවලට ආටි ගහන්න ගත්තා. අපි ගුවන් යානය ආපසු හැරෙව්වා.

ඒ නිසා යන්න බැරිවුණා. ඒ ඇරුණාම කිසිම අවස්ථාවක ඔහු යුද පිටියට ගිහින් නැහැ. යුද්ධය කරන හැටි ගැන ඔහු මට කිසිදිනක උපදෙස් දුන්නේ නැහැ. ඔහුට යුද්ධය තේරෙන්නේ නැහැ. අදටත් තේරෙන්නේ නැහැ. මොකද මම එහෙම කියන්නේ, ඔහු මෑත දවසක ටී වී එකේ කිව්වා, අපි සටන් ක‍්‍රම වෙනස් කළේ නැහැ. පරණ ඒව තමයි තිබුණේ නමුත් අපි හතර පැත්තකින් ගැහුවා කියලා. පරාක‍්‍රමබාහුත් හතර පැත්තකින් ගැහුව කියල කිව්වා. හමුදාව ලක්ෂ පහක් කළා. ඒකයි අපි යුද්ධය දිනුවේ කියලත් කිව්වා.

හමුදාව කවදාවත් ලක්ෂ පහක් හිටියේ නැහැ. මම භාර ගත්තේ 1,16,000 ක හමුදාවක්. අවුරුදු එකහමාරක් ඇතුළත ඒක ලක්ෂ දෙකක් කළා. ත‍්‍රිවිධ හමුදාවම එකතු කළත් ලක්ෂ පහක් නැහැ. එතකොටත් තිබුණේ තුන් ලක්ෂ පනස්දාහයි. යුද්ධයට සම්බන්ධ කට්ටිය  හිටියේ ලක්ෂ තුනයි. අදටත් ඔහු හිතාගෙන ඉන්නේ ලක්ෂ පහක් යුද්දෙට සම්බන්ධ වුණා කියලයි.

සටන් ක‍්‍රම වෙනස් වු ආකාරය තේරෙන්න හමුදාවේ හොඳ අධ්‍යාපනයක් තිබෙන්න  ඕන. හමුදාවේ සිටින කෝප‍්‍රල් කෙනෙකුට වුණත් තේරෙනවා. එයාට තේරෙන්නේ නැහැ. එයා හිතගෙන  ඉන්නේ ලක්ෂ පහක් හිටියා. හතර පැත්තෙන් ගැහුවා ඒකයි යුද්දෙ ඉවර වුණේ කියලා. ඒ වගේ කතා කියන්නේ හමුදාවේ ඉන්න වේටර්ලා වගේ සිවිලියන්ලායි.

මම භාර ගන්න කලින් 130,000  ක් බඳවා ගන්න තීරණය කරල තිබුණත් හිටියේ 116,000 යි. ඉතුරු ටික පුරවා  ගන්න හැටියක් තිබුණේ නැහැ. අවුරුද්දකට 3000ක් විශ‍්‍රාම යනවා. ඒ කාලේ බැඳෙන්නේ 3000 යි. ඒක 4000ක් කරන්න මම සෑහෙන්න වෙහෙසක් ගත්තා. මනෝවිද්‍යාත්මක අංශය හෙම හුඟාක් මහන්සි වුණා. හමුදාවන්හි හතර දෙනාගේ පුහුණුවක් වෙනම පටන්ගත්තා.

රෙජිමේන්තු හැම කෙනාටම මේ පුහුණුව දුන්නා. සෙබලෙකුට ඉංජිනේරු වැඩ ප‍්‍රථමාධාර ගුවන්යානා සබඳතා, මූලික මාස එක හමාරේ විශේෂ කාර්ය  බළකා පුහුණුව ආදිය දුන්නා. සේනාංකයක් යුදබිමට යද්දී මීටර් දෙසීයක් තියාගෙන ගියේ. නමුත් මේක කිලෝමීටර් 15 ක දුරක් සටන් පෙරමුණ තියාගෙන සටන් කළා. සෙබලූන්ට අපි ආත්ම විශ්වාසය දුන්නා.

අතීතයේ සටන් කලේ භූමිය අල්ලන්න. නැත්නම් පාරක් අල්ලන්න නැත්නම් කඳවුරක් බේරගන්න. එහෙම වුණාම තැනකින් තව තැනකට සෙබළුන් ගෙනාවා. අපි එහෙම කළේ නැහැ. අපි අල්ලපු තැන රැකගන්නා අතරෙයි ඒවා කළේ.  අපි සටන් කළේ සතුරන් ඝාතනය කරන්න. ඔහුට මේවා අදටත් තේරෙන්නේ නැහැ.