
(*** නොර්වුඩ් රංජිත් රාජපක්ෂ)
කුසට ආහාර වේලක් නොමැතිව සිටින තම දරු තිදෙනා පාසලට එවීමේ හැකියාවක් නැතැයි ගිනිගත්හේනේ පදිංචි දෘෂ්‍යාබාධිත මවක් දරුවන් අධ්‍යාපනය ලබන ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාට ලිපියකින් දැනුම් දී ඇත.
ඇය ලිපියක් මගින් තමන්ට මෙම දැනුම්දීම කර ඇතැයි එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ගිනිගත්හේන බෝගල්කන්ද නිකතැන්නේ පදිංචි නිරෝෂා ප්‍රියංගනි නමැති 38 හැවිරිදි තිදරු මව විදුහල්පතිවරයාට මෙම දැනුම්දීම කර ඇති අතර ඇය උපතින්ම දෘෂ්‍යාබාධිත කාන්තාවකි.
හැටන් ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක කම්කරුවකු ලෙස සේවය කරමින් සිටි ඇයගේ සැමියා මීට වසර දෙකකට පමණ පෙර හිස මතට ගලක් පෙරලීමෙන් මියගොස් ඇතැයි ද ඇය තම ලිපියෙහි සඳහන් කර ඇත.
තමන් පදිංචි නිවස සැමියා සේවය කළ පෞද්ගලික ආයතනයෙන් ඉදිකර දුන් බවත්, අසල්වාසීන්ගෙන සහ නෑ හිතවතුන්ගෙත් ලැබෙන සහයෙන් සහ රජයෙන් ලබාදෙන සමෘද්ධි සහනාධාරයෙන් තම දියණියන් දෙදෙනා සහ පුතු රැක බලාගෙන දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ පාසල් යවන බව ද නිරෝෂා ප්‍රියංගනි මහත්මිය විදුහල්පතිවරයාට යොමු කළ ලිපියේ දැක්වේ.
ඇයගේ වැඩිමල් දියණිය ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ 6 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අතර, ඇයගේ අනෙක් දරු දෙදෙනා ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලයේ 1 සහ 2 ශ්‍රේණිවල අධ්‍යාපනය ලබමින් සිටිති.
එම දරුවන්ට පාසල් කාලයේ දී විදුහලේ ගුරුවරුන් විසින් ආහාරපාන දෙනු ලබන නමුත් එය තාවකාලික විසඳුමක් නිසා ඔවුන්ගේ පාසල් දිවිය රැක බලා ගැනීමට කිසියම් අයකු හෝ ආයතනයක් ඉදිරිපත් වන්නේ නම් එය ඔවුන්ට ලබාදෙන විශාල උපකාරයක් වනු ඇතැයි විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතා පැවසීය.
එම පවුලේ වැඩිමල් දියණිය පාසල් යන්නේ නිවසේ වැඩ කටයුතු සිදු කර ගනිමින් තම මව, නැගණිය සහ සොහොයුරා රැක බලා ගනිමින් බව ද පාසල් නිවාඩු කාලයේ දී දරුවන්ට ගුරුවරුන්ගෙන් හෝ ආහාර නොලැබෙන නිසා තමන් විවිධ දුෂ්කරතාවලට මුහුණ පා සිටින බව ද නිරෝෂා මහත්මිය පවසන්නේ යැයි ද විදුහල්පතිවරයා කීවේය.
තිදරු මවගේ ලිපිය ලද විගස ගිනිගත්හේන මධ්‍ය මහ විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ උපදෙස් මත එම විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිනි ගයානි වික්‍රමසිංහ මහත්මිය පෙරේදා (09) එම නිවසට ගොස් මෙම පවුල පිළිබඳ සොයාබැලීමට ද පියවර ගෙන ඇත.
තිදරු මව විදුහල්පතිට එවා ඇති ලිපියේ මෙසේ සඳහන් වෙයි
විදුහල්පතිතුමනි, මගේ ලොකු දුව පාසලේ හය වසරේ ඉගෙනුම ලබනවා. අනෙක් දියණිය සහ පුතා ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබනවා. මම මේ ලිපිය ලියන්නේ අසල්වාසී ඥාතියකුට කියලා. මගේ සැමියා වසර දෙකකට පමණ පෙර හදිසි අනතුරකින් මියගියා.
අප ජීවත්වන්නේ දැඩි ආර්ථික අපහසුතා මැද්දේ. ළමයි ඉගෙන ගන්න හරිම ආසයි. එහෙත් අප දවස ගතකරන්නේ වැඩිහරියක් කුසගින්නේ. පාසලේ විවේක කාලයේ අනෙක් ළමයි කෑම කනකොට මගේ දරුවන්ට කන්න දෙයක් නෑ. ඒ අය හරිම දුකෙන් ඉන්නේ. ඒ ගැන මට ගෙදර ඇවිත් දුක කියනවා. ඒ වෙලාවට මගේ පපුව පිච්චිලා යනවා.
මට මේ දුක තවත් දරාගෙන ඉන්න බැරි නිසා ළමයි තුන්දෙනා පාසලට එවීමට නොහැකියි. කවුරු හරි පිහිට වෙනවා නම් මට ළමයින්ට උගන්වන්න පුළුවන්. මට මේ ගැන කියන්න වෙන කවුරුත් නැති නිසා තමයි විදුහල්පතිතුමනි ඔබතුමාට මේ දුක කියා එවුවේ.
COMMENTS
කන්න නැතිව කොච්චර මිනිස්සු ඉන්නවාද?කාලකණ්ණි දේශපාලකයෝ ඒ මිනිස්සුන්ගේ ඡන්දෙන්ම දිනලා, තමන්ගේ බඩගැන විතරක් හිතලා බලාගෙන ඉන්නවා. අපේ ගොයියොත් ‘එහෙමයි සර්‘ කියාගෙන ඉන්නවා. මේ පුවතින් පස්සේ ගොඩක් සාමාන්‍ය මිනිස්සු උදව් කරන්න එයි. ලංකාදීපයට ස්තුතියි..
උදව් කරන්න පුළුවන් විදිහක් දාන්න...
කරුණාකර මේ අය පිළිබඳ සියලු තොරතුරු දුරකථන අංකද සහිතව ලබාදෙන්න.
ගිනිගත්හේනේ අපි මේ ගැන හොයලා බලලා උදව්වක් කරමු.
ඇත්තටම මේ වගේ කණගාටුදායක පුවත් තාමත් අපේ රටේ තියෙනවා කියලා.. වගකිව යුත්තෝ දන්නේ නැද්ද? මේ ළමයින්ට පාසල පටන් ගැනීමත් සමග කැඳ කෝප්පයක් හෝ සුළු ආහාරය ලබාදීම කොයිතරම් උතුම් ක්‍රියාවක්ද? බඩගින්නේ මේ ළමයි දුර්වල වෙනවා මිස බුද්ධිමතුන් බිහිවෙන්නේ නැහැ.
මෙම පවුලේ ලිපිනය ආදී විස්තරත් සඳහන් කරන්න.
කරුණාකර මේ මවගේ බැංකු ගිණුම් විස්තරත් දාන්න.
මිනීමරු පවුලක් විසින් හිතුමතේ පාලනය කරන, ඉන්දියන් සාගරයේ චූටි දූපතේ ගලන කඳුළු ගංගාවලට එකතුවුණු තවත් කඳුළු කතාවක්... මේ රටේ මිනිස්සුන් දුප්පත් නැහැ. නමුත් දුෂ්ඨ පාලකයින් විසින් ඒ අහිංසකයින්ගේ අධ්‍යාත්මය දුප්පත් කරලා.. මිනිස්සුන්ගේ ඇස් බැඳලා.. රටේ ධනය කොල්ලකාලා. රට අද අන්ත අසරණ දුප්පත් අඩියකට ඇද දමලා. මේ දුප්පත් අම්මටයි, දරුවන්ටයි කවුරුන් හෝ පිළිසරණක් වෙන බව මම හොඳින්ම දන්නවා. ඒ තවමත් යහපත් ගුණදම් රකින, අනුන්ගේ දුක හඳුනන ඇත්ත මිනිසුන් මේ රටේ කොහේ හෝ අප්‍රසිද්ධියේ දිවි ගෙවන නිසයි.
විජිත් මහත්තයා සහ ඩින්ගිරි බණ්ඩයියා.. අපි සිංහයා ලකුණ දරණ නියම පිරිසිදු ථේරවාදී බෞද්ධයින් බව අමතක කරන්න හොඳ නැහැ. ඒ දරුවන්ට පූරුවේ කරුමයක් පලදීලා විය යුතුයි. අපි මොනවා කරන්නද? කරුමයක් ඵලදෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න බැහැ. කෙනෙක් කෝච්චියේ හැප්පිලා මැරෙන්න නියම වෙලා තියෙනවා නම් කෝච්චිය ඒ මනුස්සයාගේ ගෙදරට ගිහින් හරි හැප්පෙනවා... ඒක එහෙම තමයි. කොහොම වුණත් අපට හරිම කණගාටුයි. මේ වගේ රටක නේද අපි ජීවත් වෙන්නේ..?