( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මාලබේ පිහිටි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණික ආයතනය (SLIT)යළි  මහපොළ භාරකාර අරමුදලට පවරා ගන්නා ලෙස  නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා  පාර්ලිමේන්තු මන්ත්‍රී  ආචාර්ය  විජේදාස රාජපක්ෂ මහතා  ඉදිරිපත් කළ  මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සදහා දෙසැම්බර් මස 01 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය.

විජිත් මලල්ගොඩ, ප්‍රීති පද්මන් සූරසේන,මහින්ද සමයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූ අතර එහිදී  පෙත්සමෙහි වගඋත්තරකරුවන්ගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බැවින් ඒ සඳහා කල් ලබා දෙන ලෙස  නීතිපතිවරයා  අධිකරණයෙන් ඉල්ලා  සිටියේය.

ඒ අනුව  ඒ සඳහා කල් ලබා දෙමින්  පෙත්සම සලකා බැලීමට එදින කැඳවීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

හිටපු  ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා දූෂණ විමර්ශනය කිරීම  සදහා  පත් කල ජනාධිපති  කොමිසමේ නිර්දේශ  අනුව වගකීම්  දැරිය යුතු  අයට එරෙහිව අ ල්ලස් පනත  යටතේ සහ අධිචෝදනා  ඉදිරිපත් කර නඩු පැවරීමට පියවර ගන්නා ලෙස නියෝග කරන්නැයි ද මෙම පෙත්සම් මගින් ඉල්ලා ඇත.

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය,  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, (SLIT) ආයතනය ඇතුළු 41 දෙනෙකු  වගඋත්තර කරුවෝ වෙති.

අඩු ආදායම් ලාභී පවුල් වල සරසවි වරම් ලබන සිසුන් ට ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණින්  ලලිත් ඇතුලත්මුදලි මහතා  මහපොළ  ආරම්භ කල බව  පෙත්සමෙහි සදහන් වේ.

එම මහපොළ  අරමුදලේ මුදල් යොදවා මාලබේ තොරතුරු තාක්ෂණික ආයතනයේ  ගොඩනැගිලි  ඉදිකල බවද එහි  සදහන් වේ. එහෙත්  එම ආයතනය රජයේ  පාලනයෙන් ඉවත් කර ගැරන්ටී   සමාගමකට පවරා ඇති  අතර එකී ඉඩම වසර 60කට  බදු දුනා බව පැවසෙන  බවද පෙත්සම්කරු කියයි.

එහිදී    සිදු ව වංචාව නිසා මහපොළට වූ අලාභය රුපියල්  කෝටි  2300ක්  බව සදහන් වේ.

මේ පිළිබඳව  විමර්ශනය කිරීම ට  පත් කල ජනාධිපති  කොමිසම විසින්  නිර්දේශ  කිහිපයක්  කර  තිබේ.එම නිර්දේශ  ක්‍රියාත්මක කරන ලෙස  නියෝග කරන්නැයි පෙත්සම මගින් ඉල්ලා ඇත.

පෙත්සම්කාර ජනාධිපති  නීතීඥ විජේදාස රාජපක්ෂ මහතා තමා වෙනුවෙන්ම පෙනී සිටියේය.