යාපනය අර්ධද්වීපයෙන් පිටත දූපත් වල පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුනක් ආරම්භ කිරීම සඳහා චීන සමාගමකට ටෙන්ඩරයක් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ දැඩි විරෝධයක් පළ කර ඇතැයි ‘ද සන්ඩේ ටයිම්ස්“ පුවත්පත වාර්තා කරයි. 

කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය  ඉන්දියාවට සහ ජපානයට ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීමටත් පෙර මෙම විරෝධතාවය ඉදිරිපත් වූ බවද සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි. නැගෙනහිර බහාලුම් පර්යන්තය  ඉන්දියාවට සහ ජපානයට ලබා නොදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ දැඩි විරෝධයක් එල්ල විය. 

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් කැබිනට් මණ්ඩලයේ තීන්දු ප්‍රකාශයට පත්කිරීමත් සමගම මෙම විරෝධතාවයට මුල පිරීය. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද්දේ ජනවාරි 18 වැනිදාය. 

රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පැවසුවේ ඉන්දියාවේ විරෝධතාවට හේතුව එවැනි පියවරක් නිසා ආරක්ෂක ගැටළු මතු වනු ඇති බවයි. පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති තුන ආරම්භ කෙරෙන දූපත් වන්නේ ඩෙල්ෆ්ට් දූපත, අනලතිව් දූපත සහ නයිනතිව් දූපත්ය.  පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරන ලද දූපත් ඉන්දියාවේ වෙරළට ආසන්නව පිහිටා තිබේ. 

ඩෙල්ෆ්ට් දූපත ඉන්දියානු වෙරළබඩ නගරයක් වන රාමේෂ්වරම් සිට කිලෝමීටර් 48 ක් දුරින් පිහිටා තිබේ. 

බලශක්ති ව්‍යාපෘතියේ දේශීය හවුල්කරු වන ලංකා විදුලිබල මණ්ඩලය චීනයේ එටෙක්වින් සමාගම සමඟ හවුල් ව්‍යාපාරයක් සඳහා ඉඩම් හඳුනා ගැනීමෙන් පසුව ව්‍යාපෘතියට අදාළ කරුණු අවසන් කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් ලැබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවෙනි. 

ඇමරිකානු ඩොලර් මිලියන 12 ක ව්‍යාපෘතියක් වන මෙය චීනයේ එම්.එස්. / සිනොසාර්-එටෙක්වින් හවුල් ව්‍යාපාරයට ප්‍රදානය කර තිබේ. චීන සමාගමට මෙම ටෙන්ඩරය ප්‍රදානය කිරීම නිර්දේශ කරනු ලැබුවේ ප්‍රසම්පාදනය පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර කමිටුව විසිනි.

පවත්නා බලශක්ති ජාලයේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා උපයෝගී කරගත හැකි බලශක්ති සම්පත් යොදා ගනිමින් දූපත් තුනෙහි දෙමුහුන් පුනර්ජනනීය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම සඳහා ව්‍යාපෘතිය යටතේ ජාත්‍යන්තර තරඟකාරී මිල ගණන් කැඳවන ලදී.