(විමුක්ති එස් රුද්‍රිගු)

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කළ නෞකාවක් ඉරානය මුහුදු අටවා තිබූ බෝම්බයක ගැටී පිපිරී ගිනිගත් බවත් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය  ප්‍රකාශ කළේය.

ඉරාන රාජ්‍ය මාධ්‍යයක් වන ෆාර්ස් පුවත් සේවය වාර්තා කර ඇති පරිදි, සිද්ධියට සම්බන්ධ නෞකාව පැනමා ධජය යටතේ යාත්‍රා කළ ‘එල් ගායා’ නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාවකි. කෙසේ නමුත් ඉන්ධන ප්‍රවාහන නෞකාව පිපිරී ගිනිගත් දිනය පිළිබඳව ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය එහිදී කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැත.

කෙසේ වෙතත්, ඇමෙරිකානු හමුදා මධ්‍යම අණදෙන මූලස්ථානය පවසා සිටියේ නෞකාව බිම් බෝම්බයක ගැටීමෙන් පිපිරීම සිදුවූ බවට ඉරානය කරන ප්‍රකාශය සත්‍ය නොවන බවයි. එම නෞකාව පසුගිය මාසයේ ඉරාන මිසයිලයකින් ප්‍රහාරයට ලක්ව ඇති බවත්, මෑතකදී යළිත් ඉරාන ඩ්‍රෝන ප්‍රහාරයකට ලක්ව ඇති බවත් එම මූලස්ථානය සඳහන් කළේය. මේ වනවිට එම නෞකාව කලාපීය හවුල්කරුවකුගේ සහායෙන් ඇදගෙන යමින් පවතින බවද එම මූලස්ථාන ප්‍රකාශ කළේය.