
(අංජුල මහික වීරරත්න)
වැසි තත්ත්වය හමුවේ ඇති විය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට අවදානම් ප්‍රදේශවල පෙරහුරු වැඩමුළු පැවැත්වීමට
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා පත් කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තීරණය කළේය.
එල්නිනෝ දේශගුණික බලපෑමට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත්කර තිබේ.
එම කමිටුව පස්වෙනි වරටත් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීරණ වලට එළඹිණි.
එල්නිනෝ දේශගුණික බලපෑම මේ වන විට නියං තත්ත්වයෙන් වැසි සහිත කාලගුණය තත්ත්වයකට ඉදිරි මාස දෙක තුළදී පරිවර්තනය වන හෙයින්, ඊට මුහුණ දිය යුතු ආකාරය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
වර්ෂාව නිසා ඇති විය හැකි ගංවතුර සහ නායයෑම් වැනි තත්ත්වයන්ට මුහුණ දීමට මහජනතාව දැනුවත් කිරීමට මෙහිදී තීරණය වූ අතර, ඒ වෙනුවෙන් මහජනතාව එවැනි ආපදා තත්ත්වයකදී මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සඳහා ආපදා පෙරහුරු වැඩමුළු පැවැත්වීමටද කමිටුවේ අවධානය යොමු විය.
නායයෑම් අවදානම් සහිත මහනුවර, බදුල්ල, මාතලේ, නුවරඑළිය යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගෙන ඊට අදාළ මූලික පෙරහුරු වැඩමුළු පැවැත්වීමටත්, ඊට අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙසටත් මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙනු ලැබිණි.
එසේම, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් මෙහෙයුම් මැදිරි ක්‍රියාත්මක කිරීමෙන් ජනතාව පෙර සුදානම් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡාවට බඳුන් විය.
මීට අමතරව, එල්නිනෝ තත්ත්වය හමුවේ දැනටමත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් ගෙන තිබෙන සහන සැලසීමේ කටයුතුවල සහ ඉදිරි වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සමාලෝචනය කිරීමද සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd