(අංජුල මහික වීරරත්න)

ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩ නඟන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

වසර 95ක සර්වජන ඡන්ද බල උරුමයක් හිමි ශ්‍රී ලංකාව, අද වන විට තාක්ෂණයෙන් පෝෂණය වූ සහ නීතියේ ආධිපත්‍යය සුරකින නව මාවතකට පිවිස සිටින බව ද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව කීවාය.

රාජගිරිය මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි.

 මැතිවරණ ඉලෙක්ට්‍රොනික සේවාවට (E-Services) වසර 10ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදුවිය.

"ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත තමයි නීතියේ ආධිපත්‍යය කියන්නේ. නීතිය හමුවේ සැමදෙනාම සමාන වෙන්න ඕනේ. කිසිම තරාතිරමක කෙනෙකුට නීතියට ඉහළින් ඉන්න ඉඩ තියන්න බැහැ. පසුගිය කාලේ නැතිවෙලා තිබුණු නීතිය පිළිබඳ ජනතා විශ්වාසය නැවත ගොඩනඟන්න වත්මන් රජය කැපී පෙනෙන සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා.

පළමුවෙන්ම, දේශපාලන අතපෙවීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ නිදහස පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණ පද්ධතියට ලබාදීලා තියෙනවා. මොන වගේ දේශපාලන බලපෑම් ආවත් අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා." යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.