ජනාධිපති කෙනඩිට වෙඩි වැදුණ මොහොතේ වාහනය දෙපසින් ගත් ඡායාරූප දෙකකින් දැක්වෙන්නේ බිරිඳ ජැකලින් කෙනඩි සිය සැමියාගේ හිස් කබලෙන් විසිවී ගිය කැබැල්ලක් අල්ලා ගැනීමට උත්සාහ ගත් අවස්ථාවයි. ඉහළ ඡායාරූපයේ වෙඩි වැදුණු කෙනඩි වාහනයේ අසුන මත වැටී සිටින අයුරු දැක්වේ.

 

 

මීට වසර පනස් හතරකට පෙර සිදුවූ, ඇමෙරිකාවේ එවකට ජනාධිපති ධුරය දැරූ ජෝන් එෆ් කෙනඩි ඝාතනයේ සියළුම අභිරහස් හෙළිදරව් වෙන සත්‍ය කරුණු රැගත් වාර්තාවක් නිකුත් කෙරෙන බව ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් පසුගියදා ප‍්‍රකාශයට පත්කරනු ලැබීමත් සමගම, ඇමෙරිකානු ජනතාව පමණක් නොව සෙසු ලෝකය ද ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවූහ. 


ඩලාස් ප‍්‍රාන්තයේ නිල සංචාරයක යෙදී සිටි ඇමෙරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩි 1963 නොවැම්බර් මස 22 දා තම ආර්යාව වූ ජැක්ලීන් සහ ටෙක්සාස්හි ප‍්‍රාදේශීය ආණ්ඩුකාරවරයා සමග විවෘත රථයක ගමන් කරමින් සිටියදී, දහවල දොළහයි තිහට කිසිවකු විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. ඇමෙරිකානු මැරීන්ස් හමුදාවේ හිටපු සෙබළකු වන ලී ඔස්වල්ඩ් නමැත්තකු මෙම ඝාතනයට වරදකරු ලෙස තීරණය කෙරුනි. 


ලී ඔස්වල්ඩ් මානසික අසමබරතාවයකින් පෙළෙන්නකු බව ද, ඝාතනය සඳහා ඔහු විසින් යොදාගන්නා ලදැයි කියන ගිනි අවිය පිළිබඳ විස්තර ද, ප‍්‍රකාශයට පත්වීමත් සමගම කෙනඩි ඝාතනය පිටුපස කිසියම් අදිසි හස්තයක් ක‍්‍රියාත්මකව තිබෙන්නට ඇති බවට සැක පැතිරෙන්නට විය. මෙම සැකයට ලක්වුණු පාර්ශ්ව අතර සෝවියට් රහස් ඔත්තු සේවය ද කියුබාවේ ෆිඩෙල් කස්ත්‍රෝ ද ඇමෙරිකානු මාෆියා සංවිධානයක් ද එවකට ඇමෙරිකාවේ උපජනාධිපති ලින්ඩන් බී ජොන්සන් ද ඇමෙරිකානු සීඅයිඒ රහස් ඔත්තු සේවය ද විය. 


එවකට වියට්නාමයේ පැවති සිවිල් යුද්ධයට ඇමෙරිකාවේ සෘජු මැදහත්වීම පිළිබඳව සෝවියට් සමූහාණ්ඩුව විරසකව සිටියේ ය. කියුබාවේ පිග් පෝර්ට් වරාය ආක‍්‍රමණය කිරීමට කෙනඩි දැරූ ප‍්‍රයත්නය පිළිබඳව ෆිඩෙල් කස්ත්‍රෝ ද සිටියේ අමනාපයෙනි. (කෙනඩි ඝාතනයට පෙර කීපවතාවක් ලී ඔස්වල්ඩ් කියුබාවට ගමන්කර තිබුණු බව ද නඩු වාර්තාවේ සඳහන් විය) ත‍්‍රස්ත මර්දනය සඳහා දැඩි පියවර ගැනීමට අධිකරණ අමාත්‍යවරයා ලෙස ඇමෙරිකානු ජනාධිපතිවරයා තම සහෝදරයා වූ රොබට් කෙනඩි පත්කිරීම ගැන ඇමෙරිකානු මාෆියා සංවිධාන නායකයෝ ද කෝපවී සිටියහ. 


වියට්නාමයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීමට කෙනඩි තුළ පැවති අදහසට උපජනාධිපති ධුරය දැරූ ලින්ඩන් ජොන්සන් කැමැත්තක් දැක්වූවේ නැත. කෙනඩි ජනාධිපති ඝාතක ලී ඔස්වල්ඩ් අනතුරුදායක පුද්ගල ලයිස්තුවට බෙහෝ කලක සිට ඇතුළත්ව සිටියද ඇමෙරිකානු සීඅයිඒ ඔත්තු සේවය ඒ බව වෙනත් කිසිම වගකිව යුතු ආයතනයකට දන්වා තිබුණේ නැත. මේ එක් පුද්ගලයකු හෝ ආයතනයක් ​ෙහා් කෙනඩි ඝාතනය පිටුපස අදිසි හස්තයක් ලෙස ක්‍රියාත්මක වෙන්නට ඇති බව ඇමෙරිකානු ජනතාවගෙන් සියයට හැට දෙකක ප‍්‍රතිශතයක් එවකට විශ්වාස කළහ. 


ඝාතකයා විසින් කෙනඩි ඝාතනය සඳහා යොදාගෙන තිබුණු ගිනිඅවිය ද එවැනි ඝාතනයක් සඳහා සහතික කළ හැකි ගිනි අවියක් නොවෙන බවට ද මතයක් විය. කැලිබර් හයයි දශම පහ ප‍්‍රමාණයේ වූ කර්කානෝ රයිෆල් 1938 වර්ගයට අයත් ඉතාලියේ නිෂ්පාදිත එම ගිනිඅවිය දෙවැනි ලෝක යුද්ධයේදී පාවිච්චි කළ යල්පැන ගිය ගිනිඅවියක් වූ අතර, ලී විසින් එය තැපැල් මාර්ගිකව ඩොලර් දොළහයි ශත හැත්තෑ අටකට මිලට ගත්තක් විය. එවකට පැවති අනෙකුත් ගිනිඅවි හා සැසඳීමේදී දුර ඉලක්කයක් නිශ්චිතව ගැනීම සඳහා දුරදක්නයක් සවිකර තිබුණද, එම ගිනිඅවිය එවන් භාරධූර කටයුත්තකට කිසිසේත්ම ගැළපෙන අවියක් නොවීය. 

ඝාතනයට යොදාගත් බවට සැක කෙරෙන ස්නයිපර් රයිෆලය

 


කෙනඩි ඝාතනය සඳහා ලී විසින් තැබුවා යයි කියන පළමු වෙඩිල්ල කුරුමානම වැරදී අසලවූ තාප්පයකට වැදී තිබුණි. දෙවැනි වෙඩිල්ල කෙනඩිගේ කශේරුකාවට වැදී ගෙල ප‍්‍රදේශයෙන් පිටව, ඉදිරිපස අසුනේ සිටි ප‍්‍රාදේශීය ආණ්ඩුකාර කොනලි ද තුවාලකර තිබුණි. (ජනාධිපතිවරයාගේ ගෙල ප‍්‍රදේශයෙන් පිටවූ මෙම උණ්ඩය ඉදිරි අසුනේ සිටි ආණ්ඩුකාරවරයා තුවාල කිරීම තෙක් ගමන් කර තිබුණු වක‍්‍ර මාර්ගය පිළිගැනීමට අසීරුය) තෙවැනි වෙඩිල්ල ජනාධිපතිවරයාගේ හිසට එල්ලවී තිබුණි. ලී ඔස්වල්ඩ් තැබූ වෙඩි පහරින් නොව, ඔහු වෙඩි තැබූ ටෙක්සාස් විදුහල ඉදිරිපිට වූ කඳුගැටයක් වූ තණබිමේ සිට වෙනත් කිසිවකු විසින් තබන ලද වෙඩි පහරකින් කෙනඩි මිය යන්නට ඇති බවට සැක කරන්නෝ ද වෙති. 


උක්ත කරුණු සියල්ල ගැඹුරින් විග‍්‍රහ කළ අපක්ෂපාතී ලෝකය කෙනඩි ඝාතනය ලී ඔස්වල්ඩ්ගේ පෞද්ගලික ගනුදෙනුවක් නොවෙන බව තීරණය කළහ. කෙනඩි ඝාතනය පිළිබඳව වොරන් කොමිසම විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ජනතාව පිළිගත්තේ ප‍්‍රබන්ධ නවකතාවක් ලෙස ය. හැටේ දශකයේ වෝටර්ගේට් හෙළිදරව්වත් සමගම ඇමෙරිකානු ජනතාව තුළ තම රජය කෙරෙහි වූ විශ්වාසය බිඳී ගියේය. සුප‍්‍රසිද්ධ ඇමෙරිකානු සිනමාකරුවකු වන ඔලිවර් ස්ටෝන් විසින් අසූව දශකයේ දී නිෂ්පාදිත කෙනඩි ඝාතන කතාව මත පදනම්වූ ජේඑෆ්කේ 
චිත‍්‍රපටයට තේමාවූ චින්තනය ද, කෙනඩි ඝාතන සැකයට පොහොර දැමීමක් විය. 


මේ සියල්ල හමුවේ කෙනඩි ඝාතනය නොවිසඳුනු අභිරහසක් ලෙස මේ වෙනතුරු වසර පනස්හතරක් පුරා ජනතාවගේ මතකයේ හමස්පෙට්ටි ගතව තිබුණි. කෙනඩි ඝාතනය පිළිබඳව නිවැරදි කරුණු අඩංගු සත්‍ය වාර්තාවක් නිකුත්වෙන බව ඇමෙරිකානු වත්මන් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශ කළත් මේ වෙන විට නිකුත් වී ඇත්තේ දැනටද ප‍්‍රචලිත තොරතුරු විනා සියඵ රහස්‍යමය තොරතුරු හෙවත් ‘‘ක්ලැසිෆයිඩ්” තොර​ෙතාරු නොවන බවට ඇමෙරිකානු මාධ්‍ය මැසිවිලි නගති. එම සත්‍ය තොරතුරු ලැබුණුදාට, 1963 නොවැම්බර් මස විසි දෙවැනිදා දහවල් දෙළහයි තිහට ඇමෙරිකාවේ ඩලාස් ප‍්‍රාන්තයේ ටෙක්සාස් විදුහල ආසන්නයේදී සිදුවූ කෙනඩි ඝාතනයට සැබෑ වගකිව යුත්තෝ කවුරුන්දැයි දැනගැනීමට මුළු ලොවම කුතුහලයෙන් බලාසිටී. 


එමෙන්ම 1997 අගෝස්තු මස තිස්එක් වැනිදා ප‍්‍රංශයේ පැරිස් නුවරදී රිය අනතුරකින් සිදුවූ ඩයනා ස්පෙන්සර්ගේ මරණය ද, සාමාන්‍ය රිය අනතුරක් ඉක්මවාගිය සැලසුම් සහගත මිනිස් ඝාතනයක් බවට ඇතැමුන් සැක කරති. එම සැකය සාධාරණ නම්, ඩයනා කුමරියගේ මරණය පිළිබඳව සැබෑ කරුණු අඩංගු වාර්තාවක් මේ මොහොතේ කොතැනක හෝ රහසිගතව තිබෙන්නට පුළුවන. ඩයනා කුමරියගේ මරණය පිළිබඳව අද පිළිගත් නිල කරුණුවලට පටහැනි වෙනත් කරුණු සහිත කිසියම් වාර්තාවක් ඇතොත්, එය ද කිසියම් දිනෙක හෙළිදරව් වෙනු නොඅනුමාන ය. එහෙත් එදාට කළ හැකි වෙන්නේ ඝාතනයට වගකිවයුත්තන්ගේ සොහොන්කොත්වලට ගැරහීම පමණි. 

යටියන 
ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.