මීට අඩසියවසකට පමණ පෙර එවකට පාසල් වියේ වූවන් අතර වඩාත් ජනප්‍රියව තිබුණු සතිපතා පුවත්පතක, “දුක දිනා ජයගත් හපන්නු” නමින් ලිපි පෙළක් විය. අගහිඟ කම්කටොළු මැද ඇරඹි ජීවිතය වෙහෙස මහන්සියෙන් සාර්ථක කරගත්තවුන් පිළිබඳ කතා මෙම ලිපි පෙළින් කියැවුණි. ජීවිතය ජයගැනීම සඳහා පෙරගමන්කරුවන් වූ මොවුන්ගේ වෘත්තාන්ත අප විසින් එවකට කියවනු ලැබුවේ මහත් අභිරුචියකින් ය. එම ලිපි පෙළින් ඇතැමකු කිසියම් පන්නරයක් ලැබූ බව ද නොකියාම බැරිය. මෙම කතා බොහොමයකට පසුබිම්ව තිබුණේ විදේශයන් ය. දුක දිනා ජය ගැනීමට සුදුසුම දේශය විදේශය බවට ආකල්පයක් ගොඩනැගෙන්නට මෙම කතා ද හේතුපාදක වෙන්නට ඇත. 


එද‌ා පමණක් නොව මෙද‌ා ද දුක දිනා ජයගත්තවුන් පිළිබඳ කතා විරල නැත. එහෙත් ඇතැමෙකු ජීවිතය ජයගත් පසුව තම දුක්ඛිත අතීතය වළලා දැමීමට රුසියෝ ය. එහෙත් තවත් කෙනෙකුන්ට අතීතයේදී තමන් විඳි දුක ජීවිතය ජයගත් පසුව මිහිරක්ම ය. මෙම කතා පුන පුනා කියැවෙන්නේ ලියැවෙන්නේ පුරසාරමකට නොව, ඉන් තවත් කෙනෙකුන්ට පාඩමක් උගැනීමට ය. 


මෙම කතාව පාකිස්ථානු සංක්‍රමණකි යුවලක් විසින් එංගලන්තයේදී තම ජීවිතය ස්ටර්ලීන පවුමකින් පටන්ගෙන, තම දරුවන් පස්දෙන විදේශික සමාජයක ඉහළම තනතුරුවලට නැංවීමේ ශ්‍රේෂ්ඨ කතාවකි. 


පකිස්ථානයේ විසූ අබ්දුල් ඝානි ජවීඩ් සහ ඔහුගේ බිරිඳ ශුබේද් 1961 දී එංගලන්තයට සංක්‍රමණය වූයේ දුක දිනා ජය ලැබීමට ය. ඔවුන් එංගලන්තයට ගොඩබසින විට අබ්දුල් අත ඉතිරිව තිබුණේ තම පියා විසින් දෙන ලද ස්ටර්ලීන පවුමක් පමණි. එම මුදල සති කීපයකට සෑහේ යයි පකිස්ථානයේදී ඔවුන් සිතුව ද, එහි වටිනාකම එක් දිනක් ජීවත් වීමට පවා නොසෑහෙන බව ඔවුන්ට වැටහුනේ එංගලන්තයට පැමිණි පසුව ය. අතමිට මුදලක් නැති වුවද ඔවුන්ගේ සිත් ප්‍රාර්ථනාවලින් පිරී තිබුණි. ඒ යුරෝපයේදී සිහින සැබෑ කරගැනීම අසීරු නොවූ යුගයකි. 


අබ්දුල් ඝානි දුක ජයගැනීම සඳහා රෑ දහවල නොතකා වෙහෙසුණි. ඔහු මුලින්ම එංගලන්තයේ රොච්ඩේල් හි කපු කර්මාන්ත ශාලාවක සේවය කළේය. හැටේ දශකය අවසාන භාගය වන විට අතමිට යමක් ඉතිරි කරගත් අබ්දුල් ජවීඩ්, බ්‍රිස්ටල් නගරයට පැමිණ ස්කැලිවැග් නමින් රෙදිපිළි වෙළඳසැළක් ආරම්භ කළේය. පසුකලෙක බස් රථ රියැදුරෙකු ලෙසද සේවය ඇරඹීය. මේ වෙන විට අබ්දුල් යුවලට පිරිමි දරුවෝ ම පස්දෙනෙකු වූහ. නිදන කාමර දෙකකින් සමන්විත වූ ඔවුන්ගේ නිවසේ අගහිඟකම් මැද වැඩිමහල් දරුවෝ තිදෙන එක් කාමරයක නිද‌ාගත් අතර, බාල දරුවෝ දෙදෙනා දෙමාපියන් සමග අනෙක් කාමරයේ නිද‌ාගත්හ. අබ්දුල් ජවීඩ් පවුලේ කටයුතු වෙනුවෙන් වෙහෙස මහන්සිව මුදල් සෙවීමේ වගකීම කරට ගත් අතර, ඔහුගේ බිරිඳ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි උනන්දු වූවා ය. ප්‍රාථමික පාඨශාලා අධ්‍යාපනය ද නිමා නොකර සිටි ඇය, රජයේ පාඨශාලාවල අධ්‍යාපනය ලබමින් සිටි තම දරුවන් සෑම සෙනසුරාද‌ාවක ම බ්‍රිස්ටල් නගර සභා පුස්තකාලය වෙත ඇදගෙන ගියාය. අබ්දුල් යුවලගේ ප්‍රාර්ථනාව වූයේ ජීවිතය ජයගැනීම සඳහා තම දරු පස්දෙනා බුද්ධිමතුන් කර තැබීම ය. 
අතේ ඇඟිලි පහම එක සමාන නැත යන කියමනට අභියෝග කිරීමට මෙන්, අද මේ දරුවෝ පස්දෙනාම එංගලන්තයේ ගෞරවනීය පුරවැසියෝ ය. වැඩිමහලු පුත් පනස් එක් හැවිරිදි තරික්, සුප්‍රසිද්ධ වෙළෙඳසැල් ජාලයක අධ්‍යක්ෂකවරයා ය. දෙවැන්නා වූ හතළිස් නව හැවිරිදි කලිඩ්, කොටස් වෙළෙඳපොළ ඇතුළු මූල්‍ය ආයෝජන පිළිබඳ උපදේශකවරයෙකි. මීට වසර තුනකට පෙර ඔහු එංගලන්තයේ වඩාත්ම කාර්යක්ෂම මූල්‍ය ආයෝජන උපදේශකවරයා ලෙස සන්ඩෙ ටයිම්ස් පුවත්පත විසින් හඳුන්වා දී තිබුණි. 


ජවීඩ් පවුලේ පමණක් නොව, එංගලන්තයේ ඉතිහාසයටද එක්වී ඇත්තේ පවුලේ තෙවැන්නා වූ හතළිස් අට හැවිරිදි සජිඩ් ය. ඔහු අද එංගලන්තයේ විදේශ කටයුතු භාර අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම්වරයා ය. ඩොයිෂ් බැංකුවේ හිටපු අධ්‍යක්ෂකවරයෙකි. විවාහකයෙකි. දරු හතරදෙනෙකුගේ පියෙකි. එද‌ා තම වැඩිමහළු සහෝදරයන් දෙදෙනා සමග එකම කාමරයේ නිද‌ාගත් ඔහුගේ අද නිවසේ වටිනාකම යුරෝ ලක්ෂ හැටකි. 


අබ්දුල් පවුලේ හතරවැන්නාට දැනට වයස අවුරුදු හතළිස් හතකි. ගල්ෆ් යුද්ධයේදී ඔහු රාජකීය නාවුක හමුද‌ාවට බැඳී සේවය කළෙකි. වර්තමානයේ වෙස්ට් මිඩ්ලන්ඩ් පොලිසියේ ජ්‍යෙෂ්ඨ පොලිස් පරික්ෂකවරයා ය. පවුලේ බඩපිස්සා වූ හතළිස් තුන් වියේ පසුවෙන අතීෆ් එංගලන්තයේ සුප්‍රසිද්ධ නීතීඥවරයෙකි. සංක්‍රමණිකයන්ට එංගලන්තයේ නිවාස කුලියට දීමේදී, රැඳීසිටීමේ බලපත අනිවාර්යය කිරීමට එරෙහිව කරන සටනේ මුල්පෙළේ සිටින්නෙකි. 


ජීවිතය ජයගැනීම යනු, මුදල පමණ යයි නිර්වචන කළා නම්, මෙම දෙමාපියනට ද තම දරු පස්දෙනාට හොටලයක පිඟන් සේදීමේ රැකියාවන් සොයා දීමට බැරිකමක් නොතිබෙන්නට ඇත. එහෙත් දූරදර්ශී බුද්ධියෙන් ඔවුන් තම පවුලේ පමණක් නොව එංගලන්තයේ ඉතිහාසය ද වෙනස් කර ඇත. අබ්දුල් ජවීඩ් 2012 දී මියගියේ ය. ඔහුගේ බිරිඳ ශුබේද් තවමත් ජීවතුන් අතර සිටී. 


විදේශයකට සංක්‍රමණය වෙන මුල් පරම්පරාවට තම සුදුසුකම්වලට ගැළපෙන රැකියාවකට අනුගතවීමේ අවස්ථාව බොහෝ විට ඇහිරී ඇත. එහෙත් ආගන්තුක රටට සෙමින් සෙමින් හුරුවී, තම දෙවැනි පරම්පරාවට තමන්ට විවෘත්ත නොවූ දොරටු විදේශයකදී වුවද විවෘත කරදීම මොවුන්ගේ වගකීම ය. මොනයම් රටකදී වුවද තරගකාරී බුද්ධිය යනු වැසී ඇති දොරටු විවෘත්ත කිරීමේ යතුර ය. එහෙත් අද විදේශයන්හි ජීවත් වෙන අපේ ඇතැම් අදූරදර්ශී දෙමාපියෝ දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව තැකීමෙන් වැළකී, දරුවන් “කුමන හෝ රැකියාවකට” ඇතුළත් කර මුදල් හඹා යාමේ රැල්ලට හසුකරති. මේ දරුවන් බොහෝ දෙනෙකුගේ ස්ථිර ජීවන වෘත්තිය වෙන්නේ ද මේ “කුමන හෝ රැකියාව” ම ය. මේ දරුවෝ තම රැකියාව පිළිබඳව සත්‍ය ප්‍රකාශ කළ ද, දෙමාපියෝ පුරාජේරු මායාවක පැටලී මෙම දරුවන් පිළිබඳව අනුන් ඇන්ඳවීමට උත්සහ කරති. ඇන්ඳවෙන්නේ ඔවුන්ම බව තේරුම් ගැනීමට තරම්වත් බුද්ධියක් මේ දෙමාපියනට නැත. සිංහ ඝර්ජනාවකත් නරි හූවකත් වෙනස අද බොහෝ දෙනා දනිති. අද අපට අවශ්‍යව ඇත්තේ ලොව කුමන රටකදී වුවද, අපේ දරුවන් සිංහයන් කිරීමට ය. එය දෙමාපියන්ගේ වගකීම ය.  

 


යටියන 
ක්ලැරන්ස් කොස්තා. 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.