මීට අඩසියවසකටත් මඳක් එපිට කාලයක “තියටර්”, ගමේ අපට “ටීටර්” විය. එදා නාට්‍යකරුවා ටීටර් මාස්ටර් හෝ නාඩගම් ගුරුන්නාන්සේ විය. ඇතැම් ගමක පොල්වත්තක් මැද නිත්‍ය ටීටර් මඩුවක් ද විය. වේදිකාව පමණක් පියස්සකින් සෙවන කළ පිටුපස සහ දෙපැත්ත සිතුවම් කළ හෝ නොකළ තිර රෙදිවලින් ආවරණය කරමින් සාදාගත්තකි, ටීටර් මඩුව. නරඹන්නෝ සිටියේ එළිමහනේ ය. ඇතැමෙකු ගස් උඩ ය. රඟදැක්ම රාත්‍රියේ නම් වේදිකාව ආලෝකමත් වූයේ පැට්ට්‍රෝමැක්ස් ලාම්පුවෙනි. 

 
වහළ සෙවිලි කිරීමට පොල් අත්තක් වියාගන්නා පරිදි වියාගත් ගොක් අත්තක් රවුමක් සේ නමා, අගිස් එකට බැඳ සාදාගත් පහන් පැලක් ටීටර් මඩුව ඉදිරිපිට දෙපසින් වේදිකාවට මුහුණලා සිටින සේ ස්ථානගත විය. ටීටර් මාස්ටර් මෙම පහන් පැලේ පහන් දල්වා දෙවියන් යැදීමෙන් පසුව ය රංගනය ආරම්භ වූයේ. පොතේගුරා සිටින නාට්‍යයක නම් පොතේගුරාගේ ගායනයේ දේව ස්තෝත්‍රයක්, අවසර ගැනීමක් සහ නරඹන්නාට කෙරෙන ආරාධනයක් ද විය. අද ද බොහෝ විට පූජා නැටුමකින් රංගනය ආරම්භ කිරීම සිරිත ය. මේ සියල්ලෙන් ම කියැවුණේ වේදිකාවේ ගෞරවනීය බව ය.   


පසුකාලීනව දේශපාලනඥයින් විසින් වේදිකාවේ ගරුත්වය කෙළෙසුවා මිස, කලාකරුවාට නම් වේදිකාව පූජාසනයකි. ශුද්ධභූමියකි. වේදිකාවේ ගෞරවනීය බව සුරැකීම් වස් ආචාරධර්ම පද්ධතියක් ඇත. මෙය වේදිකා සභ්‍යත්වය ලෙස ද හැඳින්වේ. මෙය “ස්ටේජ් ඩිසිප්ලින්” නමින් ඉංග්‍රීසි මාධ්‍ය නාට්‍ය විෂය මාලාවට ඇතුළත් ය. වේදිකා සදාචාරයෙන් කියැවෙන්නේ වේදිකාවේදී කළ යුතු සහ නොකළ යුතු දේ ය. මේවා තුට්ටුවකට මායිම් නොකරන ශිල්පීන් ද සිටිය ද වේදිකා සදාචාරය වේදිකාවට ආලෝකයකි. ගෞරවයකි. ඒවා බල්ලාට දැමූ අය ඇනගනිති.   


ශ්‍රී ලංකාවේ ප්‍රවීණ ගේය පද රචකයකු මෙන් ම ගීත විචාරකයකු ද වූ වියතකු, පසුගිය දා ඉතාලියේ ප්‍රධාන නගරයකට ගෙන්වාගෙන තිබුණේ විශේෂ දේශනයකට ය. මෙම ප්‍රසංගය නැරඹීම සඳහා විශේෂ ආරාධිත අමුත්තන් පිරිසකට ද ඇරයුම් කර, ඔවුන් සඳහා ශාලාවේ ඉදිරිපස පේලිවල නම් කළ අසුන් පනවා තිබුණි. එහෙත් ආරාධිත අනාරාධිත සියල්ලෝ ම ශාලාවට ඇතුළුවිය යුතු වූවේ මුදල් ගෙවා ටිකට්පත් ලබාගෙන ය. මේවා වේදිකා සදාචාරයට පටහැනි දේ ය. කොටින් ම විහිළු ය. ටිකට් පතකට එකම මුදලක් ගෙවා ශාලාවට ඇතුළුවන සියල්ලන්ටම තිබිය යුත්තේ එකම අයිතිවාසිකම් ය. සමාණයන් අතර වඩාත් සමානයන්ගේ සෙල්ලම කළේ ජෝර්ජ් ඕවල්ගේ “ද ඇනිමල් ෆාම්” පොතේ ය.   
ශාලාව පිරී යන තරමට නරඹන්නන් පිරිසක් රැස්වූයේ සුප්‍රසිද්ධ දේශකයාගේ හරබර දෙසුම ඇසීමට ය. එහෙත් බලාපොරොත්තු සුන් කරමින් නරඹන්නාට පමණක් නොව, සැතපුම් දහස් ගණනක මග ගෙවා ගෙන්වාගත් දේශකයාට ද සිදුවූයේ ආධුනික ගායකයන්ගේ ගායනාවලට සවන් දීමට ය. (ආධුනික ගායක ගායිකාවන් අතර වුව ද සහජ කුසලතා ඇතියවුන් සිටි බව ද නොකියාම බැරි ය) පැය හතරහමාරකට ආසන්න කාලයක් ප්‍රසංගය පැවැත්වුණ ද කඩින් කඩ වුව ද දේශකයාට තම අදහස් ප්‍රකාශ කිරීමට ලැබුණු මුළු කාලය පැයක්වත් වී දැයි සැකයකි.   


සංවිධායකයන් සතු කාලය කළමනාකරණය කරගැනීමේ අදක්ෂතාවයට ශිල්පීන් වන්දි ගෙවිය යුතු නැත. දේශකයකු වේදිකාවට එන්නේ සැලසුම් සහගතව දේශනයක් ඉදිරිපත් කිරීමට ය. එයට අවශ්‍ය පසුබිම නියමාකාරයෙන් සලසා නොදීම වේදිකා සංවිධායකයන් විසින් කලාකරුවන්ට කරනු ලබන නින්දාවකි. දේශනයක් සඳහා වේදිකාවට පැමිණියකු කතාව අතරමගදී “එහෙනම් බොහොම ස්තුතියි” කියා එළවාගැනීම වේදිකා සභ්‍යත්වයට පටහැනිය. කාලය හිඟනම් ඒ ශිල්පීන් වේදිකාවට කැඳවා නොසිටීම ඔවුන්ට කරනු ලබන ගෞරවයකි.   


නිවේදකයාගේ හිතවතුන් වේදිකාවට ගෙන්වා පවුලේ ආගිය තොරතුරු විමසීම සතුටු සාමීචි කතා ය. ඒවා කළ යුත්තේ වේදිකාවෙන් බැහැරව ය. ප්‍රේක්ෂකයා මුදල් ගෙවා ශාලාවට පිවිසෙන්නේ, නිවේදකයාගේ සහ ඔහුගේ හිතවතුන්ගේ ආගිය තොරතුරු දැනගැනීමට නොවේ.   


මේවා කියන්නේ ද්වේෂ සහගත සිතකින් නොවේ. වරද නිවැරදි කිරීමට ය. කිසියම් අධ්‍යාපන විෂයක් සඳහා ගුරුවරුන් විසින් මේවා අපට කියා දෙන ලද්දේ මීට අඩසියවසකට පමණ පෙර ය. වේදිකාවේදී මේවා ගරු නොකිරීමෙන් කෙනෙකුන් විසින් නිර්මාණය කරගනු ලබන කනගාටුදායක වාතාවරණය දුටුවිට සිතෙන්නේ එදා ගුරුවරුන් විසින් උගන්වන ලද දේ තවමත් වලංගු බව ය.   

 


ප්‍රවීණයන් වෙන්නේ අඩුපාඩු සකසාගත් ආධුනිකයෝ ය.   

 


යටියන - ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.