ස්නානය සඳහා දෙදෙනෙකු ළිඳට යති. එකෙකු වතුර පිරුණු බාල්දිය අතැතිව වුවද නාගැනීමට මැළි බවක් දක්වමින් සිටී. ඒ පිළිබඳව දෙවැන්නා විමසූ විට පළමුවැන්නා කියන්නේ සීතල බැවින් පළමුවැනි වතුර බාල්දිය ඇඟට දමාගැනීම අසීරු බව ය. එසේ නම් දෙවැනි වතුර බාල්දියේ සිට නාගන්නා ලෙස දෙවැන්නා කියයි. මෙය විහිඵ කතාවකි. එහෙත් මෙය ගැඹුරින් විග‍්‍රහ කර බැලීමේදී නම් මේ තුළ නොමසුරු උපදේශනයක් ඇත. අපූරු සත්‍යයක් ද ගැබ්ව ඇත.  


අසීරුම කරුණ පළමු වතුර බාල්දිය ඇඟට දමාගැනීම ය. දෙවැනි වතුර බාල්දියේ සිට සීතල ද කම්මැළිකම ද දුරුවෙයි. ඕනෑම කි‍්‍රයාවක දුෂ්කර වෙන්නේ ආරම්භයයි. ඇතැම් දෙයක ආරම්භයට පෙර, අමාරු බව කම්මැළිකම වැනි නිදහසට කරුණු එමට ය. කම්මැළියාට දිවැස් ඇතැයි කියති. වැඩක් ආරම්භ නොකෙරෙන තැනට සියලුම කරුණු කාරණා කම්මැළියාට වලංගු ය.   


ඇතැමෙකුට වැඩක ආරම්භයට බාලගිරි දෝශය ය. වැඩේ ආරම්භය අද නොවේ හෙට ය. හෙට අද වූ විට යළිත් හෙට ය. හෙට යන්න සිතිජය හෝ මිරිඟුව මෙන් ය. කිසිදා ළඟා වෙන්නේම නැත. අවංකවම කල්පනාකර බැලීමේදී පෙනී යන්නේ මේ සියලු කල්දැමීම් කෙරෙන්නේ යහපත් දේට පමණක් බවය. අයහපතට හෝ නොගැලපෙන දේට හෝ කිසිම කම්මැළිකමක් දැනෙන්නේ නැත.

කල්දැමීමට තරම් නිදහසට කාරණා ද ඉදිරිපත් වෙන්නේ ද නැත. අලසයා නිදාගැනීම කල්දමන්නේ නැත. වැඩ නොකර ඉඳීම කල්දමන්නේ නැත. එහෙත් ශාරීරික සුවතා වෙනුවෙන් ව්‍යායාමයක් කිරීම නම් කල්දමයි. අද බැරිය. ඇඟට හරි නැත. අද වහින්න වගේ ය. අව්ව තදය. අදට වඩා හෙට හොඳය.   


පළමු වතුර බාල්දියෙන් තොරව දෙවැන්නක් ඇඟට වැටෙන්නේම නැත. එමෙන්ම පළමු පියවරෙන් තොරව දෙවැන්නක් ද නැත. ගමනක් ද නැත. පළමු පියවර සමගම ගමනේ කිසියම් කොටසක් ගෙවී හමාරය. පා ගමන සැකසී ඇත්තේ පියවර වලිනි. නිශ්චිත අරමුණක් කරා ළඟාවිය යුත්තේ පියවරෙන් පියවර ය.   


පළමු පියවර සඳහා නොඅලස බව ද ධෛර්යය ද අවශ්‍යය ය. දෙවැනි හා ඉදිරි පියවර සඳහා අවශ්‍ය වෙන්නේ නොපසුබට උත්සාහය සහ ආත්ම ධෛර්යයි. අරමුණ කරා ළඟා වීමට සිත තුළ ලැදියාවක් තිබිය යුතුය. තබන සෑම පියවරක් පාසාම ආරම්භයෙන් දුරස්ව අරමුණ කරා ළඟාවෙයි. පසුකළ මඟ හා පැමිණි විලාසය පිිළිබඳව සිතට සතුටක් දැනෙන්නේ ආරම්භයෙන් දුරස්වී ආපසු හැරී බලන විටය. ආරම්භය හෝ ගමන හෝ දුෂ්කර වූ තරමටම අරමුණ කරා ළඟාවීමේදී දැනෙන තෘප්තිය ද වැඩිය. දුෂ්කර ආරම්භයකින් හෝ දුෂ්කර ගමනකින් හෝ පසුව ජයගත්තවුන්ගේ උදානය බවට පත්වෙන්නේ ආරම්භයේදී හා ගමනේදී විඳි කටුක බවය.  


පළමුවැනි වතුර බාල්දිය යහපතට මෙන්ම අයහපතට ද පොදු වූවකි. පය තබන මාවත අනුව ගමනාන්තය ද වෙනස් ය. අද පවතින සමාජමය හා ආර්ථිකමය තත්ත්වය අනුව නම් නොමග යාම පහසුය. ඒ සඳහා සැකසී ඇති පහසුකම් ද වැඩිය. එබැවින්ම එම`ග යාමට බොහෝ දෙනෙකු පසුබට වෙන්නේ ද නැත. පෙර කීවාක් මෙන් අලසයා නිදාගැනිීම කල්දමන්නේ නැත. වැඩ නොකර සිටීම කල්දමන්නේ නැත. අලසකමේ ආරම්භය පහසුය. ආරම්භය පුරුද්දක් වූ විට ඉන් මිදීම තරමක් අපහසුය. පුරුද්ද ඇබ්බැහියක් බවට පත්වූ විට නම් ඉන් කිසිසේත්ම ගැලවීමක් නැති තරම්ය. එහෙත් අගති ඇබ්බැහියකින් ගැලවීමට පියවර තැබීම ද පළමු වතුර බාල්දිය මෙන් ය. අගති ඇබ්බැහියකින් ගැලවීම සඳහා අවබෝධයක් තිබිය යුතුය. ආත්ම විශ්වාසයක් තිබිය යුතුය. අගතියේ කෙතරම් දුරකට ගොස් සිටියද ගමන නිවැරදි කරගත හැකි වෙන්නේ එවිටය. පළමු පියවරෙන් තොරව දෙවැනි පියවරක් නැත. පළමු වතුර බාල්දියෙන් තොරව ඇඟට දෙවැනි වතුර බාල්දියක් වැටෙන්නේ නැත.   


යටියන   
ක්ලැරන්ස් කොස්තා  
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.