බක් මාසෙ ඉවරයි. ඊට පස්සේ වෙසක් මාසෙත් පොසොන් මාසෙත් ඉවරවෙලා දැන් ඇසළ මාසේ ලබලා. ඒත් ඉතාලියෙ තවමත් තැනින් තැන බක් මහ සැණකෙළි පවත්වනවා. අපිට ඒකට මොකුත් කියන්න බැහැ. උත්සවශාලා ක්‍රීඩාංගණ පහසුකම් ලැබෙන විදිහට තමා මේ රටවලදී අපේ උත්සව පවත්වන්න වෙන්නේ.   


කොහොම වුණත්, දහසක් බාධක මැද අපේ කියන දෙයක් පිටරටකදී සංවිධානය කරන අයට අපේ ගෞරවය හිමි වෙන්න ඕනෑ.   


පිටරටකදී උත්සව ශාලාවක ක්‍රීඩාංගණයක, ඉස්සරහපිට අපේ ජාතික කොඩිය දාලා තියෙනවා දැක්කම මොකක්ද ලොකු උජාරුවක් හිතට එනවා. පහුගිය දවස්වල රෝමෙ පවත්වපු සිංහල අලුත් අවුරුදු උත්සව කීපයකට සහභාගි වෙන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ උත්සවවලින් වැඩියෙන්ම ලස්සනට තිබුණෙ රෝමෙ පවත්වගෙන යන සිංහල පාසල්වල පුංචි ළමයි පවත්වපු සිංහල අලුත් අවුරුදු උත්සව කියලා කිව්වොත්, ඒක බොරුවක් නෙමේ.   


අම්මල සාරි, ඔසරි, අත් බෝරිච්චි කරපු හැට්ට ඇඳල, බෝල බෝල මාල වළලු දාල, කොණ්ඩ බැඳලා, අපේ ජාතික කොඩිය දාපු උත්සවශාලා ක්‍රීඩාංගණ තුළ එහා මෙහා සැරිසරනවා. තාත්තලා කලිසමට උඩින් සරම් ඇඳගෙන, උත්සවයෙ වැඩ පළවලට උදව් කරනවා. අපේ ජාතික ඇඳුම ළමා සාරිය, රෙද්ද හැට්ටෙ, පුංචි ඔසරි ඇඳගත්ත පුංචි උන් ඒ මැදින් එහා මෙහා දුව පනිනවා. හරිම ලස්සනයි. මේවා දකිද්දි හිතෙනවා ඇත්තටම අපි මේ ඉන්නේ අපේ රටෙන් ගව් ගණනක් ඈත පිටරටක ද කියලා.   


​බෙර ගහලා, ආගම සිහි කරලා, අලුත් අවුරුදු චාරිත්‍ර පටන් ගන්නවා. පුංචි පුංචි මල් කැකුළු වගේ පුංචි ළමයි කිරි උතුරවනවා. වැඩිහිටියන්ට කියලා හිස තෙල් ගාව ගන්නවා. බුලත් දීල මව්පිය වන්දනාව කරනවා. ඊට පස්සේ අපේ ජාතික ක්‍රීඩා පටන් ගන්නවා.   


අපේ පුංචි ළමයි විදේශීය ඌරුවට සිංහල කතා කරද්දී, තාත්තල කලිසම් සාක්කුවේ තියෙන යමක් එළියට ගන්න සරම කරට ගනිද්දී, අමුතුම මිහිරියාවක් තියෙනවා. ඒ වෙලාවට හිතෙනවා. අපි මේ ඉන්නේ ලංකාවෙමයි කියලා.   


ක්‍රීඩාංගණය කොණක මේස දාලා කැවුම් කොකිස් කිරි බත් කෙසෙල් අතිරහ දොදොල් පුරෝල හැමෝම එතනට ඇදෙනවා. කැවුම් කොකිස් කිරිබත් දැක්කම කටට කෙළත් උණනවා. මමත් පිඟානක් අරගෙන මේසෙ ළඟට කිට්ටු වෙනවා. Why don't you help to some kiribath? (ඇයි කිරිබත් ටිකක් කන්නේ නැත්තේ).   


කෙනෙක් තව කෙනෙකුගෙන් ඉංග්‍රීසියෙන් අහනවා. ඒ මොහොතෙ ඒ වචන ඇහුනම හරියට හිරෝෂිමාවට පරමාණු බෝම්බෙ දැම්ම වගේ මට දැනුණ. කිරි හැළියට ගොම තළියක් දැම්ම වගේ කිව්වොත්, ඒ අවස්ථාවේ ඒ වචනවල බරපතළකම නියම විදියට හිතා ගන්න අමාරුයි. මම වට පිට බැලුවා. පරණ පුරුදු මූණු ටිකක්. මීට ඉස්සර දවසකත් රෝමෙ පන්සලක පිංකමක් වෙලාවෙදිත් මේ අයම පරබාසාවකින් කතා කර කර උන්න මතකයි. අපේ පුංචි උන් එදා එතන නිර්මාණය කරපු අපේකම නොහික්මුණ වැඩිහිටියෝ කීප දෙනෙක් කෑව කියලා මට මිතුණ. හරියටම මූදු වෙරළක පුංචි අත්වලින් හදපු මාළිගාවක්, රළ පහරකින් කැඩිලා බිඳිලා ගියා වගේ දෙයක් තමා එතන වුණේ.   


හොඳ අපූරුවට සිංහල භාෂාව දන්න අය, අපේම අය අතර සමහර වෙලාවලට සිංහල නුහුරු නුපුරුදු බවක් පෙන්වන්න හදනවා. මේ අය මේ දේවල් කරන්නේ උද්දච්චකමට ද, නැත්නම් මෝඩකමට ද කියලා හිතා ගන්න අමාරුයි. සමහර විට ඒ දෙකටමත් වෙන්නැති. එදා පුංචි උන්ගේ අලුත් අවුරුදු උත්සවේදී මේ ශිල්ප දැක්කුවෙ අපේ රට මෙහිදී නියෝජනය කරන ආයතනයක දෙතුන්​ දෙනෙක්. සමහර විට අපේ අය අතර ඒ අය ටිකක් උසස් බවක් පෙන්වන්න මේ දේවල් කෙරුව වෙන්නත් පුළුවන්.   


එදා විදේශීය ඌරුවට වුණත් සිංහල කතා කරපු අපේ පුංචි ළමයි ජාත්‍යන්තර ඉස්කෝලවල ඉගෙන ගන්න, අඩුම ගානේ බාසාවල් තුනක් කතා කරන්න දන්න ළමයි. ඒ ළමයිටත් තිබුණ ඉතාලි බාසාවෙන් හරි ඉංග්‍රීසි බාසාවෙන් හරි කතා කර කර ඉන්න. ඒත් ඒ පුංචි ළමයි අපේ කම රැක්කා. අපිට රටක්, සංස්කෘතියක්, අපේම භාෂාවක් තියෙන බව පෙන්නල දුන්නා. ඒත් අපේ සමහර මහ උන් ඒ වගේ අවස්ථාවල අපේ කම අමතක කරලා, මහ ලොකු සෝබනයක් පෙන්නන්න හදනවා. අපිට පුංචි දරුවන්ගෙන් උනත් ඉගෙන ගන්න හුඟාක් දේවල් තියෙනවා. ඒක තේරුම් ගන්න තරම් මොළයක් නැති උන්, කොහොමද යහපත් පරිපාලනයකට නිවැරදි උපදෙස් දෙන්නේ.   

 

 

 


රන්ජිත්
ඉතාලිය.