සේනා දළඹුවා සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනය තවමත් නිමාවට පත් වූ බවක් හෝ පාලනය වී ඇති බවක් හෝ දැන ගන්නට නැත. දිනෙන් දින ලැබෙන්නේ නරක ආරංචිමය. ගමින් ගමට පමණක් නොව දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කය ආක්‍රමණය කරමින් මෙම දළඹු සේනාවෝ දුප්පත් ගොවි ජනතාව තව තවත් විපතට හා භීතියට පත් කරමින් ඔවුන්ගේ වගා විනාශ කරමින් ඉදිරියට ඇදෙමින් සිටිති. මුලින්ම අම්පාර දිස්ත්‍රික්කයේ බඩඉරිඟු වගාවන් තුළින් හමු වූ මෙම දළඹුවන් මේ වන විට මෙරට බඩඉරිඟු වගාවෙන් සියයට තිහකට වැඩි ප්‍රමාණයක් විනාශ කර දමා ඇත. ගොයම් සහ කෙසෙල් වැනි වෙනත් වගාවන් වෙතද මෙම උවදුර පැතිර යමින් තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනුමැත්තන් පවසන ආකාරයට බෝග වර්ග විශාල ප්‍රමාණයකට හානි කිරීමට මෙම සත්ව ප්‍රජාවට හැකියාව තිබේ.


මෙම උවදුර පිළිබඳව විවිධ පාර්ශ්ව නොයෙක් දේ පවසනු අසන්නට ලැබේ. ගොවි සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා මාධ්‍ය මගින් ප්‍රකාශ කළේ බඩඉරිඟුවලින් වී වගාවට පැමිණි සේනා දළඹුවා විවිධ භෝග වර්ග විනාශ කරමින් යන ආකාරය අනුව නොබෝ දිනකින් සිංහරාජ වනයද ආක්‍රමණය කරනු ඇති බවයි. එයට පිළිතුරු දුන් ඇමති පී. හැරිසන් මහතා ප්‍රකාශ කළේ මෙතරම් බියවීමට කරුණක් නැති බවයි. එහෙත් ඒ මහතා උපහාසයෙන් යුතුව පැවසුවේ බඩඉරිඟුවලට සේනා දළඹුවන් ආවා. ඒවා පුලුස්සනවා. ගොයමටත් ආවා. දැන් ඒවත් පුලුස්සන්නට වෙලා සිංහරාජ වනාන්තරයට ආවොත් ඒකත් ඉවරයි. අපිත් ඉවරයි යනුවෙනි. අනෙක් අය ගැන මම සඳහන් නොකරමි. මෙම ප්‍රකාශ දෙක ඇසූ කෙණෙහි මගේ ශරීරයේ ලොමු දැහැ ගැන්වුණු බව මම අවංකවම ප්‍රකාශ කරමි. අනුමානයටවත් එසේ ප්‍රකාශ කරන්නට හැකි නම් ඉතිරි විය හැක්කේ කුමක්ද? සිංහ රාජයේ මහා වෘක්‍ෂයක යුෂ උරන්නට මෙම දළඹුවා සමත්වනු ඇතැයි සිතන්නටවත් සිදුවුවහොත් අපේ ගෙවතුවල තිබෙන කොස් දෙල් අඹ රඹුටන් ආදී ශාක විශේෂ විනාශ කිරීම අරුමයක්ද? එනිසා අවශ්‍ය වන්නේ දේශපාලන මතය අනුව කටයුතු කිරීම නොව සෑම ක්ෂේත්‍රයකම ඇති ශක්තිය ඒකරාශී කර සාමුහික ප්‍රයත්නයක් මගින් මෙම ජාතික ව්‍යසනය මැඩපැවැත්වීමය. මාස තුනක් යනතුරු ලක් පොළවේ බඩඉරිඟු වගාව සිදු නොකළ යුතු යැයි රජය ප්‍රකාශයට පත්කර තිබීමෙන්ම ප්‍රශ්නයේ බරපතළකම ගැන අපට වටහා ගත හැකිය. යටත් පිරිසෙයින් වී කෙසෙල්, බඩඉරිඟු යන වගාවන් පමණක් විනාශ වුවද මෙරට සාගතයකට ගොදුරුවනු නිසැකය. 1983 කළු ජූලිය අවස්ථාවේ දිගින් දිගටම රෑ දවල් දෙකේ අඳුරු නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ මගේ පියා කී වදනක් මට මතකය “ගෙදර වී ටික තියෙනවා. පොල් ගෙඩියක් කඩාගෙන සම්බෝලයි බතුයි කනවා. අඳුරු නීති දැම්මට අපිට මොකද? ඔහු පැවසීය. අද වන විට තත්ත්වය බොහෝ සෙයින් වෙනස් වී ඇත. මගේ පියා පැවසූ එඩිතර ප්‍රකාශය කිරීමට මට ශක්තියක් නැත. අප කුඹුරු වගා කරන්නේ නැත. ඒවා පාළුවට ගොසිනි. මා දන්නා කිසිම ගෙදරක වී ඇටයක් නැත. එවැනි පසුබිමක් තිබෙන රටක වී වගාව සෑහෙන දුරකටවත් විනාශවුවොත් බැමිනිටියා සාය යළි නොඒයයි කාටනම් කිව හැකිද? එවැන්නක් ගැන සිතීමටත් මම බිය වෙමි.


සේනා දළඹුවා ගැන කියවෙන ආරංචි එතරම් හොඳ නැත. ඉතා වේගයෙන් බෝවෙන මෙම සතාගේ සලඹයාට කිලෝමීටර් ගණනාවක් පියඹා යා හැකි බව කියවේ. ජීවිත කාලය තුළ බිත්තර 1500ක් පමණ මෙම එක දළඹුවෙකුගෙන් නිකුත් කෙරෙන බවද කියවේ. මේවා සත්‍ය ප්‍රකාශ බව සැලකීමද අවශ්‍යය. 


අපට අතීතය මතකය. දුටු දේ නොවූවත් පොත පතින් කියවා ඇති ආකාරයට මෙරට කෝපි වගාව මුළුමනින්ම විනාශ වූවේ “කෝපි මකුණා” නමැති කුඩා සතෙකු මාර්ගයෙන් බව අපි කියවා ඇත්තෙමු. මධ්‍යම කඳුකරය පුරා වගාකර තිබුණු සමස්ත කෝපි වගාව බේරා ගැනීමට හිරු නොබසින අධිරාජ්‍යයක හිමිකරුවන් වූ බි්‍රතාන්‍යයන්ට පවා නොහැකි විය. වගාව සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේය. මේ එම කතා පුවතයි. 


වර්ෂ 1505 දී පෘතුගීසි සංක්‍රමණය සිදුවන විටත් ශ්‍රී ලාංකේය ජනතාවට වැවිලි ආර්ථිකයකට හුරු වී සිටියේ නැත. තමන්ට අවශ්‍ය ආහාර බෝග වගා කර ගනිමින් ස්වයංපෝෂිත දිවියක් ගත කළ ශ්‍රී ලංකාවාසීහු ආනයන අපනයන වෙළෙඳාම ගැන දැන සිටියා නම් ඒ ඉතා අල්ප වශයෙනි. මෙරට දකුණේ සහ නිරිත දිග ප්‍රදේශවල පිහිටි මහා වනාන්තරවල සරුවට ඉබේ වැවී තිබුණු කුරුඳු කැලෑ දුටු පෘතුගීසිහු පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියහ. ලොව පුරා සංචාරය කරමින් වෙළෙඳාමේ යෙදුණු ඔවුන්ගේ ප්‍රමුඛ අලෙවි භාණ්ඩයක් ලෙස කුරුඳුවලට හිමිව තිබුණේ ඉහළ අගයකි. මෙසේ වනාන්තරවල වැවී තිබුණු කුරුඳු අලෙවියේ ඒකාධිකාරය කෝට්ටේ රජුගෙන් ලබාගත් ඔව්හු විශාල ධන නිධානයක් තමන් සතු කර ගත්හ.


ඔවුන්ගෙන් පසු මෙරටට පැමිණි ලන්දේසීහු තම ලන්දේසි පෙරදිග ඉන්දියානු වෙළෙඳ සමාගම හරහා මෙරට කුරුඳු වෙළඳාමේ ඒකාධිකාරිය තමන් සතු කරගැනීමට මහත් සේ උනන්දු වූහ. ඒ සඳහා කුරුඳු වැවීමටද කටයුතු කළහ. කොළඹ මරදාන සහ කුරුඳුවත්ත ආදී ප්‍රදේශවල පමණක් නොව කැලණි නදියෙන් එපිට සියඹලාපේ, මල්වාන ආදී කොට ඇති සියනෑ කෝරලයේ විශාල ප්‍රදේශයක කුරුඳු වගා කිරීමට ලන්දේසීහු කටයුතු කළහ. ඉංග්‍රීසි යුගයේ මුල් වසර කීපයේදී මෙම තත්ත්වය සමානවම පැවතියේය.
දහනව වන සියවසේ මුල් භාගයේදී යුරෝපයේ පැවති මහා ආර්ථික පරිහානිය නිසා කුරුඳු නිෂ්පාදන සඳහා යුරෝපීය ජනතාව තුළ පැවති ඉල්ලුම බොහෝ අඩු වූවේය. එනිසා කුරුඳු වෙළෙඳාම අවාසි සහගත බව යුරෝපීය වෙළෙඳුන්ට වැටහෙමින් තිබුණි. මේ වන විට ශ්‍රී ලංකාව නමැති යටත් විජිතයේ බි්‍රතාන්‍ය පාලනය ස්ථාපිතව පැවතියේය. රාජ්‍ය පරිපාලනය, ආරක්‍ෂාව සහ අනෙකුත් වියදම් දැරීමට මව් රජයට අපහසු බවත්, යටත් විජිතයේ වියදම් ඒ තුළින්ම උපදවා ගත යුතු බවත් බි්‍රතාන්‍යයෝ තේරුම් ගත්හ. මේ ගැන නිර්දේශ ඉදිරිපත් කිරීමට පත්කර එවූ කෝල්බෲක් කොමිසමේ එක් නිර්දේශයක් වූවේ ලංකාවේ බොහෝ සෙයින් දක්නට ලැබෙන විශාල වනාන්තර එළි පෙහෙළි කර ආර්ථික භෝග වැවීම සඳහා ක්‍රියා කළ යුතු බවය. ඒ නිසා බි්‍රතාන්‍යයේ වැවිලිකරුවන්ට ලංකාවට පැමිණ සුළු මුදලකට ලබාදෙන ඉඩම්වල වගාවන් ඇති කිරීමට ධෛර්ය දීමට ඔව්හු කටයුතු කළහ. විශේෂයෙන්ම උඩරට මධ්‍යම කඳුකරයේ තිබුණු වැසි වනාන්තර මහා පරිමාණයෙන් එළි කර ඒවා රජයට පවරා ගැනීම සිදුවුණු අතර ඒවා බි්‍රතාන්‍යයෙන් පැමිණි වැවිලිකරුවන්ට අක්කරය රුපියලට සිලිම් තුනට (රුපියල් 1.50) වැනි ඉතා අඩු මුදලට ලබා දුන් බව කියවේ. රටේ සියලු ඉඩම් රජයට අයත් බවට පිළිගැනුණු අතර නිසි පරිදි ලියකියවිලි පෙන්වා තම පුද්ගලික අයිතිය තහවුරු කරගතයුතු බවටද නියෝග නිකුත් විය.


අනාදිමත් අතීතයක සිටම ශ්‍රී ලංකාවාසී ජනතාව ලියකියවිලි ලේඛන කෙරෙහි යොමුව සිටියේ නැත. ඔවුන්ගේ බොහෝ කටයුතු රඳා පැවතුණේ කට වචනය මත පදනම්වය, ඔව්හු සත්‍යය ගරු කළහ. සදාචාර සම්පන්න ජනතාවක් වූ සිංහලයා කිසි විටෙකත් පොරොන්දු කඩ කළේ නැත. විවාහයකදී පවා ලියවිලි මත අත්සන් තැබීමක් සිදුවූවේ නැත. එනිසා කිසිවෙකුට තම ඉඩම් අයිතිය තහවුරු කිරීමට ඔප්පු තිරප්පු තිබුණේ නැත. එනිසා බි්‍රතාන්‍යයන් විසින් පනවන ලද මුඩු ඉඩම් පනත යටතේ ඉඩම් සියල්ල රජය සන්තක වූවේය. මෙම ඉඩම් බි්‍රතාන්‍යයන් වෙත ඉතා සුළු මුදලකට ලබාදීම සිදුවිය.


මෙසේ තම වැවිලි කර්මාන්තය දැවැන්ත වශයෙන් ආරම්භ කිරීමට මග පෑදුනා වුවද නවතම ප්‍රශ්නයකට මුහුණපෑමට වැවිලිකරුවන්ට සිදු විය. එනම් කැලෑ එළිකිරීම් පොළව සකස් කිරීම, පැළ සිටුවීම ආදී මහා කාර්යභාරය සඳහා අවශ්‍ය මිනිස් ශ්‍රමය සොයා ගැනීමය. එයට ප්‍රධාන කරුණු දෙකක් බලපෑ බව කියනු ලැබේ.


වතු වගාව සඳහා යොදා ගත්තේ උඩරට ගැමියා සතුව තිබුණු පාරම්පරික ඉඩම්ය. ඔවුන්ගේ හේන් වගාව ආදී ජීවනෝපායන් මෙම ක්‍රියාව නිසා අහෝසි වී ගියේය. මුඩු බිම් පනත යටතේ මෙසේ බලහත්කාරයෙන් ඉඩම් පවරා ගැනීම නිසා ගැමියන් සිටියේ කෝපයෙනි. එනිසා වතුවල සුද්දන් යටතේ සේවය කිරීම උඩරට ගැමියෝ තරයේ ප්‍රතික්‍ෂේප කළහ. තවත් ප්‍රබල හේතුවක්ද තිබුණි. වැවිලි කර්මාන්තය ආරම්භ වන විටත් මෙරට ක්‍රියාත්මක වෙමින් තිබුණේ වැඩවසම් සමාජ ක්‍රමයයි. එහිදී තමා සතු භාණ්ඩ හුවමාරු කරගෙන අනෙකුත් භාණ්ඩ හා සේවා ලබාගැනීම පැවති චාරිත්‍රය වූවේය. වැටුපට සේවය කිරීම සිංහල ජන සමාජය විසින් සලකනු ලැබුවේ නින්දාවක් හෝ නීච ක්‍රියාවක් වශයෙන්ය. 
රජුට රාජ්‍යයට, විහාරයට හෝ දේවාලයට හෝ කරන සේවාවකට ලැබුණේ නින්දගම්, විහාරගම් හෝ දේවාලගම්ය. මෙසේ අනාදිමත් කාලයක් පැවත ආ සිරිත් විරිත්වලින් ඉවත් වීමට සිංහල ජන සමාජයට අපහසු විය. මෙම පසුබිම හේතුකොට ගෙනද සිංහලයෝ  සුද්දන්ගේ වතු ඇරඹීමේ කටයුත්තට සහභාගි නොවූහ. එනිසා මෙම දැවැන්ත වැඩ පිළිවෙළට අවශ්‍ය ශ්‍රමය සොයා ගැනීමේ අර්බුදයට වැවිලිකරුවෝ මුහුණ දුන්හ. මේ වන විට වරින් වර පැනනැගුණු ජාතික නිදහස් අරගලවල ආභාසය මත ඇතිවුණු අධිරාජ්‍ය විරෝධී බලපෑමද උඩරට ගැමි ජනයා වෙත අඩු වැඩි වශයෙන් බලපෑම් ඇති කරන්නට ඇතිවා නිසැකය. කෙසේ වුවත් බි්‍රතාන්‍ය යටත්විජිත පාලනයට තමන් විසින් ධෛර්ය ගන්වා ගෙන්වා ගන්නා ලද වැවිලිකරුවන්ගේ අවශ්‍යතා ගැන මැදිහත්වීම අත්‍යවශ්‍ය යුතුකමක් විය. මේ අනුව ඔවුන්ගේ අවධානය යොමු වූයේ දකුණු ඉන්දියාව වෙතය. ඉතා දිළිඳු ජීවන ගත කරමින් උග්‍ර ආහාර හිඟයෙන් මන්ද පෝෂණයෙන් හා අසහනයෙන් යුතුව ජීවත් වූ දකුණු ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයෙන් අඩු වැටුපට කම්කරුවන් ගෙන්වා ගත හැකි බව මේ පිළිබඳව සොයා බැලීමේදී බලධාරීහු වටහා ගත්හ. සුළු ප්‍රමාණයක් සිංහලයන්ද පසුකාලීනව වතු සේවයට එක්ව සිටියත් එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවීය. එනිසා ඉන්දියාවෙන් කම්කරු පිරිස් ගෙන්වීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්විය.


මේ වන විට ලංකාව මෙන්ම ඉන්දියානු අර්ධ මහාද්වීපයද පැවතියේ බි්‍රතාන්‍ය හිරු නොබසින අධිරාජ්‍යයේ කොටසක් වශයෙනි. එම නිසා එම රටවල් තුළ තම අභිමතයට අනුව කටයුතු කිරීමේ අපහසුවක් නොතිබුණි. අවශ්‍ය වූවේ තීරණ ගැනීම පමණි. කිසිදු ආගමන විගමන නීතියක් ක්‍රියාත්මක නොවුණි. 

 

 

 

මතු සම්බන්ධයි.

 

 

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි