ඔහු දෙදරු පියෙකි. වන්නි වන පෙතේ පහස විඳිමින් හැදී වැඞී ගොවිතැන ජීවිකාවෘත්තිය කරගත් ආදර්ශමත් ගොවියෙකි. පුතා ඉතා ඉහළට ඉගෙනගෙන ලොකු රස්සාවක් ලබා කොළඹ කොන්ක‍්‍රීට් වනාන්තරයේ ස්ථිර පදිංචිකරුවෙක් විය. තම බිරිඳගේ අභාවයෙන් පසු පියා ගමේ මහ ගෙදර පදිංචිව සිටියේ අවිවාහක සිය වැඩිමල් දියණිය සමගිනි. ඔහු පසුගියදා අසනීප විය. පුතාට දැන්වූ පසු වහාම පැමිණියේය. පියා කැටුව කොළඹ ගියේය. සතියක් දෙකක් ප‍්‍රතිකාර කළත් පලක් නොවීය. පියා සඳහටම ඇස් පියා ගත්තේය. පියාගේ අවසන් කටයුතු කොළඹදී සිදුකිරීමට පුතා තීරණය කළේය. තමා ඇසුරු කරන නාගරික සමාජයේ අවඥාවට ලක්නොවන පරිදි සැරසීමට දේහය ප‍්‍රධාන පෙළේ මල්ශාලාවකට බාර දෙනු ලැබීය. පියාගේ මෘත කළේබරය ටයි කෝටි කලිසම් අන්දවා අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සරසා තිබුණේ පුතාගේ ඉල්ලීම පරිදිය. අවසන් කටයුතු සිදු කළ දා ගමේ පවුලේ ළඟම ඥාතීහු පිරිසක් අවමගුලට සහභාගි වූහ. ඒ අතර තම වැඩිමල් සොහොයුරිය ද වූවාය. ඇය වාහනයෙන් බැස්ස ගමන් බුදු අප්පච්චී ඔය ගමන යන්නටද කොළඹ ආවේ කියාගෙන දේහය අසලට පැමිණියාය. එක් වරම දුටු දසුනින් ඇය විශ්මයට පත්වී ඇඬීම නතර කළාය. පෙට්ටිය පැදකුණු කරමින් මිනිය පරීක්ෂා කළේ මේ මගේ අප්පච්චී නොවෙයි ද යනුවෙන් හෙමින් මුමුනමිනි. පසුව පියා බව දැනගත් ඇය දෑතින් හිස බදාගෙන ‘අනේ අප්පච්චී දඹදිව යන්නටවත් ඇන්දෙ නැති ෂූට් එකක් ඇයි එළොව යන්න ඇන්දේ. බුදු අප්පච්චී නැගිටපන්කෝ එක විනාඩියකට නැගිටලා හැඩ වැඩ බලලා ඔය ගමන යන්ඩකෝ අප්පච්චී. අද හරි හැඩයි. දොස්තර මහත්තයෙක් වගේ’ මෙසේ විලාප නගමින් අඬා වැටුන ලොකු අක්කා මල්ලීගේ උපදෙස් පරිදි කීපදෙනෙකු විසින් ඔසවාගෙන ගොස් කාමරයකට දමා දොර වැසුවාලූ.