කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



තමා තබා තිබූ පැරණි පාසල් ක්‍රිකට් වාර්තාව විදුහල් දෙකේම කිසිදු පාසලේ ක්‍රීඩකයකුට බිඳ දැමීමට තියා ඒ ආසන්නයටවත් පැමිණීමට නොහැකි යයි හිස උදුම්මවාගෙන එම පැරණි වාර්තාවෙන් තමන් බැබළෙන්න ගොස් පස්ස බිම ඇනගත් ආදි ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳ අපූරු කතාවක් ගාලු‍ දිසාවේ පැවති බිග් මැච් එකකින් අසන්නට ලැබේ.
පාසල් දෙකම එකම නගරයේය. මේ විදුහල් දෙක අතර වාර්ෂිකව බිග් මැච් එක පැවැත්වෙයි. ඒ ආකාරයටම මෙවරද එය පැවැත්වුණේය. විදුහල් දෙකේම පිරිස බිග් මැච් එක නැරඹූහ. ආදී ක්‍රිකට් ක්‍රීඩකයන් හා ආදි සිසුන් ද මේ අතරය. මේ විදුහල් දෙකෙන් එක් ආදි ක්‍රිකට් ක්‍රීඩකයකු ඔහුගේ කාලයේදී බිග් මැච් ක්‍රිකට් වාර්තාවක් තැබුවේය. ඒ ප්‍රතිවාදී පාසල් ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු හතක් එක ඉනිමකදී දමා ගැනීමෙනි.
එය එම විදුහල් දෙකේම ක්‍රිකට් ක්‍රීඩකයකු එක් ඉනිමකදී ලබාගත් වැඩිම කඩුලු ප්‍රමාණය විය.
 මේ බිග් මැච් එක ක්‍රියාත්මක වෙමින් තිබිණ. මේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයාද තරගය නැරඹීමට පැමිණ සිටියේය. ඉනිම අවසන් නොවුණත් ප්‍රතිවාදී පාසලේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඒ වනවිට එක් ඉනිමකදී කඩුළු පහක් දවාගෙන තිබුණේය. මෙය තමා තබා තිබූ පැරණි පාසල් ක්‍රිකට් වාර්තාව යළිත් විදුහල් දෙකටම මතක් කරදීමට මෙය අවස්ථාවක් කර හිස උදුම්මවා ගැනීමට ඔහු සිතුවේය.


එය මේ බිග් මැච් එක ආවරණය කිරීමට පැමිණි මාධ්‍ය ඒකකය හරහාය. ඒ අනුව තමා එදා තබා තැබූ එම වාර්තාව බිද හෙළුවොත් ඉලක්කම් පහක මුදල් ත්‍යාගයක් තමන් ලබාදෙන බව එම ක්‍රීඩකයාට ලබාදෙන බවට ශබ්ද විකාශන හරහා ඒ අවස්ථාවේ සිටි සියල්ලන්ටම ඇසෙන්න ඔහු සැලැස්සුවේය. මේ තරගය අතරතුර ඉඩ ලද සෑම අවස්ථාවකදීම එය ප්‍රචාරය කිරීමට ඔහු කටයුතු කළේය.
වාසනාවකට හෝ අවාසනාවකට මේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයාගේ ප්‍රතිවාදී විදුහලේ ක්‍රීඩකයකු එක් ඉනිමකදී එම කඩුලු හතේ වාර්තාව බිඳ දමා කඩුලු‍ අටක් ලබා ගත්තේය. මේ වාර්තාව කැඩූ ක්‍රීඩකයා දැන් බලා සිටියේ අර ආදි සිසුවා පොරොන්දුවූ පරිදි ඉලක්කම් පහේ මුදල් ත්‍යාග මල්ල ලැබෙනකම්ය.
බිග් මැච් එක නිමාවට පත්විය. එහි ත්‍යාග ප්‍රදානෝත්සවය උදාවිය. නව වාර්තාව තැබූ ක්‍රීඩකයාට මුදල් ත්‍යාගය ලබාදීමට පොරොන්දුවූ ආදි සිසුවාට සිය ත්‍යාගය ලබාදීමට උත්සව සභාවට පැමිණෙන ලෙස නිවේදකයා අාරාධනා කළේය. වරක් කතා කළේය. ඔහු නොපැමිණියේය. දෙවනුවත් එය එසේමය. තෙවනුවත් එය එසේමය. උත්සව භූමියට ඔහු තියා ඔහුගේ සුළඟවත් නොපැමිණියේය. පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී සංවිධායකයන්ට දැන ගැනීමට හැකිවී ඇත්තේ තැබූ නව වාර්තාවත් සමගම ඔහු ක්‍රීඩා පිටියෙන් හීන් සැරේ මාරුවී ගිය බවය.