ලියුම් පෙට්ටිය අසල කාඞ්බෝඞ්     පෙට්ටියකි. එහි     බලූපැටවුන් රංචුවකි. උදෑසන තැපැල් කාර්යාල සමීපයේ ඇති මේ දසුන කාගේත් නෙතට සංවේගයක් ඇති කළේය. එකම වර්ණයෙන් එකම ප‍්‍රමාණයෙන් යුතු මොවුන් දෙස බලමින්... අනේ මේ කිරි බොන පැටවු මොන හිතකින් මෙතැනට ගෙනත් දැම්මද? කන්න බොන්න දෙන්න බැරි නම් මොකටද මේ සත්තු හදන්නේ? යැයි ඇතැමෙක් කියූ අතර ඇතැමෙක්... ආනේ හරි ලස්සන බලූ පැටව්. පොමනේරින් වගේ. මෙතැන පිරිමි සතුන් ඉන්නවද දන්නේ නැහැ යැයි ද කීහ. මෙම බලූ පැටවුන් කාර්යාලය අසලට ගෙනැවිත් දැම්මේ කවුදැයි සෙවීමට කාර්යාල ලිපිකරුවෙක් රහස් මෙහෙයුමක් ක‍්‍රියාවට නැංවූයේය. තැපැල් කාර්යාලය අසලට ගෙනැවිත් දැමූ පෙට්ටියේ තිබූ පුවත් පතක කොටසක්ද සාක්ෂි වශයෙන් ඔහු තබාගත්තේය. ”තව ටික දවසකින් මම මේ පරීක්ෂණය අනුව බලූ පැටවුන්ගේ අයිතිකාරයින් කියන්නම්.” බොහෝ දෙනා මවිත කරමින් ඔහු කීය. දිනක් එක් තරුණියක් තැපැල් කාර්යාලයට ආවාය. යම්කිසි සේවාවක් ඉටුකර ගත් ඇය පිටත්වෙන්නට හදද්දී, ”නංගී ඔයාලගේ බලූ පැටව් හොඳින් ඉන්නවා එයාල අතරමං කළාට ස්තූතියි කියන්නත් කිව්වා. අපේ ගරාජ් එක කට්ටියට ගෙදරට වඩා හොඳයිලූ” කීවේ අප ඉහත කී ලිපිකරුය. ඇයට කිසිවක් කරකියා ගත නොහැකි විය. සියල්ල හෙළි වී ඇති බැව් හැඟුණි. ඇය ලැජ්ජාවෙන් ඇඹරෙමින් මෙසේ පැවසුවාය. ”අනේ අයියේ බලන්නකෝ අපේ තාත්තාගේ වැඩ නේ. අහල පහළ අයගෙන් වදේ කියලා මෙතැනට ගෙනැත් දාලා නේ...” එසේ කියූ ඇය තැපැල් කාර්යාලයෙන් පිටවී ගියේ ලැජ්ජාවෙනි. ඒ සමගම අනෙක් පිරිස පුදුමයෙන් මෙසේ ඇසීය. කොහොමද හරියටම ඒ ගෙදර අයයි බලූ පැටව් ගෙනාවේ කියලා කිව්වේ. එවිට ඔහු මෙසේ කීය. ”මේ තියෙන්නේ එදා අර බලූ පැටවුන් ගෙනත් දැමූ පෙට්ටියේ තිබුණු කඩදාසියක්. මේක ගිය සතියේ ගැසට් පත‍්‍රයක පිටුවක්. මේකේ හරියටම එක තැනක් හයිලයිට් කරලා පෑනකින් ලකුණු කරලා ඉතින් මේකට ඉල්ලූම් කළ කෙනා ලියාපදිංචි ලිපියකින් අදාළ කටයුතු සම්පූර්ණ කරන්න මෙතැනට ඒවි කියලා මම හිතුවා. ඒ වගේම මේ පත්තර කඩදාසියේ තිබුණු අත් අකුරු කිහිපයකුයි ඒ ළමයාගේ අත් අකුරුයි හරියටම හරි. ඒකයි මම එහෙම කිව්වේ.” ඔහු තම පරීක්ෂණයේ ප‍්‍රතිඵල ප‍්‍රකාශ කළේය.