මාමේ මේ හරියේ මොකක් හරි පොකැට්ටුවක් එහෙම වැටිලා තිබුණාද. පවනට බඳු වේගයෙන් ඉදිරියට ගිය තමා ගමන් ගත් ත‍්‍රිරෝද රථයේ පැති කවුළුවෙන් බිමට වැටෙන්නට ඇතැයි සැකයෙන් ආපසු හැරී පැමිණී ඇය ඒ මොහොතේ මාර්ගයේ ගමන්ගත් මගියෙකුගෙන් එසේ ඇසුවාය.

හ්ම් හ්ම් දැක්කේ නෑ. මගියා මඳක් තිගැස්සුණු ස්වරයෙන් දුන් පිළිතුර සැක සහිත විය. එහෙත් එකවර ඔහු සැක කළ නොහැකි නිසා තවතවත් ඇය මෙසේ ඇසුවාය.

අනේ මාමේ මම මේ මඟුල් ගෙදරකට යන ගමන් සල්ලිත් රුපියල් 5000 ක් තිබුණා. ඇය මඳක් ශෝකී ස්වරයෙන් එසේ කීවද මිනිසාට ඒ පිළිබඳව නිනව්වක් නොවීය.

නෑ. ළමයෝ මගේ ළඟ නෑ. ඇරත් මට මොකටද ඔහෙගෙන් සල්ලි මේ තියෙන්නේ මගේ ආයුධ ටික විතරයි.

එසේ කියමින් පෙදරේරුවකුවූ තමාගේ ආයුධ මල්ල ඇය ඉදිරියේ දිග හැරියේය. ඔහු නිවැරදිය. මල්ලේ තිබුණේ ආයුධ පමණී. නමුත්. මල්ලේ ඉහවහා යන සුවඳක් හැමුවේය.

ඒත් සමග ඇය මෙසේ ඇසුවේය. මාමේ මේ දවස්වල වැඩ කරන්නේ අහවල්  ඕඩිකොලොන් සමාගමේද ඔහුගේ මුවින් යමක් අල්ලා ගනු රටියෙන් එසේ අසද්දී මිනිසා තුෂ්ණිම්භූත විය.

න් න් නෑ ඒ ඇයි.... නෑ. මගේ පර්ස් එකේ තිබුණු ජාතියේම සුවඳක් මාමාගේ ආයුධ මල්ලෙන් එනවා ඒකයි ඇහුවේ.

ඒ වනවිට තවත් පිරිමි පුද්ගලයෙකු ඇයගේ ඇඳුනුම් කමකට මේ සංවාදයට හවුල්වී සිටියේය. මඳ වේලාවකින් ඒ සංවාදය මගියාගේ ගමන් මල්ල ලිහා බැලීම දක්වා දිගුවිය.

මඳ වේලාවකින් මුදල් පසුම්බිය ලඹ කැටය අස්සෙන් මතුවිය.
නමුත් මුදල් නැත.

සුවඳ පුරා පැතිරෙද්දී ඔහු මිනිසාගේ ඇඳිවත් පරීක්‍ෂා කිරීමට තරම් දැඩි පියවරක් ගත්තේය.

සුළු මොහොතකින් සුවඳ දෙගුණ විය. ඒ මගියාගේ සරම යටින් තිබූ යට ඇඳුමෙන් හතරට පහට නැමූ රුපියල් දහසේ සහ පන්සීයේ නෝට්ටු යට ඇඳුමෙන් එළියට ඔහු සුවඳ අතරින් දුර්ගන්ධය පැතිරීමට පෙර දෑත් සෝදාගෙන පිටව ගියේය.