කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවයක දී කණාට කිරි කැවීමේ තරගයක දී පළමු පෙම්වතිය ලවා කිරි කවාගෙන ඇතැයි කියන අපූරු එක් දරු තරුණ පියකු පිළිබඳ පුවතක් සබරගමුව පළාතේ නගරයක පැවැති අවුරුදු උත්සවයක දී වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කිරි කවා ඇතැයි කියන එක් දරු පියාගේ වයස මේ අවස්ථාවේ 28 කි. ඔහු පාසල් යන එන කාලයේ දී අල්ලපු ගමේ පාසල් ශිෂ්‍යාවක සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබුණි. තම එකම පිරිමි දරුවා අසල්වැසි ගමක පාසල් ශිෂ්‍යාවක සමග ප්‍රේම සම්බන්ධතාවය පවත්වනවා යැයි පාසල් ශිෂ්‍යයාගේ මව කනින් කොනින් දැන ගෙන තිබුණි.
කෙල්ලක එක්ක සම්බන්ධතාවයක් තියෙනවා නේද. ඒ කෙල්ල අප පවුලට ගැළපෙන්නේ නැහැ. ගැහැනු ළමයෙක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් තියෙනවා නම් වහාම නතර කරන ලෙස දිනක් තරුණයාගෙන් මව ඉල්ලීමක් කළාය. තමා ප්‍රේම සම්බන්ධතාවයක් කා සමගවත් පවත්වන්නේ නැතැයි පවසා තරුණයා දිගටම අල්ලපු ගමේ තරුණිය සමග සම්බන්ධතාවය මවට හොර රහසේ පවත්වාගෙන ගියේය.
අධ්‍යාපන කටයුතු නිමා කිරීමෙන් පසුව තරුණයා වයස අවුරුදු 21 ක් වු අවස්ථාවේ දී ආරක්ෂක අංශයක රැකියාවකට බැදුණි. උතුරු නැගෙනහිර ප්‍රදේශයේ රැකියාව කරන අතර තුර ඉඩ ලද සෑම අවස්ථාවක දීම තරුණයා පාසල් කාලයේ දී හඳුනා ගත් පළමු පෙම්වතියට කතා බහ කිරීමටත් කෙටි පණිවුඩ එවීමටත් අමතක නොකළේය.
තරුණයා පසුව පළමු පෙම්වතිය ටිකෙන් ටික අතහැර දමා මව විසින් සොයා දුන්න තරුණිය සමග සම්බන්ධතාවයක් ඇති කර ගත්තේය. දෙපාර්ශවයේ ආශීර්වාද මැද දෙදෙනාගේ විවාහ මංගල්‍යය මීට කලකට ඉහතදී සිදු කෙරිණි. දැනට තරුණයාගේ වයස අවුරුදු 28 කි. මාස කිහිපයක් වයසැති පිරිමි දරුවෙක් ද ඔහුට සිටියි.
සිංහල හා හින්දු අලුත් අවුරුද්දට තරුණයාට සිය නිවසට පැමිණීමට අවස්ථාව නොලැබුණි. දින කිහිපයකට පසුව නිවාඩු ලබා තරුණයා ඉකුත් දිනක බිරියට අත දරුවාට මවට ඇදුම් පැලඳුම් රැගෙන නිවසට පැමිණ තිබුණි.
ඉකුත් 20 වැනිදා ගමේ තරුණ පිරිස වෙල් යායේ අවුරුදු උත්සවයක් සංවිධානය කර තිබුණි. තරුණයා ද අවුරුදු උත්සවය නැරඹීමට නිවසින් පිටව ගියේය.
අන්දයාට කිරි කැවීමේ තරගයට තරගකරුවන් හා තරගකාරියන් ඉදිරිපත් වෙන ලෙස බක් මහ උළෙලේ නිවේදකයා පැවසීය. එහිදී පිරිමි තරගකරුවෝ 12 දෙනෙක් හා ගැහැනු තරගකාරියෝ 12 දෙනෙක් තරගයට ඉදිරිපත්ව සිටියහ. කාන්තාවන් 12 දෙනාගේ දෑස් රෙදි කැබැල්ලකින් බැඳ තබන බවත්, මීටර් 3 ක් ඉදිරියෙන් පෝලීමේ සිටින පිරිමි තරගකරුවන් වෙත දිව ගොස් ඔවුනට කිරි කැවිය යුතු බවත් නිවේදකයා තරග නීතිරීති ද ඉදිරිපත් කළේය.
තරගය ආරම්භ කෙරිණ. දෑස් බැද තිබුණු කාන්තාවන් කිරි කප් රැගෙන ඉදිරියට දිව පැමිණ පිරිමි තරගකරුවන්ට කැවීමට සුදානම් වූ අවස්ථාවේ එක් දරු පියා තම පාසල් යන කාලයේ පෙම්වතිය සිටින අයුරු දැක ඇගේ නම ආමන්ත්‍රණය කර ඇය ලවා කිරි කවා ගත්තේය. තරගය අවසන් වීමෙන් පසුව ප්‍රථම ස්ථානය හිමි කරගෙන තිබුණේ එක් දරු පියා හා ඔහුට කිරි කවා තිබුණු තරුණිය විසින්ය. පසුව තරුණිය රෙදි කැබැල්ල ගලවා ඉවත් කර කිරි කවා ඇත්තේ කාට ද යන්න ආපසු හැරී බැලුවාය.
කාලයක් පෙමින් වෙලී සිටි පෙම්වතාට බව දැන ගත් තරුණිය පුදුමයට පත් වී දෑත් දෙකෙන් දෑස් වසාගෙන මද දුරක් ගොස් ඥාතියකු ළඟ නතර වුවාය. කිරි කැවීමේ තරගයේ පළමු ත්‍යාගය ලබා ගත් එක් දරු පියා ත්‍යාගය රැගෙන ගොස් පළමු පෙම්වතියට පරිත්‍යාග කර අවුරුදු උත්සවය පැවති වෙල් යායෙන් පිටව නිවස බලා ගොස් ඇති බව වාර්තා වෙයි.
අවිවාහක 25 හැවිරිදි තරුණිය එක් දරු පියාට කිරි කවන අයුරු තරුණයාගේ නිවසට අල්ලපු නිවසේ පදිංචිව සිටින සෑම පුර පසළොස්වක පෝයකටම අෂ්ඨාංග උපෝෂත ශිලය සමාදන් වන උපාසිකාව දැක තරුණයාගේ නිවසට සවස ගොස් මවට කීවාය. පසුව මව හා බිරිඳ ඒ සම්බන්ධයෙන් එක් දරු පියාගෙන් විමසීමක් කර ඇත. මුහුණ වසාගෙන තරුණියක් තමා ළඟට පැමිණ කිරි කැව් බවත්, පරණ පෙම්වතිය බව දැන ගත්තේ ඇස් දෙක බැඳ සිටි රෙදි කැබැල්ල ඉවත් කිරීමෙන් පසුව බවත් තරුණයා පැවසීය. මව හා බිරිය එකතු වී එක් දරු පියාට දොස් නගා, නැගුව චෝදනාව ප්‍රතික්ෂේප කෙරිණ.
පසුව තරුණයාගේ මව කුස්සියට ගොස් දර ලීයක් රැගෙන පැමිණ පුටුවක අසුන් ගෙන සිටි එක් දරු පියාට පහර එල්ල කෙරිණ. කමක් නෑ පළමු වතාවට සමාව දෙමු අම්මේ ආයේ වැරදි කරන එකක් නැහැ යැයි පවසා විවාහක බිරිඳ මැදට පැන එක් දරු පියා බේරාගෙන ඇති බව වාර්තා වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd