මොරගොල්ලාගම - සිසිර නන්දන කැලේගම



මුදලාලිගේ හොඳම ගනුදෙනුකරුවා ඇතුළු පවුලේ උදවියට අවුරුදු දා කුසගින්නේ නිදන්නට සිදුවූ පුවතක් යාපහුව අඩවියෙන් අසන්නට ලැබුණි.
එය තොග හා සිල්ලර වෙළෙඳාම නිසා ප්‍රදේශය පුරා නමක් දිනා ඇති වෙ‍ළෙඳසලකි. මුදලට හා ණයට පවා ගනුදෙනු සිදුවේ. මෙම සිද්ධියට මුල් වූ කතානායක ද රාජ්‍ය සේවාවේ නියැලෙන අයෙකි. හෙතෙම මෙම වෙළෙඳසලෙන් නිවෙසට අවැසි සියල්ල ණයට ගෙන මාසික වැටුපෙන් සියලු‍ ණය තුරුස් පියවන්නේය.
ණයට බඩු ලබාගන්නා අයගෙන් මෙම වෙළෙඳසලට වැඩිම මුදලක් ගෙවන්නන් අතරේ මොහුද හොඳම ගනුදෙනුකරුවෙකි.
ඒ නිසාම මුදලාලි ඇතුළු පවුලේ අය මෙම පවුල සමග ද සමීපව කටයුතු කරති. එකී ගනුදෙනුකරුගේ බිරිය හිටි හැටියේ ඉකුත් දා රෝගී වුවාය. රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ ඇය අවුරුද්දට පෙර රෝහලෙන් නික්ම ගෙදරට ආවාය. රෝහලේ සිටින විටත් නිවෙසට පැමිණි පසුවත් ඇගේ සුව දුක් බැලීමට මුදලාලිත් ඔහුගේ බිරියත් අමතක කළේ නැත. ඔය අතරවාරයේ නිවෙසේ දුරකථනය නාද විය. ඒ ඇමැතුම මුදලාලිගෙනි.
“ගෙදර නේද ඉන්නේ, අද රෑට උයන්න එපා. අපේ ගෙදරින් කෑම ගේනවා”‍


“අනේ මේ මුදලාලි කතා කෙරුවේ. රෑට කෑම හදාගෙන එනවලු‍”‍ සැමියා බිරියට ළං වී කීවේය.
“මං හින්දා පොඩි එකත් එක්ක ඔයත් හෙම්බත්වෙලා ඉන්න වෙලාවක එහෙනම් අද කෑම උයන්න ඔයා මහන්සි වෙන්න එපා. විවේකීව ටිකක් ඉන්න”‍ බිරිය පෙරළා උත්තර දුන්නාය.
ඉර අවරට බැස යයි. ඇඳිරිය ගෙට ගොඩ වෙයි. කාලය ටිකෙන් ටික ඉක්ම යයි. පොඩි එකා බඩගිනියි යැයි හඬ දෙයි. එහෙත් ආගන්තුක කෑම වේල නොඑන පාටයි. බැරිම තැන නිවැසියා මුදලාලිට ඇමැතුමක් ගත්තේය. මුදලාලි කෑම ගේන්න තවත් පරක්කු දැයි ඇසුවේය.
“අනේ අයියේ ඒ මිනිහා බීලා කන මදයා වාගේ නිදි, අරක්කු බීලා වෙරිමත ගාතේ කෑම දෙනවා කියලා ⁣ඔයාට කිව්වට මේ වනතුරු ඒ පිළිබඳ වගේ වගක් මම දන්නේ නෑ”‍
මුදලාලිගේ බිරිය උත්තර දුන්නාය. සංවාදය නැවතුණි.
අවුරුදු නිසා සියලු‍ වෙළෙඳසල් වසා ඇත. මේ නිසා පාන් කෑල්ලක් හෝ ගන්නට තැනක් නැත. බිරියගේ අසනීපය නිසා අවුරුද්දට ගෙයි කිසිදු රස කෑමක සැකසීමක්ද නැත. ඒ වන විටත් පොඩි එකා තද නින්දේය. සැමියා ද හෙම්බත්ව සිටින නිසා යළි කෑම සූදානම් කරන්නට ද වෙලාවක් නැත. වෙච්ච දේ වටහාගත් දෙදෙනා ද අවුරුදු දා කුසගින්නේම නින්දට වැටුණේ මුදලාලිගේ හොඳම ගනුදෙනුකරු වීමේ භාග්‍ය නිසා යැයි වෙච්ච අලකලංචිය දැනගත් අවට අය දැන් පවසනවාලු‍.