මහනුවර ප‍්‍රදේශයේ තේවත්තක රැකියාව කළ ඇය දුක් මහන්සියෙන් හරිහම්බකරන ළඳකි. ඇය වාසය කරන්නේ කුරුණෑගලට නුදුරු පිටිසර ගමකය. මාසික වැටුප වූ රුපියල් හත්දාහක මුදල සමග නිවසට අවශ්‍ය දේ රැගෙන දුම්රියෙන් යන්නට වූවාය. සෙනඟ අතුරු සිදුරු නැතිව සිටි අතර මුදල් තිබෙන ගමන්මල්ල ගැනද අමතකව ඇතිවා සේය. හැට්ටය අස්සේ සඟවාගෙන තිබූ මුදල එළියට පෙනෙන්නට වූයෙන් තරුණයෙක් මෙය දුටුවේය. ”අම්මගෙ සල්ලි වැටෙයි වගේ මට පේන්නෙ.  ඕක ඔහොම තියාගත්තොත් හිස් අතින් තමයි යන්න වෙන්නෙ. ඒ නිසා මම පරෙස්සමට තියාගන්නම්. බහිනකොට දෙන්නම්”. ඔහුගේ බහට අවනත වූ ඇය රුපියල් හත්දාහ පරෙස්සම් කරන ලෙස දුන්නාය. ඇය ඔහු දෙස විමසිල්ලෙන් බලා සිටි අතර ඇයට බහින තැනද කිට්ටු විය. ”කෝ පුතේ මගෙ සල්ලි ටික උඹට පින්සිද්ධ වෙනව මේක පරෙස්සම් කළාට. මෙන්න අම්මෙ සල්ලි ටික. හැබැයි මෙතනදි  ඕක ගැනල බලන්න එපා. කවුරුහරි ගනීවි. ගෙදර ගිහින්ම බලන්න.” ”හොඳමයි මගෙ පුතේ... මම ගිහින් එන්නම් යැයි කියමින් ඇය දුම්රියෙන් බැස ගියාය. තේ එකක් බීම සඳහා අසල ඇති කඩයකට ගොඩවූ ඇය මුදල් දීම සඳහා සල්ලි මිටිය අතට ගත්තේ ඉමහත් සතුටිනි. එහෙත් එහි වූයේ කඩදාසි කෑලි කීපයකි. අනේ අප්පේ මගෙ සල්ලි ටික කෝ? මදැයි මම පරෙස්සම් කරන්න කියල සල්ලි දීල තියෙන්නෙ හොරෙකුටනෙ.  ඕකට හෙනම ගහන්න  ඕන මේ අපරාදෙට.” දහදුක් විඳිමින් උපයාගත් මුදල නැතිව ඇය අඬා වැළපෙන්නට වූවාය. රැස්ව සිටි පිරිස කම්පාවට පත්වූහ. ”මොනව කරන්නද අම්මෙ දැන් කාලෙ ඔහොම තමයි. පොලිසි ගියත් ඒ පාහරය කොතන කියල හොයන්නද”? කීප දෙනෙකුම එසේ පැවසූ අතර ‘‘මේව අපිට හොඳ පාඩම්” යැයි කියමින් ඇය හිස් අතින්ම නිවසට සේන්දුවිය.