(උනවටුන - ඞී.ජී. සුගතපාල)
ඇය සාමාන්‍ය පවුලක බාල දියණිය වූවාය. දුකෙන් තොර සැපෙන් බර අනාගතයක් උදෙසා ඇය තරුණ වයසේදීම විදේශ ගත වූවාය. විදේශයක සිට ලේ කඳුළු සලමින් උපයා ගත් මුදල් එව්වේ අම්මාටය.


වසර කිහිපයක් එතෙර සිටි ඇය යළිත් මෙතෙරට ආවේ විවාහයක් ද අතින් අරගෙනය. විවාහයෙන් පසු සැපවත් ජීවිතයක් ගත කිරීම සඳහා නිවෙසකට අවශ්‍ය බඩු මුට්ටු රැුසක්ද ඇය ගෙනාවාය.


ඇයගේ පෙම්වතා ඇයගේ පළාතේ සිට තරමක් දුර බැහර කෙනෙක් විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයට මව දැඩි ලෙස විරුද්ධ වූවාය. එහෙත් ඇය ආදරයේ උපරිම අවස්ථාවට පැමිණ තිබිණි. එනිසා නිවසේ අයට හොර රහසේම ගොස් ආදරණීය සැමියාගේ කැදැල්ලේ තුරුලූ වූවාය.


ටික දිනකට පසු ඇය තමා දුකසේ උපයාගත් මුදලින් ගත් බඩුමුට්ටු ගෙනයාමට නිවෙසට ආවත් සිදුවූයේ බලාපොරොත්තු නොවූ දෙයකි. ‘‘මෙහි ඇති බඩුවක් නැහැ ගිය තැනකට යන්න.’’ කියමින් අම්මා ගෝරනාඩු කළාය. ඇයගේ මල්ලී ද එයට හවුල් විය.


හිස් අතින් ගිය ඇය ලොරියක් ද රැුගෙන පසුදින උදේ යළිත් ආවාය. ඇයගේ උදව්වට අල්ලපු ගමේ සිටි අක්කා ද අක්කාගේ සැමියා සහ පුතා ද පැමිණියහ. විනාඩි කිහිපයක් ඇතුළත බඩු සියල්ල ලොරියට පැටවිණි.


එම අවස්ථාවේ නිවසේ සිටියේ මව පමණි. ඇය වහාම පොලිසියට ගොස් නිවෙස කඩා බඩු මුට්ටු ගෙන ගිය බවට තම දරුවන්ට විරුද්ධව පැමිණිල්ලක් කළාය.


මේ අතර එම අවස්ථාවේ නිවසේ නොසිටි පුතාද

මවගෙන් සිද්ධිය දැන ගැනීමෙන් පසු පොඩි අක්කාට බඩු ගෙන යාමට උදව් කිරීම නිසා ලොකු අක්කාගේ නිවසට ගොස් එහි බඩු මුට්ටු පොඩි කළේය.
පසුව දේපාර්ශවයම පෝද්දල පොලිසියේ පෙනී සිටියහ. පැමිණිලි විභාග කළ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන අබේරත්න සහ පාලිත යන මහත්වරුන් විසින් දෙපාර්ශවයම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.