එය සමඟියෙන් ජීවත් වන ගම්වාසී පිරිසක් සිටින ගමකි. ඒ ගම මැදින් පිහිටා ඇත්තේ මහ ඇළකි.
එම ගම්වාසින් සියලු දෙනාම දිය නෑමට සහ රෙදි සේදීම වැනි ගෘහ කටයුතු කරන්නේ එම ඇළට පැමිණීමෙනි.
එහෙත් බොහෝ දෙනා ඇළ පරිහරණය කළේ මහත් සෝදිසියෙනි. මන්දයත් එම ඇළේ නිතර කිඹුලන් ගැවසෙන බැවිනි.
සිද්ධිය වූ දා දහවල් එක්තරා කාන්තාවක් දිය නාන තොටුපළට පැමිණ ඇළට බැස දිය නාමින් සිටිද්දී ඇය අසලටම අඩි පහක් පමණ දිග ගැට කිඹුලකු පැමිණියේ කිසිසේත් බලාපොරොත්තු නොවූ අයුරිනි.
කිඹුලා දුටු කාන්තාව බියට පත්ව එසැනින් ගොඩට පැන මෙන්න කිඹුලෙක් !!! කියා කෑ ගැසුවාය.
ඇයගේ කෑගැසීමත් සමඟ අවට නිවෙස්වල සිටි කුඩා ළමයි සහ වැඩිහිටියෝ එතැනට දිව ආහ. ඒ අතර කිඹුලාගෙන් බේරුන කාන්තාවගේ සැමියා ද විය. ඇය සිද්ධිය ගැන විස්තර කරද්දි ඇගේ සැමියා ‘‘කෝ සබන් පෙට්ටිය” යැයි ප්‍රශ්න කළේ ඒ අතරේය.
‘‘මෙතන ගල උඩ තිබුණු සබන් පෙට්ටිය මගේ කකුලේ වැදිලා ඒක ඇළට වැටිලා ගහගෙන ගියා... ඔයා සබන් පෙට්ටිය ගැන අහනවා මම බේරුනේ අනූ නවයෙන්” යැයි කාන්තාව කීවාය.
ඇළේ කිඹුලා හිටියට කමක් නෑ, සබන් පෙට්ටිය හොයාගෙන එන්නැයි සැමියා ඇයට පැවසීය.
එවිට එතැන සිටි සියලු දෙනා සිනා නතර කරගත් අයුරු දුටු කාන්තාව,
‘‘මමද වටින්නේ එහෙම නැතිනම් සබන් පෙට්ටිය දැයි” කියා සැමියාගෙන් විමසද්දී පිරිස උස් හඬින් සිනාසුණහ.
‘‘මං අහන්නේ ඔයාට කිඹුල ද වටින්නේ සබන් පෙට්ටිය ද” යැයි එවිට සැමියා ප්‍රශ්න කරද්දී පිරිස නැවතත් කොක් හඬලා සිනාසෙමින් හූ කියාගෙන විසිර ගියහ.
හිඟුරාණේ නවරත්න සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර විට මාලේ හරි, මුද්ද හරි සබන් පෙට්ටියේද දන්නෑ...