දකුණු පළාතේ බෙන්තොටට නුදුරු පෞද්ගලික උපකාරක පන්තියකි. මෙහි ගුරුවරයා තම පන්තියට එන සිසුන්ගේ අඩුපාඩුකම් ගැන ඔවුන්ගේ මවුපියන් සමඟ දුරකථනයෙන් හෝ සාකච්ඡා කිරීමද පුරුද්දක් කර ගෙන තිබේ.
මෙම නව වාරයත් සමඟ එම පන්තියට ඇතුළුවී සිටි සිසුවකු දඩබ්බර වූ අතර ඔහු පන්ති පැමිණීමද දුර්වල වී තිබිණි. ඒ ගැන ඔහුගේ මවුපියන් දැනුම්වත් කිරීමට සිතූ ගුරුවරයා එම සිසුවා විසින්ම ලබාදී තිබූ ඔහුගේ පියාගේ දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තේය. එදිනද එම සිසුවා පන්තියට පැමිණ තිබුණේ නැත.
ඇමතුම ගත් ගුරුවරයා හලෝ.....ඔය (ළමයාගේ නම කියා) ශිෂ්‍යයාගේ ගෙදර ද? යැයි විමසීය.
එවිට ගුරුවරයාට ලැබුනේ ඔය කවුද ? අපිට එහෙම ළමයෙක් නැහැ. මේක මිනී පෙට්ටි කඩයක්. මොකද මිනී පෙට්ටි  ඕඩරයක්ද? යන පිළිතුරයි.
අංකය වැරදි ඇතැයි සිතූ ගුරුවරයා යළි සිසුවා පුරවා දුන් පන්තියට ඇතුළත්වීමේ අයදුම්පතේ සඳහන් ඔහුගේ නිවසේ දුරකථන අංක යළි පරීක්‍ෂා කළේය. එහි තිබුණේ ද එම අංකය වූ අතර ගුරුවරයා යළිත් එම අංකයට ඇමතුමක් ගත්තේය. එවරද ලැබුණේ කලින්ම ලැබුණු පිළිතුරමය. එය ප‍්‍රදේශයේ මල්ශාලාවක දුරකථන අංකයයි. සොයා බැලීමේදී හෙළිවූයේ එම මල්ශාලාවේ නාම පුවරුවේ එම අංකය විශාල ප‍්‍රමාණයෙන් සැමගේ නෙත ගැටෙන සේ සඳහන් කර ඇති බවයි. සිසුවා එම අංකය ගුරුවරයාට ලබා දී තිබිණි.
කෙසේ හෝ මේ බව සෙසු ළමයින්ගෙන් දැනගත් දඩබ්බර වූ එම සිසුවා යළි එම පන්තියට පැමිණියේ ද නැත.