IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ගස් බැන්ද හොරා ලවා වත්තේ පොල් කඩවාගෙන

තම ගෙවත්තේ හොර පොල් කැඩීමට ආ සොරකුට එම ගෙවතු හිමියා විසින් ලබා දුන් දඬුවමක් පිළිබඳ පුවතකි.


 සිද්ධිය මෙසේය.


ඔහු මෙන්ම ඔහුගේ බිරිඳ ද රජයේ සේවකයින් දෙපළකි. ඒ නිසාම ඔවුන් ගත කළේ කාර්ය බහුල ජීවිතයකි.


සැමියාටත් බිරිඳටත් ඇති කාර්ය බහුලත්වය නිසාම ඔවුන්ගේ ගෙවත්තේ වගා කර තිබූ පොල් ගස් හත අටේ පැසුණු පොල් වලු_ කීපය කඩවා ගැනීමට ද ඔවුන්ට ඉඩක් නොලැබුණි.


පොල් ගෙඩි කඩන්නන් අයකරන ඉහළ ගාස්තුව නිසාම ඔවුහු ඒ පිළිබඳ වැඩි උනන්දුවක් ද නොදැක්වූහ.


කෙසේ වෙතත් හොඳහැටි පැසී බර වී තිබූ පොල් වලු කීපයක් දුටු ගමේ පොල් කඩන්නකු පසුගිය දිනෙක දිවා කාලයේදීම කල් යල් බලා ගෙවත්තට ඇතුළු වූයේ පොල් ගෙඩි හත අටක් කඩා ගතහොත් පහසුවෙන්ම දවසේ ගතමනාව සොයාගත හැකි බව සිහිකරමිනි.


පොල් ගසකට ගොඩ වූ හෙතෙම ගෙඩි හත අටක් බිම දමද්දී සිද්ධිය බලා සිටි අසල්වැසියන් කිහිපදෙනකු එක්වී පොල් හොරා අල්ලාගෙන එම ගසේම බැඳ නිවෙස් හිමියාට දුරකතන ඇමතුමක් ලබා දුන්නේ අසල්වැසියන්ගේ යුතුකම් හරිහැටි ඉටු කරමිනි.


 අසල්වැසියන්ගේ දුරකතන ඇමතුමත් සමගම නිවෙස වෙත පැමිණි ගෙහිමියාට දැකගන්නට ලැබුණේ තම ගෙවත්තේ හොරෙන් පොල් කැඩූ පුද්ගලයා එම පොල් ගසටම තබා ගැට ගසා ඇති ආකාරයයි.


 සිද්ධිය සම්බන්ධයෙන් දැඩි සේ බැගෑපත්ව සමාව අයැද සිටි පොල් කඩන්නා තමුන් නිදහස් කරන්නැයි නිවෙස් හිමියාගේ දෙපා අල්ලමින් වැඳ වැටුණේ සිද්ධිය පොලිසිය දක්වා ගියහොත් අත්වන ඉරණම ගැන ද සිහිපත් කරමිනි.


 නීතිමය කටයුතුවලට ගියහොත් තමුන්ට ද සිදුවන්නා වූ පාඩුව මෙන්ම රස්තියාදුව පිළිබඳ අත්දැකීමෙන්ම දන්නා නිවෙස් හිමියා අවසානයේදී පොල් හොරාට අපූරු යෝජනාවක් ගෙන ආවේ ඒ වනවිටත් රැස්ව සිටි අසල්වැසියන් ද විමතියට පත්කරමිනි.


“හරි උඹ පොල් කඩන්නනේ ආවේ. පොලිසි යන්නත් මොනවා කරන්නත් ඉස්සෙල්ලා ඉතිරි පොල් ටිකත් කඩපන්” යැයි කීවේ ගෙවත්තේ තිබූ සෙසු පොල් ගස් කීපය ද හොරාට පෙන්වමිනි.


 කලක් තිස්සේ තම ගෙවත්තේ පොල් ගස්වල පැසී බරවී තිබූ පොල් ගෙඩි ටික හොර පොල් කඩන්නා ලවාම බාගත් හෙතෙම හොරාට ගාස්තු වශයෙන් පොල් ගෙඩි කීපයක් දී ඔහු පිටත්කර හැරියේ “මීට පස්සේ උඹ මේ වත්ත පළාතේ ඇවිත් අහුවෙන්න එපා” යැයි අනතුරු ඇඟවීමක් ද කරමිනි.
(වියලුව වාර්තාකරු)

 



අදහස් (0)

ගස් බැන්ද හොරා ලවා වත්තේ පොල් කඩවාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 215 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 169 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 970 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site