තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගක් වෙන අයුරු දැක ආදි සිසු කැල ඉදිරියේ මිතුරකු අන්ද මන්ද වූ පුවතක් ඇතුගල්පුරවරයට අයත් රාජධානි බල කොටුවක් අසල ගමකින් අසන්නට ලැබෙයි.
වසරකට වරක් හමුවෙන ආදි සිසු හමුවකි. මේ සඳහා එකී පාසලේ එම පංතිවල සිටි සිසුහු විවිධ ප්‍රදේශවල සිට මෙදිනට හමුවෙති.
මෙවර ද නියමිත දිනයේ හෝටලයක හමුව ජයටම පවත්වන්නට සැලසුම් කර තිබුණි.
මෙදින එක් ආදි සිසුවකු පැමිණෙන්නේ නැත. ඒ ඔහු නොසිතු අයුරින් රෝගිව සිටින නිසාය.
ඔහු නාවත් සියල්ලෝම ඔහු බැලීමට යාමටත්, හැම කෙනකුම ඔහුට වෙන් වෙන්ව තෑග්ගක් දීමටත් තීරණය කෙරිණි.
ඒ අනුව පිටත සිට එහි යාමට නිවාඩු ලබා පැමිණි  අයකු ගෙනෙන ලද මිලෙන් ඉහළ ෂර්ට් එක  නිවසේ තබා පළමුව හෝටලයේ හමුවට ගියේය.
එහිදී කාබී විනෝද වූ පිරිස සවස් හමුවේ රෝගී මිතුරාගේ නිවසට යාමට පිටත් වූහ.


‘‘මචං යන ගමන් අපේ ගේ ගාව නවත්තපල්ලා. මං පටාස් ගාලා ගෙට දුවලා ෂර්ට්  එක අරගෙන එන්නම්.”‍
ඒ වනවිට එම නිවසේ අම්මා, තාත්තා  දෙදෙනාද වෙනත්  උත්සවයකට යාමට සූදානම්  වෙමින් සිටියහ.
එලෙස පැමිණි වාහනය ගෙයි ඉදිරියේ නැවතුණි. ඒ කවුදැයි බලන්නට තාත්තා එළියට ආවේය.
තාත්තා  දුටු පුතාට තරු පෙනුනි. ඇති වී තිබෙන දේ වාහනයේ සිටි මිතුරන්ට ද තේරුම් ගැනීමට වැඩි වේලාවක්  ගියේ නැත. පදම ඉක්මවා සිටින ඇතැමුන් කොක් හඬලා සිනා සෙද්දී තවත් අය මචං, මොකුත්  කියන්න  එපා. ‘යමං යන ගමන් තවත් ෂර්ට් එකක් ගමු.”‍
ඊට අවනත වූ ඔහු ආ පයින්ම ආපසු දිවගොස් වාහනයට නැග ගමන යද්දී පුතා තෑගි දෙන්නට ගෙනා ෂර්ට්  එක තාත්තා ජැංඩියට ඇදගෙන අම්මත් කැටුව ඔවුන්ගේ ගමන යාමට ගියාලු‍‍.

මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම